කට වහරක රස ගුණෙනා රහතුන් වැඩිය කන්දයි මේ අප දකිනා

  👤  2904 readers have read this article !
2019-01-06

දුටුගැමුණු කුමාරයා පිය රජ්ජුරුවෝ එක්ක අමනාප වෙලා හොර රහසේම කොත්මලේට පැනලා ගිහින්. එහෙට වෙලා හිටියා. පිය රජ්ජුරුවන්ට කියන්නේ නැතිව කිපිලා දුෂ්ටකමට කරපු වැඩ හින්දා ගැමුණු කුමාරයා දුෂ්ට ගාමිණී නැත්නම් දුටුගැමුණු කියලා ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. කොහොම වුණත් කාවන්තිස්ස රජ්ජුරුවෝ මේ දරුවෝ දෙන්නට බොහොම ආදරෙයි. කොයි මොහොතේ හරි දෙන්නා වස්තුවලට ලෝභයෙන් ආරවුලක් ඇති කරගනියි. එහෙම වුණොත් දස මහ යෝධයන්ගෙන් කවුරුවත් මේ දෙන්නාගේ පැත්තක් නොගන්න විදියට දිවුරුවා ගත්තා.

ඔහොම ඉන්න අතරෙදි කාවන්තිස්ස රජ්ජුරුවෝ මිය පරලොව ගියා. පියරජු මියගිය බව ආරංචි වුණාම තිස්ස කුමාරයා දිඟාමඬුල්ලේ සිට ඇවිල්ලා පියාගේ ආදාහන කටයුතු කරලා දුටුගැමුණු කුමාරයාට දැනුම් නොදී මවු බිසවයි, කඩොල් ඇතායි, තවත් වස්තු භෝග එහෙම අරගෙන දිගාමඬුල්ලට ආපසු ගියා. කොහොම හරි මාගම හිටපු ඇමැතිවරු කවුරු හරි මේ ගැන දන්වලා කොත්මලේ හිටපු ගැමුණු කුමාරයාට පණිවුඩ යවනවා. කුමාරයාට මේ බව ආරංචි වෙලා බොහොම ශෝකයට පත්වෙලා කොත්මලේ ඉඳලා බුත්තලට පැමිණියා.

එහෙම ඇවිල්ලා දුටුගැමුණු කුමාරයා තුන් සැරයක්ම හසුන්පත් ඇරියා. තිස්සමහාරාමයට මවුබිසවයි, කඩොල් ඇතැයි එවන්න කියලා. දුටුගැමුණු කුමාරයා මේ සිද්ධියෙන් හොඳටම කිපුණා. මම්ම යනවායි කියා සේනාවක් අරගෙන ගිහින් තිස්ස කුමාරයත් සමඟ යුද්ධ කරන්න තීරණය කළා. තිස්ස කුමාරයාත් තමන්ගේ වැඩිමහල් සොහොයුරාත් අරගෙන ඇවිල්ලා යුදඟනාව පිටියේදී ගැමුණු කුමරයාගේත්, තිස්ස කුමාරයාගේත් සටන පටන් ගත්තා. මේ සටනින් දුටුගැමුණු රජ්ජුරුවෝ පරදිනවා. දස මහා යෝධයෝත් කලින් පොරොන්දු කරවාගෙන තිබූ නිසා මේ දෙදෙනාගෙන් කාගෙවත් පැත්තක් ගත්තේ නෑ. දුටුගැමුණු කුමාරයා සටනින් පරාදවෙලා තිස්ස කියන ඇමැතියකුයි, "දීඝථුනිකා" කියන වෙළඹයි අරගෙන ජීවිතය බේරගන්න පැනලා ගියා.

මෙහෙම පලා යන ගැමුණු කුමාරයා පස්සේ තිස්ස කුමාරයා එළවාගෙන ගියා. මෙහෙම පැනලා ගිය දුටුගැමුණු කුමාරයා මැණික් ගඟේ නාන තොටට වෙලා හිටියා. මෙහෙම යන දුටුගැමුණු කුමාරයා පස්සේ එළවාගෙන එන තිස්ස කුමාරයා වළක්වන්න රහතන් වහන්සේලා විශාල කන්දක් මැව්වා. ඒ කන්ද තමයි ඔය බුත්තල පැත්තෙන් ඔක්කම්පිටිය පැත්තට එනකොට පේන්න තියෙන විශාල කන්ද. මේ කුමාරයෝ දෙන්නා බේරගන්න රහතන් වහන්සේලා මැව්ව කන්ද නිසා මේ කන්ද "රහත් මැවූ කන්ද" - "රහතන් මැවූ කන්ද" එය අද වන විට "රහතන් කන්ද" යනුවෙන් හැඳින්වෙනවා.
(ඔක්කම්පිටිය ආශ්‍රිත ජනප්‍රවාදගත තොරතුරු ඇසුරිනි.)

එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon