සොඳුරු ලොවට මල් වස්සන අතීතයම රස ගන්වන ඉරාන සිත්තම් විස්මිතය

  👤  2874 readers have read this article !
2019-01-06

මැටි භාණ්ඩ මත අඳින ලද චිත්‍ර හා බිතුසිතුවම් ඉරානයේ පැරැණි චිත්‍ර කලාවට සම්බන්ධ වෙයි. දැනට ශේෂව පවත්නා ඉරාන චිත්‍ර අතර ඉතා පැරැණි යැයි සැලකිය හැක්කේ සීස්ථාන් ප්‍රදේශයට අයත් කුහ් - ඉ - ඛ්වාජාහි දක්නට ලැබෙන බිතුසිතුවම්ය. ඒවා කිතුවසින් පළමු වැනි සියයවසට අයත් යැයි සලකනු ලැබේ. කැබලි වශයෙන් ශේෂව පවත්නා මේ චිත්‍රයන්ගෙන් යාවනික හා පෙරදිග කලාවන්ට අයත් සාරවත් කොටස් උපුටා ගැනීමෙන් නිපදවා ගත් ශෛලියක් නිරූපණය කෙරෙයි.

රෝම ඉතිහාසඥයකු විසින් සඳහන් කරන ලද රජුන්ගේ දඩ කෙළි හා සටන් නිරූපිත බිතුසිතුවම් කිසිවක් දැනට ශේෂව නැත. සාසාන රාජ්‍ය සමයට (ක්‍රි.පු. 224 - ක්‍රි.ව. 642) අයත් මේ දක්වා ඉතිරි වී පවතිනු එකම චිත්‍රය ඇග්ෆනිස්තානයේ දුඛ්තර් - ඉ - නුෂිර්වාන්හි දක්නට ලැබෙන සිංහාසනයයි. එපමණක් නොව ඉරානයේ ශෛලියට අනුව කරන ලද චිත්‍ර රාශියක් මධ්‍ය ආසියාවේ බෞද්ධ විහාරස්ථානයන්හි වේ. ක්‍රි. වර්ෂ හතර වැනි හා හත්වැනි සියවසත් අතර කාලයෙහි බිතුසිතුවම්වල ආභාසය ගලින් නෙළුෑ උන්නත රූපවල දක්නට ඇත. ඉරානයට ඉස්ලාම් ධර්මය පැමිණීමත් සමඟ මිනිස් හා සත්ත්ව රූප ඇඳීම රූප වන්දනාවට තුඩු දෙන්නකැයි සැලකූ නිසා එය තහනම් විය.

රජවරුන් හා වෙනත් ප්‍රභූහු තමනට අවශ්‍ය වූ විට බිතුසිතුවම් ඇඳීම හා ග්‍රන්ථනයන්ට චිත්‍ර යෙදීම කළහ. පර්සියානු ජනයාගේ ජාතික මහ කාව්‍ය හැටියට සැලකෙන 'ශානාම' නමැති ග්‍රන්ථය ක්ෂුද්‍ර චිත්‍රවලින් සැරසූවකි. මුල්ම ක්ෂුද්‍ර චිත්‍ර දක්නට ඇත්තේ ක්‍රි.පූ. 12 වැනි සියවසට අයත් මැටි බඳුන්වලය. අභාවයට ගිය යථෝක්ත ග්‍රන්ථයෙහි ඇතුළත් ඓතිහාසික කරුණු සම්පිණ්ඩනයෙන් සම්පාදිත ග්‍රන්ථයන්හි දැක්වෙන සිතුවම්වලින් ඇතැම් ඒවා චීන චිත්‍ර කලාවට අනුව නිදහස් ලෙස අඳින ලද රේඛා චිත්‍රයන්ට සූක්‍ෂ්ම ලෙස වර්ණ සංයෝජනය කිරීමෙන් ප්‍රාණවත් බවට පුමුණුවා ඇති බව පැහැදිලිව පෙනෙයි. සමහරක් පැරැණි ඉරාන සම්ප්‍රදායට අනුව අනේ‍යාන්‍ය කොටස් එකිනෙකට ගැළපෙන සේ යොදා තද පාටවලින් වර්ණවත් කර ඇත. 14 වැනි සියවසේදී තරම් මේ ශෛලීන් දෙකම මිශ්‍ර වූ බව ඒ කාලයට අයත් සිතුවමින් ප්‍රකට වෙයි. ආගමික තහනම නිසා චිත්‍රවල ව්‍යාප්තිය මඳ වශයෙන් ඇහිරී ගියා වුණත් ලෞකික වශයෙන් පෞද්ගලිකව ගෙවල් තුළ වගේම සාහිත්‍ය ග්‍රන්ථද ඇතැම් විට විද්‍යාත්මක ග්‍රන්ථද චිත්‍රවලින් අලංකාර කිරීම ඕනෑ තරම් සිදුවිය.

14 සියවසේ මැද භාගයේ පටන් 15 වැනි සියවසේ අවසානය තෙක් කාලයේදී 'ටිමුරිය' නමින් නව චිත්‍ර ශෛලියක් බිහි විය. මේ චිත්‍ර ශෛලියේ ප්‍රධාන අනුග්‍රාහකයන් සුප්‍රසිද්ධ ජයග්‍රාහක ටිමුර්ගේ පවුලේ අය වූ බැවින් ඊට ඒ නම යොදන ලදී. මෙම කලාවට සම්බන්ධ වූ විෂයයන් අතර සටන්, දඩකෙළි, සිංහාසනාරූඪ වූ රජවරු, රාජසභා හා ප්‍රේම බන්ධනයන්ට සම්බන්ධ වූ ජවනිකා ආදිය බහුලය. ඒවා නියම කර ඇත්තේ මානසික සුවයට හේතු වන ලාලිත්‍ය ගෙන දීමට යෝග්‍ය වන ලෙස වර්ණ ගැන්වීමෙනි. මලින් පිරුණු භූමිභාග, මනහර ඇඳුම් ආයිත්තම්, සුවපහසු නිවාස ආදිය නිරූපණයට විශේෂ සැලකිල්ලක් දක්වා ඇති බැව් පෙනෙයි.

මෙම ශෛලියට අයත් ශිල්පායතන පිහිටා තිබුණේ ශිරාස්, හීරාත්, තබි්‍රස් යන නගරවලය. බිහ්සාද් නමැති චිත්‍ර ශිල්පියාගේ සිතුවම්වලින් මෙම චිත්‍ර ශෛලියේ උච්චතම අවස්ථාව පිළිඹිබු කෙරේ. ටිමුර් පෙළපතේ අවසන් වරට රජ කළ රජවරුන් කිහිප දෙනාගෙන් කෙනකු යටතේ සේවය කළ 'බිහ්සාද් හීරාත්' රාජ සභාවේ චිත්‍ර ඇඳීම සඳහා ඔහුගේ කාලයෙන් වැඩි කොටසක් ගත කළේය. ටිමුරිය පෙළපතේ අභාවයෙන් පසු බිහ්සාද් ශෛලිය සොළොස් වැනි ශතවර්ෂයේ මැද භාගය දක්වා ප්‍රචලිත විය. සාෆාවිද් ශා. පෙළපතට අයත් යුගයේදීද එය ව්‍යහාරයෙහි පැවැතිණි. ඇතැම් චිත්‍ර ශිල්පායතනයන්හි එය සංවර්ධනය වූ අතර ඇතමෙක එය බිහිවිණි.

මෙම පෙළපතට අයත් ශා. තාමාස්ප් ධ් රජු සමයේදී යථාර්ථ නිරූපණය බෙහෙවින් ජනප්‍රිය විය. සොළොස් වැනි සියවසේ මැද භාගයේදී ඇතැම් චිත්‍ර ශිල්පීහු පැරැණි චිත්‍ර ශෛලිය බැහැර කර සියුම් රේඛා චිත්‍ර හා කෝමල වර්ණ සංයෝජනයද ඇරැඹූහ. සොළොස් වැනි සියවස අවසානයේදීද සතළොස් වැනි සියවස ආරම්භයේදීද ඉන් පසුව ආ දශක කිහිපයකදීද රාජ මාලිගයන්හි හා ප්‍රසිද්ධ ගොඩනැඟිලිවල බිතුසිතුවම් පිළිබඳ පුනරුත්ථාපනයක් ඇති විය. සතළොස් වැනි සියවසේදී යුරෝපීය චිත්‍ර ශෛලිය ඉරානයේදී පැතිර ගියේය. කශ්වීන්, තබී්‍රස්, ශිරාස්, හීරාත්, මෙෂෙද්, ඉස් ෆහාන් යන ප්‍රදේශ සෆාවිද් චිත්‍ර සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි.

විසි එක් වැනි සියවසේදී කජාර් පෙළපතේ අනුග්‍රහයෙන් තෙල් සායම් චිත්‍ර ශෛලියක් බිහි විය. මේ චිත්‍ර අඳින ලදුයේ කැන්වස් රෙදිවලය.

පැරැණි පර්සියානු චිත්‍ර කලාවට අයත් ඇතැම් අංග එහි විද්‍යමාන වුවද යුරෝපය චිත්‍ර කලාව මේ චිත්‍රයන් කෙරෙහි බෙහෙවින් බලපා ඇති බව නොරහසකි. මේ චිත්‍ර විශේෂයට වස්තු වී ඇත්තේ රාජසභිකයෝ, රාජකීය පවුල, වංශාධිපතීන් හා අභිසාරිකාවන්ය. ඉන්පසු කාලයට අයත් චිත්‍රවලින් සමහරක සෆාවිද් ශෛලියට අනුවද ඇතැම් ඒවා යුරෝපීය ශෛලියටද නිමවා ඇත.

සුලක්ඛන ජයවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon