හයිකු කවි ආරෙන් නවකතාවට රස කැවූ ජපානයට නැතිවම බැරි ඉහාරා

  👤  2840 readers have read this article !
2019-01-06

"සයිකකු ඉහාරා" යනු ජපන් ජාතිකයන්ට නම් කිසිදා අමතක නොවන ලේඛකයෙකි. ඔහු 1642- 1693 අතර එනම් 17 වැනි සියවසේ ජීවත්වූ ප්‍රමුඛම ලේඛකයෙකි. ඔසාකා නුවරදී උපත ලද මොහුගේ මුල් කාලය ගත වූයේ ජනප්‍රිය පද්‍ය විශේෂයක් වූ "හයිකු කවි" රචනා කිරීමෙනි. ඉහාරාගේ ප්‍රබන්ධ ඒ තරමටම නොවුණත් ශීඝ්‍ර රචකයකු වශයෙන් ඔහු ඉතාමත් කීර්තියට පත්විය. 1684දී ඔහු එක් දිනක් තුළදී පද්‍ය 23,500ක් රචනා කළ බැව් සඳහන් වේ. කාව්‍ය ඉතිහාසයේ විස්මයජනක සිද්ධියක් වූ මෙය හේතු වූ නිසාවෙන්ම ඔහු "විසිදාහේ කවියා" ලෙස හඳුන්වන්නට ජපනුන් සමත් වූහ.

පද්‍ය රචනා කිරීම හැරුණු කොට මේ ලේඛකයා ලියූ නාට්‍යය රැසක්ද කාව්‍ය විචාර ග්‍රන්ථ සමූහයක්ද සම්පාදනය කරන ලදී. එහෙත් ඔහු ප්‍රකට වී සිටියේ නවකතාකරුවකු ලෙසය. ඔහුගේ නවකතා සජීව වූත් ව්‍යාංගාත්මක වූත් ශෛලියකින් යුක්ත විය. ඔහු තම කතාව තුළින් ඉතා පරිස්සමින් වදන් භාවිත කොට තිබෙන බැව් පෙනෙයි. මේ හැම ගුණයක්ම "හයිකු" කවියෙන් ලද ආභාසයේ ප්‍රතිඵල බව පැහැදිලිය.

ඉහාරාගේ නවකතා එකල ජපන් සමාජයේ සෑම අංශයක්ම නිරූපණය කරයි. ඇතැම් නවකතාවල එවක ජන සමාජයේ උසස් තැනක් ගත් වෙළෙඳ පන්තියේ කාමාසක්තභාවය මෙන්ම ඉතාම ප්‍රකට නවකතාවද වන "කො ෂෝකු ඉච්දායි ඔතෝකෝ" (පෙම් කිරීමට දිවි ගෙවූ මිනිසා) කෘතියෙන් නිරූපණය වන්නේ කාමාසක්තයකු සය හැවිරිදි වියේ සිට හැට හැවිරිදි වියේදී ස්ත්‍රින්ගෙන් පිරුණු දූපතකට යන තුරුම ගත කළ ජීවිතයයි. ඉහාරා රණදෙටු පන්තිය. (සමුරායි) ගැනද නවකතා ලියුවේය.

කිනම් විෂයයක් ගැන ලියූවද ඔහු තම කෘතීන්ට උපහාස රසය නොඅඩුව කැවූ බව පෙනෙයි. නවකතාකරණය විෂයෙහි ඔහුගෙන් ඇතිවූ ආභාසය ඔහු මිය යෑමෙන් පසුත් අවුරුදු බොහෝ ගණනක් මුළුල්ලේම පැවැතිණි.

එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon