වීරයා සහ දෙවිවරු

  👤  2632 readers have read this article !
2019-01-11

මහනුවර නගරයේ යටිනුවර වීදියේ සය මහල් ගොඩනැඟිල්ලක පහළ මහලක ඇති වූ ගින්නක් පැතිර යෑම නිසා ඉහළ මහලේ කොටු වූ දරු පවුලක් ජීවිතය බේරා ගැනීමේ සිද්ධිය මේ දිනවල දනන් තුඩ තුඩ රැව්දෙන්නකි. මේ කථාවේ 'වීරයා' නාමනාදන් රාමරාජ්ය. ඔහුගේ ස්ථානෝචිත ප්‍රඥාව, ඉවසිලිවන්තභාවය හා සිය බිරියටත් දරු තිදෙනාටත් තිබූ අසීමිත ආදරය මේ වීරත්වයේ රහසයි.

වෘත්තියෙන් රන් භාණ්ඩ අලෙවිකරුවකු වූ රාමරාජ් බණ්ඩාරවෙල සිට දරු තිදෙනා හා බිරිය කැටුව මහනුවර, යටිනුවර වීදියේ ඔහුගේ නවාතැනට පැමිණ ඇත්තේ ගින්න හටගත් දින අලුයමය.
ඔහුගේ අරමුණ වී ඇත්තේ යටිනුවර වීදියේ මේ හයවැනි මහලේ දරුවන් හා බිරිය සමඟ ජීවත්වීමටය.

රාමරාජ්ගේ රැකියා ස්ථානය පිහිටා තිබී ඇත්තේ මේ ගොඩනැඟිල්ලේ සිවුවැනි මහලේය. දෛවයේ සරදමකට මෙන් දරු පවුල කැටුව ආ දිනයේම මේ ගින්න ඇතිවී තිබේ.

හදිසි ‍ෙදාරටුවක් හෝ බැහැරින් තරප්පුවක් නැති මේ ගොඩනැඟිල්ලෙන් බිමට බැසීමට මඟක් නොමැති බව ක්‍ෂණයකින් තේරුම් ගත් රාමරාජ් ඇඳ ඇතිරිලි හා මෙට්ට ජනේලයකින් දමා බිමට පැනීමට උදවු කරන්නැයි රැස්ව සිටි පිරිසගෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව බිමට හෙළුෑ දරු තිදෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට පහළ සිටියවුන් ඉදිරිපත්වී තිබුණේ පොලිස් නිලධාරීන් පවා කට ඇරන් බලා සිටියදීය. තවත් පිරිසක් සිද්ධිය ජංගම දුරකථනවලින් ඡායාරූප හා වීඩියෝ ගත කර තිබිණි.

මෙවැනි නරුමයන් මේ රටේ දැන් බහුලය. එහෙත් රාමරාජ් මාධ්‍යට පවසා තිබුණේ පල්ලෙහා සිටි අය බය නැතිව පනින්න අපි අල්ලා ගන්නම් කියූ බවත්, මටවත් මගේ දරුවන්ටවත් බිරියටවත් අනතුරක් නොවුණේ ඔවුන්ව අල්ලාගත් පහළ සිටි අය නිසා බවත්ය. ඒ මනුස්සකම දහසක් ගිනිවලට වඩා ප්‍රබල බව ඔහු අවධාරණය කර තිබිණි.

සත්‍ය වශයෙන්ම තමන්ගේ දරු තිදෙනාගේ සහ බිරියගේ දිවිත්, සිය දිවියත් බේරා ගත් රාමරාජ් වීරයෙක් ලෙස ගෞරවාදරයට පාත්‍ර වෙද්දී පස්දෙනකුගේ ජීවිත රැකදුන් මිනිසුන්, නරුමයන් අතර සිටි දෙවිවරුන්ය. සත්‍ය වශයෙන්ම ඔවුහු ජීවමාන දෙවිවරු වෙති.

මීට පෙරද මෙවැනිම හදිසි ගිනි ගැනීම්වලින් මහල් නිවාස හා ගොඩනැඟිලිවලට අලාභ හානි වූ අතර ජීවිතද විනාශ විය. දෙහිවල මහල් නිවෙසක ඇතිවූ ගින්නකින් ගැබිනියක ඇතුළු තිදෙනකු මිය ගියේ විස වායු හේතුවෙනි. මෙවැනි හදිසි ගිනි ගැනීම්වලදී ඊට මුහුණ දෙන ආකාරය ගැන බොහෝ දෙනකුට අවබෝධයක් නැත. අනෙක් පැත්තෙන් ඇතැම් ගොඩනැඟිලිවල හදිසි ‍ෙදාරටු, එළියෙන් දැමූ තරප්පු නැත. ප්‍රමිතියකින් තොරව මෙවැනි ගොඩනැඟිලි තැනීමට අවසර දෙන්නේ කවුද යන්න ප්‍රශ්නයකි.

හිටිහැටියේ කඩා වැටෙන ගොඩනැඟිලි, ගින්නක් වැනි හදිසි අවස්ථාවකදී පිටවීමට ක්‍රමයක් නැති ගොඩනැඟිලි ගැන ලංකාවේ සිවුදෙසින් වාර්තා වේ. මහනුවර, යටිනුවර වීදියේ සිද්ධිය පාඩමට ගෙන රට පුරා ඇති මෙවැනි ගොඩනැඟිලි ගැන සොයා බැලීම බලධාරීන්ගේ වගකීමය. සිය ජීවිතය පමණක් බේරා ගැනීමට නොසිතූ ආදරණීය සැමියකු, ආදරණීය පියකු, බුද්ධිමත් මිනිසකු වූ රාමරාජ් නිසා ඛේදවාචකයක් වීමට තිබූ සිද්ධියක් සැනසිලිදායක ලෙස අවසන් විය.

සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් මේ පොළොවේ සිටින බව ඇසීමත් සතුටකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon