ඩී.එස්.-ජේ.ආර්.-ප්‍රේමදාස මහා පොදු සාධකය

  👤  3050 readers have read this article !
2019-01-11

එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ කුමන අර්බුද මැද වුව කෙළින් සිටුවා නියමිත ඉලක්ක ජයගත යුතුය යන්න දැන් දැන් කවුරු කවුරුත් එජාපයේ බිම් මට්ටමේ සිට කතාබහට ලක් කරන්නකි. එහෙත් ගමට යන ගමන මේ යන විදියෙන් නම් ගිහින් බැරි යැයි කියැවෙන කතාද ඒ අතර ඇත. ගමට යන්න නම් ගමට වැඩක් කරලා තියෙන්නට ඕනෑය යන්නද තවත් පිරිසක් කතා කරන්නේ නිකමට නොවේ. කෙසේ වෙතත් එජාපයේ පහළ මට්ටමේ සිට ඉහළටම පක්ෂයට පණදී මේ මොහොතේ ඉලක්කය දිනාගත යුතු යැයි කියැවෙන කතා ප්‍රබලය.

'මුලින්ම ගන්න ඕනෑ ජනාධිපතිවරණයක්. ඒක එක්සත් ජාතික පක්ෂය මුල් වෙලා, සෙසු පක්ෂ එකතු කරගෙන පෙරමුණක් විදියට ශක්තිමත් වෙලා, පොදු අරමුණකින් එකතු වෙලා, බරපතළ විදියට කැප වුණොත් ජයගන්න පුළුවන්. නායකයා දැන් කරන්නේ ඒකයි.'

එජාපයේ ප්‍රබලයෙක් පවතින තත්ත්වය ගැන නිතර විමසන සියලු දෙනාටම කියන දෙයක්ය. එහෙත් ඇතැමුන් ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයටත් එහා ගිහින් තරගෙට දාන්නෙ කවුදැයි විමසති. එය තවමත් නොවිසඳුණු අප්‍රකාශිත දෙයක් වීම නිසා අහවලා හොඳය. අහවලා එපාය යැයි කියනවාට වඩා එහා ගිය දෙයක් මේ මොහොතේදී එජාපයට කරන්නට ඉතිරි වී ඇත. එනම් තමන් කොයි තරම් ශක්තිමත් දැයි සිතා සිටියත් තව තවත් සන්නද්ධ නොවූයේ නම් සටන පහසු වන්නේ නැති බවයි.

'අපට ඕනෑ කොයි වගේ නායකයෙක්ද?' එජාපයේ යමෙක් එහෙමත් අසන්නේය. එයට පිළිතුරු දීගත නොහැකිව කල්පනා කරන අයම තව ටිකක් බලා කියන්නේ...'

ඇත්තටම අනාගතය වෙනුවෙන් එජාපයට ඕනෑ කරන්නේ කොයි වගේ නායකයෙක්ද කියලාය. එතැනදී සමහරු කියන්නේ.

'අපට ඩී.එස්. වගේ ඉස්සරහ හිතන අපේ මිනිහෙක් වගේ පෙනෙන නායකයෙක් හොඳයි.' කියලාය. තවත් සමහරුන්ට 'අපට ඕනෑ ජේ.ආර්. වගේ මොළේ තියෙන උපායශීලී නායකයෙක්' කියන්නේය. මේ සියල්ලටත් එහා ගිය ගමේ මිනිසුන් අතරින් එන කතාවක් නම්...

'මේ රටේ අනාගතය සරු කරන්න පුළුවන් දුර දක්නා නුවණක් ඇති නායකයකුට පමණයි මේ අභියෝග ජය ගන්න පුළුවන්. කතා කරනවාට වඩා එහා ගිය දැක්මක් ඒ නායකයාට තියෙන්න ඕනෑ.' කියලාය. මේ සියල්ල සාරාංශ ගත කර බලතොත් එජාපයේ ජනමතය වන්නේ...

'උපායශීලීව, අනාගතය දකින, මතුපරපුරේ අභිවෘද්ධිය ගැන සිතා තීන්දු තීරණ ගන්න නායකයෙක්. මොහු ජන සම්මතවාදය රකින විශේෂයෙන් ජනතාව ජීවත් කර විය යුතු බව සිතන, ඔවුන් දුකින් මුදාගන්නා, ඔවුන්ට සරු අනාගතයක් උරුම කරන අයෙක් වන්නට ඕනෑ.' කියලාය.

එතැනදී නම් වත්මන් නායකකාරකාදීන් වඩාත් සිහිනුවණින් තේරුම්ගත යුතු කරුණු කාරණා කිහිපයක්ම ඇත. ඒ නායක කාරකාදීන් සිතනවාට වඩා පක්ෂයට හද බැඳගත්, ඡන්දය දෙන, තවමත් නොවෙනස්ව ඉන්න ඡන්දදායකයන් පිරිසක් එජාපයට සිටින බවය. ඔවුන් සිතන පතන දේ ගැන නායකයන් සිතා බැලිය යුතු බවය.

'බලන්න ඩී.එස්. සේනානායක මහත්තයා එදා දුරදිග හිතලා ගොවිජනපද ව්‍යාපාර පටන්ගත්තෙ නැත්නම් අපට යුද්ධය ඔය තරම්වත් කාලෙකින් ඉවර කරන්න වෙන්නෙ නෑනේ.

මායිම් ගම්මාන රැකුණෙ, ඒ ගම්මානවලින් යුද්දෙට තරුණයන් බැඳුණෙ, ග්‍රාමාරක්ෂකයන් හැදුණේ ඒ ජනපද නිසායි. ඇරත් ඩී.එස්. ජාතීන් අතර ගැටුම් ඇති නොවෙන්න දුරදිග හිතලා හැම ජාතියක්ම මිශ්‍රව ජීවත් වෙන්න පුළුවන් ජනපද හැදුවා. එහෙම කාලයක් ගිය නිසායි සිංහලයන් අතර ඒ ගම්බිම්වල දෙමළ, මුස්ලිම් මිනිස්සු රැකුණෙ. ඒ නිසා ඩී.එස්.ගෙ සැලැසුම් අදටත් වලංගුයි. මහවැලි ජනපද හදලා ගාමිණී දිසානායක මහත්තයාත්, ගම්උදා හදලා ප්‍රේමදාස මහත්තයාත් රැක්කේ ඒ ඩී.එස්.ගේ සැලසුමයි. මේක තේරුම් ගන්න නායකයන් පක්ෂයෙන් බිහිවෙන්න ඕනෑ. මතුවෙන්න ඕනෑ. දෙබිඩ්ඩන්ට එළියට යන්න ඇරලා ඒ ඩී.එස්. පදනම රැක්ක අය ශක්තිමත් කරන්න ඕනෑ.'

මේ ගොවිජනපදයන්හි ජීවත් වන තවමත් පක්ෂයට හද බැඳ ගත්, මහා කැපකිරීම් කළ නොවෙනස් මිනිසුන්ගේ අදහස්ය. ඒ නිසා එවැනි මිනිසුන්ගේ හද පත්ලෙන් නැඟෙන අදහස් එකහෙළා බැහැර කළ නොහැකිය. තවත් අතකින් රටේ ආර්ථිකය සැකසිය යුත්තේ ලෝකයේ ආර්ථික ප්‍රවණතාවන් හා ගළපාගත් මේ රටේ පොළොවේ පය ගසා ජීවත්වන ජනතාවගේද යහපැවැත්ම උදෙසා බවද කිවයුතුය.

ප්‍රේමදාස මහතා මෙය හොඳින් තේරුම් ගත් නායකයකු බව ජනතාව සාක්ෂි දරන්නේ ඒ නිසාය. මේ එවන් ජනතාවගේ හද පත්ලෙන් නැඟෙන අදහස්ය.

'ගම අමතක කරලා රටක් ගොඩනඟන්න බෑ...' ඒ නිසා ප්‍රේමදාස මහත්තයා ගමට ඇඟලුම් කම්හල් ගෙනිච්චේ ගොඩාක් දුර හිතලයි. ගමේ දරුවන්ට ළඟම කම්හලේ වැඩට ගියාම ඒ සල්ලි ඉතුරුවෙනවා. කොළඹට ඇවිත් බෝඩින්වල ලැගලා විවිධ අතෝරයන්ට මුහුණ දීලා නාස්ති වෙලා යනවාට වඩා ගමේ දරුවන්ගේ අතමිට සරු වෙනවා. ඒ කියන්නෙ ගමේ දුප්පත් පැලට සල්ලි එනවා. ගමේ කඩපිළේ බඩුමුට්ටු වැඩිවෙනවා. වෙළෙ¼දාම් ඇතිවෙනවා. ගම පණ ගහලා මතුවෙනවා. දුප්පත්ම එකාටත් ජනසවියෙන් සහනයක් ලැබුණා. එහෙම බැලුවම ගමට මුදල් එනවා කියන්නේ ගමේ ආර්ථිකය ගොඩනැඟෙනවා කියන එකයි. ඒ විස්කම් වැඩේ බොහෝම සරලව හිතලා ක්‍රියාත්මක කළේ ප්‍රේමදාස මහත්තයා. ඒ නිසා එහෙම ජනතාවගේ දෙපාමුලට ගිහින් රට ගැන සැලැසුම් හැදෙන්න ඕනෑ.'

මෙවැනි ගැමියන්ගේ අදහස් තුළ තවත් දෙයක් ඇත. එනම් පිටරටකින් ණය අරන් ඒකෙන් කරන දේ ලංකාවෙ මිනිසුන් අතර පැළ කරන්න පුළුවන්ද කියලා හිතන්න ඕනෑ කියන එකය. විදෙස් ආයෝජන ඕනෑ වන අතර ඒ ආයෝජන අපේ රට තුළ කොතැන පිහිටුවිය යුතුද, කොහොම කළයුතුද කියලා කලින්ම සිතිය යුතුය. මෙයින් කියන්න හදන්නේ පිටරටට අත්‍යවශ්‍ය වන එහෙත් අප රට තුළ නිපදවිය හැකි දේ හොයාගෙන, ඒ සම්පත් සොයාගත හැකි තැන්වලම නිෂ්පාදන ඇරැඹෙන යුගයක් සැලැසුම් විය යුතුය යන්නය.

ගමේ හැදෙන කුරුඳු ටිකේ, ගම්මිරිස් ටිකේ ඉඳලා පරිගණක මෘදුකාංග දක්වා නිපදවෙන කර්මාන්ත ව්‍යුහයන් ගමට යා යුතුයි. එය කරන්නන් වාලේ නොව ප්‍රදේශ වශයෙන් සම්පත් බෙදා ගෙන තෝරා බේරා ගන්නා ආකාරය වශයෙන් සැලැසුම් විය යුතුය.

'ජනසවිය' තුළින් යාන්තම් හෝ හිස ඔසවා ගන්නා පවුල් ඒකකය ගමේ මේ කියන නිෂ්පාදන ක්‍රියාවලියට අනුගත කෙරෙන, බද්ධ කෙරෙන සැබෑ සැලැසුම් ඇතිවිය යුතුය. මේ සඳහා මේ මිනිසුන්ගේ සුවඳ හඳුනන ප්‍රේමදාස තියරියේ හරය වටහා ගැනීම එජාප නායකයන් කළ යුතුය. ඒ සඳහා ප්‍රවේශවීමට නොහැකි වූ විවිධ අතුරු ආන්තරා, දේශපාලන කකුල් මාට්ටු එමට තිබුණේ වුව ඉතිරි ටික කාලය තුළ ඒ සඳහා ගමේ යූඑන්පීකාරයාට දැනෙන යමක් විය යුතුය. එය අවශේෂ ශ්‍රී ලංකාකාරයාටත් සෙසු පක්ෂවල අයටත් දැනෙන එකක් විය යුතුය. විශේෂයෙන් රට කරවන ඇත්තන් දිහා දෑස් දල්වා බලා සිටින වසරක් පාසා අලුත් ඡන්දදායකයන් වශයෙන් එකතු වන තරුණ ප්‍රජාව තුළ පක්ෂය ගැන විශ්වාසයක් දිනා ගන්නා වැඩපිළිවෙළක් තිබිය යුතුය.

සෑම සංවිධායකයකු ළඟම තමන්ගේ බල ප්‍රදේශයේ සිටින විරැකියාවෙන් පෙළෙන අය කොතෙක්ද? නිවාස නැති අය කොතෙක්ද? සෞඛ්‍ය පහසුකම් නැත්තේ කාටද? ඒ කොතැනද කියා විමසා බලන ගමේ කම දන්නා, මිනිසුන්ගේ හැඟීම් තේරුම් ගත හැකි ගමේ සංවිධාන අතරින් සැබෑ ප්‍රායෝගික මිනිසුන් උඩට ගත යුතුය. බොහෝ පක්ෂවල මේ කෙරුවාව කෙරෙන්නේ ඇස් මට්ටමෙන් හා දන්නා කියන අයගේ අතේ රෝල් සංඛ්‍යා ලේඛන අනුවය. ඒ නිසා මිනිසුන් හඳුනන, ප්‍රශ්න හඳුනන විසඳුම් සඳහා සිතන්නට පුළුවන් අය හඳුනාගත යුතුය. එය පක්ෂ යාන්ත්‍රණයට සාමාජික පත්‍රයක් මිලදී ගෙන මිනිසුන්ගේ හිස්වලින් සංඛ්‍යා හදන ඔළමොට්ටල යල් පැන ගිය ක්‍රමයෙන් බැහැර ගිය එකක් විය යුතුය. ගමේ ගැටලු හඳුනන අවංක මිනිසුන් ඕනෑ තරම් ගම්වල සිටිය හැකිය. අවශ්‍ය වන්නේ ඒ සඳහා දැක්මක් ඇති අය පෙළගස්වා ගැනීමේ යාන්ත්‍රණයකි.

ඉන් එහාට ජේ.ආර්.ගේ උපායශීලී ක්‍රියාදාමයේ යථාරූප ප්‍රවේශයන් ගැන රනිල්ට අමුතුවෙන් පාඩම් කියා දෙන්නට ඕනෑ නැති මුත් ඒ උපායශීලී බවට අවශ්‍යම එන්ජිම සවි කිරීමේදී ඇණ මුරිච්චි හා යොදා ගන්නා ඉන්ධනවල අඩු පාඩුකම් රනිල් යථාවාදීව හඳුනාගත යුතුය. ගෙවී ගිය ඇණමුරිච්චි ගලවා දමා ඒවාට අලුත් ඒවා සවිකොට, දැවි තෙල් ඉවත් කොට අලුත් තෙල් ඇතුළත් කොට එන්ජිම සර්විස් කිරීමේ දුර්වලකම් හඳුනාගත යුතුය. ජේ.ආර්.ගේ තියරියේ ඉතා හොඳින් ක්‍රියාත්මක කළ හැකි එන්ජින් ඔයිල් මෙන්ම ප්‍රධාන උපාංග රාශියක් තිබුණු නිසා 1977 ජනවරමින් රටේ ආර්ථිකයේ දිශානතිය වෙනස් කොට දකුණු ආසියාවේ සෙසු රටවලට වඩා යෝධ පිම්මක් පනින්නට ජේ.ආර්. ට හැකි විය.

ජේ.ආර්. රියැදුරා නම් ඒ රියැදුරා පැදවූ දුම්රියේ එන්ජිම එජාපය නම් ඒ එන්ජිමේ හොඳම ධාවන උපායංග වූයේ ප්‍රේමදාස, ගාමිණී, ලලිත් වැනි වැඩකරුවෝය. ප්‍රේමදාස උදාගම් සංකල්පයක් ගෙන එද්දී ඒවා ගමට පමණක් සීමා නොවුණු ක්‍රියාත්මක වැඩපිළිවෙළක් වූයේය. ගාමිණී මහවැලිය පමණක් නොව මහවැලි දියවර සමඟ මහවැලි ජනපද හරහා කරපු මෙහෙවරට දැක්මක් තිබුණේය. ලලිත් විවෘත කරපු ආර්ථිකයේ කොඳුනාරටිය ශක්තිමත් කරමින් වරායත්, වෙළෙඳක්‍රමයත් පණ ගන්වන සංකල්පය ගෙන ආවේය. උසස් අධ්‍යාපනය කොතරම් අත්‍යවශ්‍ය දැයි තේරුම් ගත් ලලිත්ලාට ගැමි දරුවන්ට මහපොළ ශිෂ්‍යාධාර දී ඔවුන්ට අතදී උඩට ගන්නට හැකි දැක්මක් තිබුණේය. මේ එක්වීමේ ප්‍රබලම ශක්ති බලවේගයන් වූයේ වැඩිබර ඇද්ද ජේ.ආර්.ගේ දෙවැනි පෙළ නායකයෝය.

එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේදී මේ මහා පොදු සාධකය මැනවින් තේරුම් ගත්තේ නම් ඊළඟ පිම්ම පනින්නට අපහසු නැත. ඒ නිසාම නායකයන් වශයෙන් දෙවැනි පෙළ රැස්වී සිටින සියලු දෙනාම මේ මොහොතේ දැක්මක් සහිතව මේ ටික කාලය තුළ වැඩ පෙන්විය යුතුය. ඒ පෙන්වන වැඩ රටට දැනෙන්නට ඕනෑය. ගමේ කඩපිලේ අහිංසක මිනිසුන් ඒවා ගැන ප්‍රසාදයෙන් කතා කරන තැනට වැඩ කළ යුත්තේය.
අවසන් වශයෙන් රට පුරා විසිරී සිටින එජාප පාක්ෂිකයෝ බොහෝ දෙනා කියා සිටි පරිදි නායකයන් වී මතුවෙන්නට කිසිවෙක් උත්සාහ කරන්නේ නම් ...

'ඩී. එස්. වාගේ ජාතීන් එකට එකතු කර, මිශ්‍ර කර, රට බෙදෙන්න දෙන්නෙ නැතිව තියාගන්න පුළුවන්, ඉදිරිය ගැන සිතන දැක්මක් ඇත්තෙක් වෙන්න ඕනෑ. ප්‍රේමදාස වගේ බොරුවට නොවේ ඇත්තටම පොදු ජනතා දුක හඳුනන කෙනකු විදියට ඒ ගැටලුවලට විසඳුම් සොයන්නකු වෙන්න ඕනෑ. ජේ.ආර්. වගේ රටත් පක්ෂයත් ජනතාවත් උපද්‍රවවලින් බේරාගන්න උපායශීලී බුද්ධිමත් නායකයකු වෙන්න ඕනෑ. ඒ නිසා ඩී.එස්. - ජේ.ආර්. - ප්‍රේමදාස කියන මහා පොදු සාධකය මන්ත්‍රයක් වගේ ජප කර බලගන්වන්න ඕනෑ' ය කියා තේරුම් ගන්නට ඕනෑය.

සජිත් රෝහිත ලියනගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon