වැඩ බැරි ටාසන්ලාට තවදුරටත් රැවටෙමුද?

  👤  3364 readers have read this article !
2019-01-08

වර්තමාන ආණ්ඩුව බලයට ආවේ බටහිර රටවල ප්‍රචලිත සංකල්පයක් වන 'ගුඩ් ගවර්නන්ස්' හෙවත් 'යහපාලනය' රටට හඳුන්වාදෙන බව පොරොන්දු වෙමිනි. මින් පෙර ලංකාවේ පැවැති පාලන ක්‍රමයන් අයහපත් බවක් ඉන් අදහස් නොවේ. ඉන් අදහස් වන්නේ බටහිර විදියට හිතන්නට කැමැති ඉංග්‍රීසි තේරෙන නාගරික මධ්‍යම පන්තියට ආකර්ෂණීය නව මුහුණුවරකින් යුත් ඡන්ද ව්‍යාපාරයක් එකල විපක්ෂය විසින් දියත් කළ බව පමණි. ඇත්තෙන්ම කියනවා නම් යහපාලනයට ඡන්දය දුන් බොහෝ දෙනෙක් එහි නියම අරුත අදත් නොදනිති.

සැබෑ යහපාලනය යනු කුමක්ද? එහි සාමාන්‍යයෙන් පිළිගන්නා ලක්ෂණ කිහිපයක් ඇත.

ජනතා සහභාගිත්වය, සැමට සාධාරණ නීතිය, විනිවිද භාවය, වගවීම, කාර්යක්ෂම ජනතා සේවය, සමාජ සාධාරණත්වය, සමානාත්මතාව, පොදු එකඟතාවන්ට ගරු කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, දූෂණ පිටුදැකීම.


ඉහත ලක්ෂණ සමාජයක් තුළ දක්නට ලැබේ නම් එම රටට හෝ සමාජයට යහපාලනයක් උදා වී ඇතැයි යමකුට කිව හැකිය. නමුත් වත්මන් පාලකයන් පිරිස බලයට පත් වී වසර 4කටත් වඩා ගත වී තිබෙන අද ඉහත කී කරුණුවලින් අප 2014ට වඩා ඉදිරියෙන් සිටිනවාද යන්න අවංකවම හදවතට තට්ටු කොට විමසිය යුතු නොවේද?

දිගින් දිගටම ඡන්ද කල්දාන ඒ සඳහා උසාවි අවසර පවා ලබාගත හැකි රටක ජනතා සහභාගිත්වය ගැන කිව හැක්කේ කුමක්ද? රුපියල් තුන්දාහක අල්ලසක් ගත් පුද්ගලයා වසර 8කට සිරගෙදරට ගියත් රටට කෝටි ලක්ෂයක් පාඩු කළ උන්ට කිසිම නඩුවක් නැති රටක නීතිය සැමට සාධාරණද? මුළු රටම බලා සිටින මහ බැංකු බැඳුම්කර මංකොල්ලයේ ජනාධිපති කොමිෂන් වාර්තාව මෙපමණ කලක් ගත වීත් ජනතාවට දැක ගත නොහැකි රටක මොන විනිවිද භාවයක්ද? පෝර්ට් සිටියේ, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ, හයට් හෝටලයේ, කොන්ත්‍රාත් නවත්තන්නට ගත් වැරැදි තීරණ නිසා කොන්ත්‍රාත්කරුවන්ට මහජන මුදලින් රුපියල් කෝටි 4500කට වඩා වන්දි ගෙවන්නට සිදුවීමේ වගකීම ගන්නේ කවුද?

චක්‍රලේඛ නොතකා ගංවතුරින් අනාථ වූ ජනතාවට සහන ලබා දෙන්නැයි රාජ්‍ය සේවකයන්ට ආයාචනා කරන්නට රජයට සිදු වූ රටක කාර්යක්ෂම ජනතා සේවය ගැන කුමන කතාද? මැති ඇමැතිලා සියලු වරප්‍රසාද ලබා ගනිද්දී ජනතාව දවසින් දවස දුප්පත් වන රටක සමාජ සාධාරණත්වය තිබෙනවාද? විරුද්ධවාදීන්ට නඩු පිට නඩු දමමින් ඇප නොදී මාස ගණන් තබාගන්නා අතර තමුන්ගේ උන්ට මිනීමැරුවත් ඇප දෙන රටක, ඇස්පනාපිට රට කෑ හොරුන්ට සාක්කි මදි කියා නඩු නොදමන රටක සමානාත්මතාව ගැන කතා කළ හැකිද? ආසන 100ක් තිබෙන පක්ෂයට විපක්ෂ නායකකම දුන් විට ආසන 14ක් තිබෙනා පක්ෂය එයට විරුද්ධ වීම පොදු එකඟතාවන්ට ගරු කිරීමද? තමන්ව විවේචනය කරන මාධ්‍ය ආයතනවලට නඩු දාන නිසා චෙක්පත් සූදානම් කර ගන්නැයි රටේ ලොක්කන් තර්ජනය කරන රටක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් ඇත්තටම තිබෙනවාද? දූෂණ චෝදනා නිසා ඇමැතිකම් නැති වූවන් යළි යළිත් ඇමැතිකම් ලබන රජයේ ඇමැති කෙනකු නම් මොන චෝදනාව ආවත් පරීක්ෂණ නැති ඉතිහාසයේ ලොකුම හොරකමේ මහමොළකරුවන් විසින් පාලනය කරනු ලබන රටක මොන යහපාලනයක්ද?

2015 ජනවාරි 9 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් දිවුරුම් දුන් දා සිට දින 51ක් හැරුණු විට අන් සම්පූර්ණ කාලයම මේ රටේ ආර්ථිකය කළමනාකරණය සිදුවූයේ ඔහුගේ නායකත්වයෙන් බව නොදන්නෙක් නැත.

තමුන්ගෙ බැරිකම වසා ගන්නට අනුන් මත වරද පැටවීම රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතිහාසගත පුරුද්දකි. 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිට ඔහු කීවේ මහින්ද රාජපක්ෂ මහතා රට ණය උගුලක පටලවා ඇති නිසා ආර්ථිකය හැසිරවීම අපහසු බවය. රාජපක්ෂ ණය ගැන නහයෙන් අඬමින් රනිල් වික්‍රමසිංහ රජය ඉතිහාසයේ කිසියම් රජයක් නොකළ ආකාරයට ලංකාව ණය උගුලක පැටලුවේය. 2017 අවසන් වන විට රාජ්‍ය ණය රුපියල් බිලියන 7391 සිට රුපියල් බිලියන 10,313 දක්වා 40%කින් ඉහළ ගියේය.

මේ ගැන රටේ ආර්ථික විද්වතුන් විසින් දිගින් දිගටම ජනතාවට කරුණු පැහැදිලි කරනා විට යහපාලන රජය අපූරු විසඳුමක් සොයාගත්තේය. ඒ මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය මඟින් එතෙක් මාසිකව ජනතාවට ලබා දුන් රාජ්‍ය ණය සම්බන්ධ තොරතුරු සැඟවීමේ ප්‍රතිපත්තියක් හඳුන්වාදීමයි. අද යමෙක් මහ බැංකු වෙබ් අඩවියට හෝ මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියට ගොස් රාජ්‍ය ණය විස්තර සොයන්නට උත්සාහ කළොත් 2017 දෙසැම්බර්වලින් පසු කිසිදු ණය විස්තරයක් එහි නැත. යහපාලන ආණ්ඩුව බලයට එනතුරු ජනතාවට තිබුණ තොරතුරු දැනගැනීමේ අයිතිය කාටත් හොරෙන් නැති කොට තිබෙන ආකාරය අපූරුය.

කොටස් වෙළෙඳපොළ සාමාන්‍යයෙන් ඕනෑම රටක ආර්ථිකයේ බැරෝ මීටරය ලෙස හැඳින්වේ. 2014 අවසන් වන විට ආසියාවේ තිරසාරම කොටස් වෙළෙඳපොළ ලෙස සම්මානයක් පවා දිනා සිටි කොළඹ කොටස් වෙළෙඳපොළ අද ආසියාවේ දුර්වලම කොටස් වෙළෙඳපොළය. පසුගිය සතිය අවසන් වූයේ කොළඹ කොටස් වෙළෙ¼දපොළේ දෛනික පිරිවැය රුපියල් මිලියන 68ක් වැනි ශෝචනීය අගයකට පහළ වැටෙමිනි. 2014 කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැය දළ වශයෙන් රුපියල් මිලියන 1400ට ඉහළ විය. වසර 4ක් තුළ රටේ ආර්ථිකය බිඳවැටුණු හැටි වටහාගන්නට කොටස් වෙළෙඳපොළ හොඳම උදාහරණයකි. නමුත් මෙහිදී මතක් කළ යුත්තක් ඇත. කොටස් වෙළෙඳපොළ නියාමනය කරන සුරැකුම්පත් හා විනිමය කොමිසමේ වෙබ් අඩවිය 2014 වන විට ඉතා සක්‍රියව කොටස් වෙළෙඳපොළ පිළිබඳ දත්ත ජනතාවට සපයමින් සිටි ආයතනයකි. අද සුරැකුම්පත් හා විනිමය කොමිසමේ වෙබ් අඩවියට පිවිසෙන්නකුට 2014න් පසු දත්ත එහි නැති බව පෙනී යනු ඇත. කොතරම් අපූරුවට ජනතාවට යහපාලන රජය තොරතුරු දැනගැනීමේ අයිතිය ලබාදී තිබේද යන්නට මෙය තවත් උදාහරණයකි.

2018 ඔක්තෝබර් 26 මේ රටේ බල පෙරළියක් සිදු විය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරෙන් ඉවත් කරනු ලැබ කෙටි කලකට මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් විය. එහෙත් දෙසැම්බර් 16දා මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අගමැති ලෙස දිවුරුම් දුන්නේය.

දැන් රනිල් වික්‍රමසිංහ මහතාගේ අලුත්ම තර්කය 2018 මහින්ද රාජපක්ෂ අගමැති වී සිටි කාලය තුළ ආර්ථිකයට විශාල හානියක් වී ඇති බවය. මෙය මොනතරම් නිර්ලජ්ජිත ප්‍රකාශයක්ද?
මහින්ද රාජපක්ෂ මහතා අගමැතිව සිටියේ දින 51ක් පමණි. ඉනුත් හරි අඩක්ම උසාවි තීන්දු හා පාර්ලිමේන්තුවේ පැවැති වාතාවරණය නිසා ඔහුට වැඩි යමක් කළ නොහැකි විය. කරන්නට පුළුවන් වූයේ යහපාලන ආණ්ඩුව මඟින් ජනතාව මත පටවා තිබූ බදු බර තරමක් දුරට හෝ ලිහිල් කිරීම පමණි.

2015 ජනවාරි මස 9දා සිට මේ වනතෙක් දින 51ක් හැරුණු විට මුළු කාලයම එනම් දින 1400කට වඩා රට පාලනය කළ රනිල් වික්‍රමසිංහ මහතා සහ ගෝල පිරිස අලුතින් පත්වූ රජයක් සේ රටට පෙන්වමින් රඟන නාටකයට රැවටෙන අයද සිටිනා මුත් රටේ සියලු ජනතාව මෝඩයන් නොවේ.

මේ දින 1400 තුළ රටට කළ හානියෙන් බිඳක් මතක් කර බලමු.

රටට රුපියල් ටි්‍රලියනයකට වඩා පාඩු කළ මහබැඳුම්කර මංකොල්ලය සිදුවුණේත් ආර්ථික සංවර්ධන වේගය 7% සිට 2.5%ට කඩා වැටුණේත් ජනතාව මත බදු බර 100%කින් වැඩි වුණෙත් රුපියල 38% කින් අවප්‍රමාණය වී ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත්වුණේත් නිදහසෙන් පසු වසර 66ක් පුරා එකතු වී තිබූ රාජ්‍ය ණය බර වසර 4ක් තුළ 50%කින් පමණ වැඩි වූයේත් 'ෆිච්', 'මූඩීස්' හා 'එස් ඇන්ඩ් පී' කියන ජාත්‍යන්තර පිළිගත් ශේ‍ර්ණිගත කිරීම් ආයතන 3ම ලංකාවේ ශේ‍ර්ණිය පහළ දැමුවේත් 'බ්ලූම්බර්ග්' ආයතනය කියන විදියට ලෝකයේ ආයෝජනයට අන්තරාදායකම රටවල් අතරට ලංකාව එකතු වුණේත් රණවිරුවන් හා භික්ෂුන් වහන්සේ වැඩිම පිරිසක් සිරගත කරනු ලැබුවේත් ලංකාවට එරෙහිව වෙනත් රටක් විසින් ගෙනා ආයෝජනාවකට සම අනුග්‍රහය දීමේ නීච දේශද්‍රෝහී ක්‍රියාව කරනු ලැබුවේත් අනාගත ලංකාවේ වටිනාතම ආර්ථික මර්මස්ථානයක් වීමට නියමිතව තිබූ හම්බන්තොට වරාය රජයේ සේවකයන්ගේ වාර්ෂික විශ්‍රාම වැටුපට සමාන මුදලකට විකුණා දමනු ලැබුවේත්. මැතිවරණ දිගින් දිගටම කල් දමමින් මහජන ඡන්ද අයිතිය දිගින් දිගටම වංචනික ලෙස උදුරාගනු ලැබුවේත් ලංකා ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට තරුණ පරපුර කුඩුවලට යොමුවුණේත් 2014 වන විට අසන්නටවත් නැතිව තිබූ පාතාලය යළි නැඟිට රට අනාරක්ෂිත ස්ථානයක් බවට පත් වුණේත් මේ දින 1400 තුළය.

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකම දැරූ දින 51ක කාලය තුළ ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණුනේ නැත. රට හොල්ලන හොරකම් සිදු වූයේ නැත. ජනතාව මත බදු පැටවුණේ නැත. අලුතින් විදේශ ණය ගැනුණේ නැත. රට පාවා දෙන ගිවිසුම් අස්සන් කළේ නැත. කොටින්ම ජනතාවට සහන දුන්නා මිස දින 51ක් තුළ රටට වූ කිසිදු හානියක් නැත.

එසේ නම් දින 1400ක පරිහානිය අමතක කොට දින 51ක් ගැන පමණක් දෝෂාරෝපණය කරන්නට සදාචාරාත්මක අයිතියක් කිසිවකුට තිබේද?

පසුගිය වසර කිහිපය ලෝකයේ ආර්ථික අර්බුදයක් නොතිබුණ යුගයකි. විශේෂයෙන් 2017-2018 ලෝකයේ බොහෝ ආර්ථිකයන් ඉදිරියට ආ යුගයකි. පාකිස්තානය, බංග්ලාදේශය වැනි රටවල් පවා අළු ගසා නැඟිටින්නට සමත් වූ යුගයකි. 2014 වන විට ආසියාවේ 2 වැනියාට වේගයෙන්ම දියුණු වෙමින් පැවැති රට වූ ලංකාව ආසියාවේ දුර්වලම මුදල් ඒකකය හිමි, ආසියාවේ අඩුම ආර්ථික වර්ධන වේගය හිමි, මුළු ලෝකයටම විහිළු සපයන රටක් බවට පත් කළ වැඩ බැරි ටාසන්ලා හදිසියේම අලුතින් බලයට පත්වූවන් ලෙස රංගනයක යෙදෙන විට මේ රටේ බුද්ධිමත් ජනතාව ඒ දෙස බලා සිටින්නේ ඉමහත් කම්පාවෙනි.

ආචාර්ය නාලක ගොඩහේවා

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon