සේනා

  👤  2620 readers have read this article !
2019-01-17

'ඩෙංගු' මදුරුවා මෙන් 'සේනා' දළඹුවා අද ජාතික ප්‍රශ්නයක් වී තිබේ. 'සේනා' ගැන අපූරු කතාවක් කියා තිබුණේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නාමල් කරුණාරත්නය. ඔහුට අනුව මැති ඇමැතිවරුන් මේ රටට කරන හානිය හා සමාන හානියක් මේ දළඹුවා අපේ වගාබිම්වලට කරමින් සිටී.

දළඹුවා කරන හානියේ බරපතළකම ඉන් අවබෝධ කරගත හැකිය. මන්ද මේ රටට මැති ඇමැතිවරුන් කරන හානිය සුළු පටු නැති බව සබුද්ධික ජනතාව හොඳින් දන්නා නිසාය.
කාරණය අනෙකකි.

සේනා දළඹුවා මර්දනයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුමක් අරඹා ඇත. ඊයේ ඇරැඹි මේ මෙහෙයුම ලබන 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. ගොවීන්ගේ සහභාගිත්වයද සඳහා ලබාගෙන ඇත.
කෘෂිකර්ම බලධාරීන්ට අනුව මේ පළිබෝධ හානියට ප්‍රධාන හේතුව ගොවීන් කඩින් කඩ වගා කටයුතු කිරීමය. ඒ නිසා එක් කන්නයකදී එකම කාලයක වගා කර අවසන් කිරීමට ගොවීන්ට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බවද ඔවුහූ කියා සිටිති.

'සේනා' ලෙහෙසි පහසු දළඹුවෙක් නොවේ. අධික කුසගිනි සතකු වන 'සේනා'ට දිනකට අක්කර ගණනක වගාවක් වුවත් විනාශ කළ හැකි බව පැවැසේ. කෘෂි පර්යේෂණ බලධාරීන් පවසන්නේ මේ පළිබෝධකයා හඳුනාගත් අවස්ථාවේදීම අත් පත්‍රිකා මඟින් ගොවීන් දැනුවත් කළ බවයි. ඒකාබද්ධ පළිබෝධ නාශක තුනක්ද ඔවුන් හඳුන්වාදී ඇත. එහෙත් ඉන් පමණක් 'සේනා' මර්දනය කළ නොහැකිය. ජෛව විද්‍යාත්මක ක්‍රම හරහා මේ දළඹුවා විනාශ කිරීමට විලෝපිතයෙක්, පරපෝෂිතයෙක් හෝ වෙනත් සතකු හඳුන්වා දීමට පරීක්ෂණ පවත්වන බව දැනගන්නට ඇත.

ඇත්ත වශයෙන්ම මුල් අවස්ථාවේ කෘෂි පර්යේෂණ බලධාරීන්ට මේ දළඹුවා ගැන නිසි අවබෝධයක් තිබී නැත. ප්‍රශ්නය වූයේ 'මෙහෙයුම' පමා වීමය. නොඑසේ නම් මෙතරම් විනාශයක් වීමට පෙර 'සේනා' මර්දනය කළ හැකිව තිබිණි. 'පමාව' අපේ ජාතික සිරිතකි. එය ඉහළ සිට පහළ දක්වා පැතිර ඇති පුරුද්දකි. නොපමාව තීරණ ගන්නේ නම් බොහෝ විනාශයන් බොහෝ ප්‍රශ්න අවම කරගත හැකිය. එහෙත් නැත්තේද ඒ පුරුද්දය.

වාසනාවට උතුරේ ගොයමට 'සේනා' පැමිණ නැත. මේ දළඹුවා 'සේනා' නමින් නම් කිරීමට පෙර වවුනියාවේදී හඳුනාගෙන තිබිණි. එහිදී දළඹුවන් විනාශ කිරීමට නිලධාරීන් හා ගොවීන් එක්ව කටයුතු කර තිබිණි. උතුරේ බඩඉරිඟු වගාවේ පමණක් 'සේනා' සිටීම නිසා මර්දනය පහසු වූ බව ඔවුහු පවසති. ගොවීන් පවසන්නේ රසායනිකවලට වඩා පරිසර හිතකාමී ක්‍රම පාවිච්චි කර දළඹුවා විනාශ කළ යුතු බවය. වවුනියාවේ එවැනි ආදර්ශයක් ඇත.

කෙසේ හෝ පරිසරයද ආරක්ෂා කර ගනිමින් වගාවට වස විස එකතු නොකර 'සේනා' මර්දනය කළ යුතු බව පැහැදිලිය. අරඹා ඇති මෙහෙයුම සාර්ථක වන්නේ නිලධාරීන් ගොවීන් සාමූහිකව පොදු එකඟතාවකින් හා පොදු වැඩපිළිවෙළකින් යුතුව 'සේනා'ට මුහුණ දීමෙනි. නොඑසේ නම් දළඹුවන්ගේ අභියෝගය තබා අන් කිසිදු අභියෝගයක් ජය ගත නොහැකිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon