සුද්දන්ට පන්දම් අල්ලපු හාමුදුරුවරු එදත් හිටියා අදත් ඉන්නවා

  👤  3513 readers have read this article !
2019-02-10

"මොකද හාමුදුරුවො හිර ගෙදර කඩන්නටද?"

"එහෙම වෙන්නත් බැරි නෑ. නමුත් මගේ සිවුරු බලෙන් ගැලෙව්ව හැටියේ මම මෙතන ම උපවාසයක් පටන් ගන්නවා." ඊට පසු ඔවුහු මා සමඟ කිසිත් කතා නොකොට මා හිර ගෙය තුළට යවා ප්‍රධාන සුපිරින්ටැන්ඩන්ට් තැනට දැන්වූහ. මම එහි අගුවකට වී කළ යුතු දෑ ගැන මෙනෙහි කරමින් කල්පනා ලෝකයට ඇතුළු වීමි.

ඇපෑල නිෂ්ප්‍රභ වූ දා සිට මගේ හිර ජීවිතය ගත කිරීමේ වැඩපිළිවෙළ සූදානම් කෙළෙමි. එකල සිංහල මහා සභාවට අයත්ව තිබුණු සිංහල බලය පත්‍රයේ කර්තෘ හේමපාල මුනිදාස මහතා සමඟ මා හිතාගෙන සිටි වැඩපිළිවෙළ හිර ගෙදරට ඒමට පෙර කියා සිටියෙමි. හේමපාල මුනිදාස මහතා මගේ වැඩපිළිවෙළ අනුමත කළා පමණක් නොව, මා එවැනි උපවාසයක් ආරම්භ කළොත් ඔහුට ඒ කෙසේ නමුත් දන්වන ලෙසත් ඊට පසු මහජන සහයෝගය ලබාදීමට පුළුල් වැඩපිළිවෙළක් තමා ගෙන යන බවත් කියා සිටියේය. ඒ වැඩපිළිවෙළ ගැන කල්පනා කර සිටින අතර ගාල්ලේ බන්ධනාගාර සුපිරින්ටැන්ඩන් මහතා පැමිණි බව කියා කාර්යාලයට මා කැඳවාගෙන ගියේය.

ඔහු මා කාමරයට ඇතුළු වෙත්ම "මොකද මේ හාමුදුරුවෝ හිර ගෙදර නිලධාරීන්ට කීකරු වෙන්නේ නැත්තේ?" යැයි එක වරම විමසීය. "මගේ අකීකරුකමක් නැහැ. ඔවුන් මගේ සිවුරු ගලවන්න හදනවා. මම ඒකට විරුද්ධ යි. මම ඊට ඉඩ දෙන්නේ නැහැ. මම හිර ගෙදරට ආවේ මිනී මරා හෝ සල්ලි අච්චු ගසා හෝ නොවෙයි. ඒ නිසා මට සිවුරු පිටින් මෙහි ඉන්නට ඉඩ දිය යුතුයි" මම කීවෙමි.
සුපිරින්ටැන්ඩන්ට්තුමා නිශ්ශබ්දව මගේ නඩුව සම්බන්ධව විස්තර කියවන්නට පටන් ගත්තේය. එය කියවා අවසාන කොට "මට මේ ගැන කරන්ට කියන්ට දෙයක් නැහැ. මම මේ කඩදාසි හෙට උදේ ම ස්වදේශ භාර ඇමැතිතුමාට යවනවා. එහෙන් එන උත්තරය අනුව තමුන්නාන්සේ ක්‍රියා කරන්නට ඕනෑ. අපට හිර ගෙදර නීති වෙනස් කරන්නට බලයක් නැහැ." කියා කොළඹින් උත්තර ලැබෙන තුරු සිවුරු පොරවා ගෙන ඉන්ට ඉඩ දෙන ලෙස නිලධාරීන්ට නියම කර ඔහු යන්නට ගියේය.

එදා රාත්‍රි හිර ගෙදර බෞද්ධ හිරකරුවන්ගේ ආධාරය ඇතිව මම හොඳටම නින්දට ගියෙමි. "මෙහෙම අවුරුදු දෙකම ඉන්නට ලැබෙනවා නම් හිර ගෙදරත් නරක ම නැහැ" යි සිතමින් එදා රාත්‍රි සැප සේ නිදා ගතිමි.
පසුදින මුළු දවසම ගත වුණේ හිරකරුවකු වශයෙන් ලියාපදිංචි කරවීමටය. එදා උදේ පෝලිමට ගොස් පාන් කෑල්ලක් හා තේ වතුර ටිකක් ද ලබා ගතිමි. වැසිකිළියට යෑමට, නෑමට, තේ බීමට, වතුර බීමට හා සෑම දෙයකටම ප්‍රයෝජන ගැනීමට භාර දුන් ටින් එකටම තේ වතුර ද ලබා ගනිමි. ඊට පසු අගුවට වී එය වළ¼දා මට නියම වූ වැඩ කොටස කිරීමට ගියෙමි. මා වැඩ නැති හිරකරුවකු වුවද මට මල් කොටුව අතු ගෑමට නියම විය. මම එය ඉතා සතුටින් ඉටු කිරීමට භාර ගතිමි.

මා මල් කොටුවේ වැඩ කරමින් සිටි අවස්ථාවේ එහි පැමිණි හිර ගෙදර භාර මුලාදෑනි තැන මා හිර ගෙදර ඒමට තරම් අපරාධයක් කිරීම ගැන මට තදින් චෝදනා කොට, තමා බෞද්ධයකු බවත්, එසේ වුවද තමාට මා ගැන කිසිම පහසුවක් කළ නොහැකි බවත් කියා පන්සලට වී සිල් රැකගෙන නො සිට ශාසනටත්, බෞද්ධයන්ටත් නින්දා වන සේ හිර ගෙදරට ඒම ගැන ‍ෙදාස් කීවේය.

"තමුසෙගෙන් මම කිසිම ආධාරයක් නො ඉල්ලුවෙමි. එසේ තිබියදී තමුසෙට මට බණ දෙසන්නට කිසිම වුවමනාවක් නැත. මම ඉංගී්‍රසි ආණ්ඩුවට විරුද්ධව සටන් කෙළේ ඒවායේ විපාක නො දැක නොවෙයි. මට හිර ගෙදර එන්නට වෙන බව මම දැනගෙන සිටියා. යකාට බය මිනිස්සු සොහොනේ ගෙවල් හදන්නේ නැත. මම අධිරාජ්‍ය යකාට බිය නැහැ. ඒ නිසා මම ඔහුට විරුද්ධ ව අතීතයේදී සටන් කළා. මෙයට පසු ආපසු නිදහස් ව ගියාම නැවත මගේ පැවිදිකමත්, ශීලයත්, භාවනාවත් වන්නේ මෙරටින් ඉංගී්‍රසි අධිරාජ්‍යවාදීන් එළවීමට සටන් කිරීම තමයි. එදා උඩරට මංකොල්ලකෑමට ගිය සුද්දන්ට විරුද්ධව අපේ දේශප්‍රේමී හාමුදුරුවරු සටන් කළා. ඒ අපරාධයට උන්වහන්සේලා සුද්දන් විසින් මරා දමාත් තිබෙනවා. ඒවාගේ සුද්දන්ට පන්දම් අල්ලපු හාමුදුරුවරු අදත් ඉන්නවා.

එදත් හිටියා. ඒ අය දෙව්ලොව ගියාවේ. මේ නොබෝදා මහා සීලවන්තයෙක් මහාවංශයක් ලියා එහි සුද්දන්ට විරුද්ධව සටන් කළ සිංහල දේශප්‍රේමී වීරයන් බිය සුල්ලන් වශයෙන් හඳුන්වා දී තිබෙන බව ඉහත සඳහන් කළා. මම එවැනි පහත්, චිත්ත ධෛර්යයක් නැති සඟ පවුලට අයිති නිර්ලජ්ජි බියසුල්ලෙක් නොවෙමි. මම අයිති අර අපේ රටේ නිදහස රැක ගැනීමට සුද්දන්ට විරුද්ධව සටන් කොට ජීවිතය පිදූ සඟ පවුලට" යි කීවෙමි.

ඔහු මා සමඟ හොඳටම තරහෙන් පිපිරෙමින් එතැනින් පිට වී ගියේය. මම එහිදී ඔහු පිටවී යන විට "මහත්තයා මං කියාපු විස්තර තමුසෙගේ සුදු ප්‍රභූන්ට කියන්න. එතකොට තමුසෙට අං තට්ටුවකුත් ලැබෙනවා ඇතැ"යි මඳක් හයියෙන් කීවෙමි.

මෙහිදී අසල සිටි මුලාදෑනියකු මා වෙතට පැමිණි "බන්ධනාගාර නිලධාරීන් තරහ කර ගන්නට එපා" යැයි කීවේ එසේ කිරීමෙන් අනාගතයේ මට නොයකුත් කරදවලට මුහුණ දීමට සිදු වන බව කියමින්ය.
මට බොහෝ විට කරදර වූයේ හිර ගෙදර නීති නිසා නොවේ. හිර ගෙදර සිටි ඊනියා බෞද්ධයන් වශයෙන් හැඳින්වූ සිංහල නම ගා ගත් අධිරාජ්‍ය චරපුරුෂයන් නිසයි.

එදා හිර ගෙදර ප්‍රධාන නිලධාරි තැනගේ කතා ගැන මම බොහෝ දුරට කනගාටු වීමි. ඒ වේලාවේදීම දවල් ආහාර ගැනීමට සීනුව නාද විය. මා ආහාර ලබා ගැනීමට තැටියක් රැගෙන ඉදිරියට යත්ම ජන ශක්තිය පත්‍රයේ කර්තෘ වශයෙන් ක්‍රියා කොට බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයටත් මහ රජ්ජුරුවන්ටත් විරුද්ධව මහජනයා කලකිරවීමේ නපුරු අදහසින් ලිපි පළ කළහ යි කියා අවුරුද්දක හිර දඬුවමක් විඳීමට පැමිණ සිටි බැනට් ද සිල්වා හමු විය.
ඔහු මාතර තරුණයෙකි. ප්‍රසිද්ධ කෙටිකතා ලේඛකයකු වන ටී.ජී. ඩබ්ලිව් ද සිල්වා මහතාගේ බාල සොහොයුරා විය. ඔහු දින කීපයක් ම මා සමඟ ගාල්ලේ හිර ගෙදර සිටියේය. ඔහු සිටියේ වැදගත් හිරකාරයන්ගේ කොටසේ නිසා මුණ ගැසුණේ කෑම පෝලිමේ දී පමණකි. ඔහු සමඟ කතා කිරීමෙන් හිර ගෙදර ගැනත් නිලධාරීන් ගැනත් මට කරුණු රැසක් දැන ගත හැකි විය. හිර ගෙදර ජීවත් වීම පිළිබඳ විස්තර ද ඔහුගෙන් දැන ගතිමි.

එදා මා බන්ධනාගාරයේ ආහාර ගත් පළමු වන දිනයි. ආහාර ගැනත් ඒ අවස්ථාවේ මට ඇති වූ අදහසුත් හිර ගෙදර සම්බන්ධයෙන් මවිසින් සිංහල බලයට ලියන ලද ලිපිවලින් ඔබට බලා ගත හැකිය. ඒ ලියුම හිර ජීවිතය අවසානයේ දී මේ පොතට ඇතුළු කරන්නෙමි.

ගාල්ලේ හිර ගෙදර මට දින දහයක් ගත කරන්නට සිදුවිය. බන්ධනාගාර ජීවිතය පිළිබඳ මේ දහ දවස මට කිසි කලෙක අමතක නො කළ හැකි තරම්ය.

හිර ගෙදර ගිය දෙවැනි දින මට ලැබුණ කාමරය ගල් ගුහාවක් බඳුය. හුළං ටිකක් ලබා ගැනීමට කවුළුවක් නැත. ඇඳ මළකඳක් තැබීමටවත් නුසුදුසුය. කොට්ටයත් සිමෙන්තිවලින් සෑදූවකි. හත් පොළක් ඉරුණු පැදුරක් හිරකාරයෙක් මා අතට දුන්නේය. රාත්‍රි මූත්‍රා කිරීමට භාජනයක් ද කාමරය ඇතුළේ තැබීය. අර අනුස්මරණීය ටින් එක ද කිසි කලෙක අමතක කළ නොහැක්කකි. කලින් දවසේ ලැබුණු සැලකිලි එදා ලැබුණේ නැත.
පළමු වැනි දින රාත්‍රියට තේ වතුර ටිකක්වත් නො ලැබුණු නමුත් පසුදා සිරකරුවන්ගේ වුවමනාවෙන් මට තේ වතුර ටින් එකක් ලැබුණේය.

උසස් නිලධාරි තැන මොනවා කීවත් එහි සිටි සාමාන්‍ය නිලධාරීහු මා කෙරේ අනුකම්පාවක් දැක්වූවා පමණක් නොව මා ගෙන ගිය සටන ගැන ද ප්‍රශංසා කළහ. අවශ්‍ය ඕනෑම ආධාරයක් කිරීමටද රහසිගතව පොරොන්දු වූහ. පසු දින උදේ 7ට පමණ ‍ෙදාරවල් විවෘත කළ වහා ම මට අර හිරගෙදර "පිරිකර" කට්ටලය ම රැගෙන පෝලිමේ යෑමට නියම කළ නමුත් තරුණ හිරකරුවෙක් පැමිණ මා සතු වස්තුව රැගෙන ගියේය. මා එහි සිටි දින කීපය තුළ ම මේ හිරකරුවා පැමිණ මගේ භාජනය හා ඉරුණ පැදුර ද අලුයම බැහැර කරලීමට අමතක කළේ නැත. එහෙත් මම අනික් සිරකරුවන් මෙන් ම මගේ මූත්‍ර භාජනයත්, අනිත් දේපොළත් රැගෙන යෑමට කැමැත්තෙන් සිටියෙමි.

දින දහයක් ගත කොට ගාල්ලේ හිර ගෙදර හැර එන දා කනගාටුවක් ඇති වුණේ එහි දුක් විඳි මට ආධාර කළ හිරකරුවන් ගැනය. එසේම 'කුප්ප පෙරේරා' නමින් හැඳින්වූ ගාඩ් මහතාද මට කිසි කලක අමතක නොවේ.

හෙතෙම මට ඉතා හිතවත්ව කටයුතු කළේය. ඔහුගේ නමට මුලින් 'කුප්ප' යන විශේෂණ පදය යෙදුවේ මන්දැයි මම නොදනිමි. හෙතෙම හිරකරුවන් කාටත් හිතවත් ව හැසිරෙනවා දුටිමි. හිරකරුවෝද ඔහු කෙරෙහි දැඩි ආදරයක් දැක්වූහ. එවැන්නකුට 'කුප්ප' යන විශේෂණය යෙදීම ගැන මම පුදුම වූයෙමි. ඇත්ත වශයෙන්ම හිරගෙදර වැඩි දෙනෙක් නිලධාරි කුප්පයෝමය. හිරකරුවන්ගේ ගරුසැලකිලි ලබන නිලධාරීන් දකින්ට ලැබෙන්නේ කලාතුරකිනි. කුප්ප පෙරේරා ඕනෑ කෙනකුට සුරුට්ටු සිගරැට් පමණක් නොව, අබිං, කංසා පවා සපයන බව ඇසීමි. සමහර විට "කුප්ප" උපාධි දෙනු ලැබුවේ මේ නීති විරෝධී භාණ්ඩ හිරකරුවන්ට සපයන නිසා විය හැකිය. එහෙත් මෙවැනි දුර්ලභ භාණ්ඩ සැපයීම නිසා හිරකරුවන් ඔහුට හිතවත් වූවාට ද සැක නැත.

ගාල්ලේ හිර ගෙදරට වී දින දහයකින් මට බන්ධනාගාරයේ සිවුරු පිටින්ම ගත කළ හැකි බව දන්වා ජේලර්ට රජයෙන් අණක් ලැබුණු බව දැනගතිමි.

ශි්‍රයානි අජන්තා විතාන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon