ඇප කැප වීම

  👤  3291 readers have read this article !
2019-01-18

ආණ්ඩුව කරවන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව එම පෙරමුණට දැන් උදා වී තිබෙන්නේ පළමුව පක්ෂය හෝ පෙරමුණ රැකගෙන හීන්සීරුවේ සීරුමාරුවට තීන්දු තීරණ ගනිමින් දැළිපිහියෙන් කිරි-පැණි කන්නටය. මේ කිරිපැණි කෑම කෙතරම් අසීරුද යතොත් අතට ගත්ත කිරි-පැණි ටික කටේ දමා ගන්නට බැරි තරමට වැහි කෝඩය - සුළි සුළංය. හතර අත විහිදෙන චණ්ඩ මාරුතයන්ය. ඒ නිසාම ඇඟේ හලා ගන්නේ නැතිව හා කොළේ ඉරා ගන්නේ නැතිව දරුණු අභියෝගයකට මුහුණ දිය යුත්තේය.

"රනිල් ව්‍යවස්ථාවක් ගෙනැල්ලා, වෙනම පොලිසිය, වෙනම ඉඩම් බලතල සුමන්තිරන්ලාට දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්නයි යන්නේ. යූඑන්පීයට ආණ්ඩු කරගෙන යන්න උදවු කරනවා කිව්වේ ඕවට තමයි. බලාගන්න පුළුවනි ඉස්සරට රට දෙකඩ වෙන හැටි."

මහින්ද ඇතුළු ඔහුගේ නඩයේ හැම දෙනාම රට පුරා හතර අත දුව ඇවිදිමින් එහෙව් කතාවක් ජනගත කරන්නට වැඩ පටන් අරන්ය. මේ ජනගත කිරීම රනිල්ව තව තවත් සිංහල බෞද්ධ ජනතාව අතර අප්‍රසාදයට පත් කරන්න තියෙන හොඳම උප්පරවැට්ටිය ය.

"මේ විදියට රනිල්ටයි ගෝලයො රොත්තටයි ගහද්දි සිංහල බෞද්ධ ඡන්ද අඩු වෙනවා විතරක් නොවෙයි ඒක ජනාධිපතිවරණයකදි රනිල්ගේ පිලට දරුණු විදියට බලපානවා."

ඒ ගැහිල්ල අනුමත කරන උදවිය රහ කර කර කියන්නේ එවැනි කතාවක්ය. මේ ගැහිල්ල තවදුරටත් කෙරෙන්නේ ඊළඟට එන්නේ පළාත් සභා ඡන්දයද ජනාධිපතිවරණයදැයි හරියටම කිව නොහැකි වාතාවරණයකදීය.
මේ විරෝධතාව දැක්වීම එක්සත් ජාතික පක්ෂය මෙන්ම රනිල් ඇතුළු ආණ්ඩු කරන පෙරමුණේ උදවියද සැහැල්ලුවෙන් අරගෙන නෑසූ කන් ඇතිව සිටීම වරදක්ය.

"රට බෙදන කතා බොරු. ඊළම හදන කතා බොරු. අපි තවමත් ව්‍යවස්ථාවක් ගෙනත් නෑ. අඩු තරමේ කෙටුම්පතක්වත් ගෙනැවිත් නෑ. පාර්ලිමේන්තුවට ගෙනාවේ මෙතෙක් කවුරු කවුරුත් එකතු වෙලා සටහන් කර ගත්ත අදහස් ගොන්නක් විතරයි. ඒ අදහස් කතාබහට ලක් කරන්න විතරයි පාර්ලිමේන්තුවට ගෙනාවේ" ය කියා කියනවා ඇහුණේ රනිල් පමණක්ය. ඔහුගේ සගයෝ ඒ ගැන කතා නොකර ඊට නිසි උත්තර ජනගත නොකර උත්තර බැඳීම මඟහැර යෑම ද වරදකි.

ඔවුන් සියලු දෙනාගේම ඉරණම තීරණය කරන මැතිවරණයක් අබිමුව තියෙද්දි පක්ෂයක් හැටියට හෝ පෙරමුණක් හැටියට තවමත් සංවිධානාත්මකව මහින්ද ඇතුළු බලවේගවල වාග් ප්‍රහාරයන්ට ප්‍රති ප්‍රහාර නොදක්වා සිටීම බරපතළ තත්ත්වයක්ය.

"ජනාධිපතිවරණයක් තමයි අපට පහසු ඡන්දය වන්නේ. එතැනදී දෙමළ, මුස්ලිම් වැඩි දෙනා එජාප පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට තමයි ඡන්දය දෙන්නේ. ඒ නිසා සිංහල ජනතාව අතර එජාපය කලකිරවලා එජාපයට ඡන්දය දාන්න ඉන්න බහුතරයෙන් පළුවක් ගලවා ගන්න තමයි මේ හදන්නේ. නමුත් ඒක හරියන්නේ නෑ. එජාපයට වින කරන්නට ගහන තුරුම්පුව කැරකෙන්නේ එයාලටමයි. මේ නිසා තව තවත් දෙමළ, මුස්ලිම් ජනතාව ඔවුන් කෙරෙහි කලකිරිලා එජාපය වටා එකතු වෙනවා. අපේ රැකවරණය තියෙන්නේ එජාප අපේක්ෂකයා දිනවීම තුළය කියලා හිතනවා."

මේ එජාපයේ බොහෝ දෙනා පහසුවෙන් සිතා කියන ඇඟ බේරා ගන්න කතාවක්ය. එහෙත් දෙමළ මුස්ලිම් ජන පදනම පෙළගස්වන වැඩේ රනිල් හීන් නූලෙන් කරගෙන ගියා වුවද සිංහල ඡන්ද, පදනම එජාපය වටා පෙළගස්වන්න, එම ජන පදනමට අමතන්න වැඩපිළිවෙළක් තවමත් පෙනෙන මානයේ නැත. උතුරු නැඟෙනහිරට ස්වයං පාලනයක් දෙනවා යැයි කියූ පමණින් සතුරු පාර්ශ්වයේ මතය" "බොරු වෙන්න ඇති එහෙම දේවිද?" කියලා ටිකකටවත් හිතන යූඑන්පීකාරයන් වුව සැලෙන්නට පුළුවන. එනිසාම යූඑන්පීයට හද බැඳ ගත් ජනතාව ස්ථාවරව පෙළ ගස්වනවා වගේම ඉන් පරිබාහිර කලකිරීමට පත්, පාවෙන ඡන්ද පදනමට කතා කරන්නට සැලසුමක් නැති බව පෙනෙන්ට ඇත.

එක්සත් ජාතික පෙරමුණක් හැටියට එකතු වී එක පෙරමුණක් හැටියට බලගැන් වී ඉදිරි මැතිවරණවලට මුහුණ දීමේදී ඡන්ද දායකයන් ගොඩට එකතු වන සහ දැනටමත් එකතු වී සිටින තරුණ ඡන්ද දායකයන් අමතන්නටද, ඔවුන්ගේ සිත් දිනාගන්නටද ඉලක්ක තිබිය යුතුය. ඔවුන් දිනාගත හැකි සාර්ථක වැඩසටහන්, ව්‍යාපෘති තිබිය යුතුය. එසේ නම් සිංහල බෞද්ධ ජනතාව තව තවත් ළං කර ගන්නට සිංහල බෞද්ධයා තුළ යම් විශ්වාසයක් දනවන ආකාරයට නියෝජනය වන පිරිස් මේ වගකීම භාරගන්නට සූදානම් දැයිද තවමත් පැහැදිලි නැත.

මෙවන් තැනකදී එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් පෙරමුණක් නැතිව ඉදිරිපත් වූ කාලයේ ප්‍රේමදාස මහතාගේ යාන්ත්‍රණය වූයේ ගමින් ගමට ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගොස් එම ජනතාවගේ ජීවිතය ගෙවෙන, ඔවුන්ට වඩාත්ම දැවෙන ප්‍රශ්නය ඇති දේටම විසඳුමක් ලබාදෙන අදහස් ජනගත කිරීමය. සිංහල හෝ වේවා බෞද්ධ හෝ වේවා ජීවිතය ගොඩනඟා ගන්නට අත්‍යවශ්‍යම දේට විසඳුමක් ලැබේ නම් ඒ පැහැදීම ගොනුවන්නේ ඡන්දයේදී කැමැත්ත ප්‍රකාශ කිරීමක් වශයෙන් බව ප්‍රේමදාස මහතා හොඳින් දැන උන්නේය.

එදා ප්‍රේමදාස මහතාට ගමට යන්නට ඔහු අත ව්‍යාපෘති කිහිපයක්ම තිබුණේය. ජනසවිය ව්‍යාපෘතියත්, දුප්පත් ජනතාවට අත හිත දෙන ව්‍යාපෘතියත්, ගමේ හැදෙන කම්හලෙන් ගමේ දුවා දරුවනට රැකියා ලැබෙන ව්‍යාපෘතියත්, අන්ත අසරණ මිනිසුන්ට නිවහනක් ලබාදීමේ ගම්උදා ව්‍යාපෘතියත් එක්වීම අයත් වූවේය. එහෙත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණයෙන් දිනූ පසු තවත් ජනාධිපතිවරණ සටනකට මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වන්නට ඉඩක් නොලැබුණේය. ඔහු කළේ ඔහු ජීවත්ව සිටීද නැද්ද යන්න නොසිතා වැඩ කිරීමය. එක දිගට නොනවත්වා වැඩ කිරීමය. ඔහුගේ ඊළඟ ඉලක්කය වී තිබුණේ රට පුරා හැම ගමකටම ඉක්මනින් සහනය ලබාගත හැකි ආකාරයේ අංගසම්පූර්ණ ග්‍රාමීය රෝහල් 200ක් ඇරැඹීමය. ඒවා ගොඩනැඟිලි පමණක් නොව වෛද්‍යවරුන් හා ඔෟෂධ සියල්ලකින්ද සම්පූර්ණ ඒවා ලෙස අරඹන්නටය.

කතරගමට දුම්රිය මඟ දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය ඇරඹුවේ ප්‍රේමදාස මහතාය. ඔහු හදිසියේ වියෝ වෙද්දී එම ව්‍යාපෘතියේ සැතපුමක් ඉදිරියට දීර්ඝ කොට තිබුණේය. ජීවත්ව සිටියේ නම් ඊළඟ ගම් උදාව වෙද්දි එම දුම්රිය කතරගමට ගොස් තිබෙන්නට පුළුවන. ඒ සියල්ල කණපිට හැරුණේ ප්‍රේමදාස මහතාත් එම ක්‍රමයත් ඔහුගේ අභාවයෙන් නතර වී ගිය නිසාවෙනි.

මේ වෙද්දී එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් ආණ්ඩුව කරගෙන යන මේ වෙලාවේ ප්‍රේමදාස මහතාගේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ එක් තැනකින් ක්‍රියාත්මක නොවන විහිදී විසිරී ගිය තැනකය. එම බලතල හා ක්‍රියාත්මක කරන බල අධිකාරියක් එජාප ජනාධිපතිවරයකු සතුව නැත. ජනාධිපතිවරයා එක්සත් ජාතික පාක්ෂිකයකු නොවන්නෙකි.

ඒ නිසා ඉතිරි වන්නේ අගමැතිවරයාය. අගමැතිවරයා මේ කාර්ය ප්‍රේමදාස ක්‍රමයටම කරන්නටැයි නොකීවද ඒ ක්‍රමයට ඇතුළත් වූ ව්‍යාපෘති භාර මැති ඇමැතිවරු පක්ෂයෙන් පිටය. සජිත් ගම්උදාව තුළ ගම්මාන හදාගෙන යන්නේ ප්‍රේමදාස මහතා අත තිබුණු හොඳම ව්‍යාපෘතිය සමඟය. ඒ ගම් හැදිල්ල පෙනෙන්නට තිබුණද ඉන් පරිබාහිරව ගමේ කර්මාන්ත ඇරඹෙන වෙනත් ව්‍යාපෘති පෙනෙන්නට නැත. වෙනත් විවිධ ව්‍යාපෘති හරහා ජනතාව දිනා ගන්නට අවස්ථා තවමත් ස්පර්ශ කර නොමැති තරම්ය.

එසේ නම්... ජනාධිපතිවරණයෙන් ජයගන්නට සැලසුම් කරන්නේ නම් මේ ආණ්ඩුව ගමේ මිනිසුන් දිනා ගන්නට සැලසුම් කළ ව්‍යාපෘති සියල්ල නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතුය. එය අගමැතිගේ වගකීමකටත් වඩා අදාළ විෂයයන් භාර දුන් ඇමැතිවරුන් සතු කාර්යයක්ය. ගමේ මන්ත්‍රිවරයාගේ සිට ඉන් ඉහළට හොඳින් විමසා බලා කළ යුත්තකි.

"මේ ව්‍යාපෘති විතරක්ම ගමට මුදා හැරලා ඔක්කොම හරි කියලා හිත හදාගෙන ඉන්නව නම් දෙවියන්ගෙම පිහිට තමයි. ගමට බැහැලා ගමේ ප්‍රශ්න හඳුනාගෙන අනාගත රජයකින් කරන්නේ මොනවාද කියලා සැලසුමක්වත් පෙන්වන්න ඕනෑ. මිනිසුන් අතට මුදල් ගලා ගියා වගේම ඒ හරහා නිපැයුම් වෙන්න ඕන."

එසේ කියන්නේ ගම් මට්ටමේ බිම් මට්ටමේ සංවිධායකයන්ය. ඔවුන් සියලු දෙනා ගෙන් ගෙට ගොස් සියලු ගැටලු හඳුනාගෙන ඒ තොරතුරු ඉහළට දිය යුතුය. සතෙන් සතය එකතු කරන්නාක් මෙන් සියලු ඡන්ද දායකයන් එකතු කරගත යුතුමය.

ගමට ගිය ප්‍රේමදාස ගැමි හදවත දිනාගෙන ඒ මත බලවත්ම රාජ්‍යයක් ගොඩනඟන සිහිනයේ සිටියේය. ඔහුට පෙර සිටි ජේ.ආර්. ජයවර්ධන තනා දුන් ආර්ථිකයත් එහි පදනමත් පුපුරුවා හරින්නේ නැතිව ප්‍රේමදාස ඒ මත සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් ඒ හා බැඳුණු සමාජ සාධාරණත්වයත් හා බැඳුණු දුප්පත්කම තුරන් කෙරෙන ජනසමාජයක් පැතුවේය. එයම වෙනස් විදියකින් ඉංග්‍රීසියෙන් ජේ.ආර්. ද කියුවේය. ඒ නිසාම ජේ.ආර්. කියූ දෙයක් මෙහිදී වත්මන් එජාප නායකයන්ට යළි සිහිකර දිය යුත්තේය.

"ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ ජනතාවගේ සිතුම් පැතුම් හා බැඳී කොයිතරම් දුරට යා හැකිද යන්න තීරණය කළ යුතුයි. ඒකාධිපතියකු නම් මේ ගැන කරදර වන්නේ නෑ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු මේ ගැන සිතිය යුතුයි. මම මාඕ සේතුංගේ ලිපියක් කියවලා තියෙනවා. ඔහු කියලා තියෙනව. "ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් මිනිසුන්ගේ බඩගින්න ගැන සිතිය යුතුයි. මොනවද එයාල කන්නේ? ජීවත් වෙන්නේ කොහොමද? අඳින්නේ කොහොමද කියා අපි සිතිය යුතුයි" කියලා. දෙවනුව තමයි රජයේ ප්‍රතිපත්ති මූලික වෙන්නේ. ඒ නිසා අපේ කාර්ය තුළ අපි අපේ ඡන්ද ගැනද සිතිය යුතුයි. දෙවනුව රජය ජනතාවගේ ජීවිතයේ පැවැත්මට අවශ්‍ය දේ දිය යුතුයි. මම මුහුණ දුන්නේ ඒකටයි" ජේ.ආර්. ජයවර්ධන

එසේ නම් ප්‍රේමදාස ක්‍රමයට හෝ ජේ.ආර්. ක්‍රමයටත් අදාළ වූ ජනතාව ගැන හිතන ක්‍රමය ගමෙන්ම පටන්ගත යුතුය. ජනාධිපතිවරණයෙන් දිනන්නට නම් එක්සත් ජාතික පක්ෂය මේ ගැන සිහි ණුවනින් සිතා දෙපයින් සිටගත යුතුය. සෘජු තීන්දු ගත යුතුය. එය ජනතාවට දනවන්ට කැපවිය යුතුය.

සජිත් රෝහිත ලියනගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon