ජවිපෙ මර්දනයට ඊශ්‍රායල යුද උපදේශකයන් ලංකාවට ගෙන්වයි

  👤  3875 readers have read this article !
2019-02-10

'ඔපරේෂන් පූමාලෙයි' නමින් හැඳින්වුණු යාපනයට ගුවනින් පරිප්පු ඇතුළු ආහාර ද්‍රව්‍ය දැමීමේ මෙහෙයුම දකුණේ ආණ්ඩුවට එරෙහි බලවේගය කුපිත කරවන්නක් වූයේය. අගනුවර මෙන්ම අනෙකුත් තදාසන්න නගරවලත් ඉන්දියානු විරෝධී උද්ඝෝෂණ ඇවිළී ගියේය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඊට නායකත්වය දෙනු ලැබීය. 1987 ජුනි 9 වැනිදා පස්වරුවේ පන් දහසක පමණ පිරිසක් සහභාගි වූ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැති අතර එය සිදු වූයේ කොළඹ 7, රීඩ් මාවතේ විශ්වවිද්‍යාලය ඉදිරිපිට පිහිටි ඉන්දියානු මහ කොමසාරිස්ගේ නිල නිවාසය ඉදිරිපිටය. නිල නිවසට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරක්ෂාව සපයා තිබිණි. පෙළපාළිකරුවන් එහි ළඟාවන විටත් මහ කොමසාරිස් ජේ.එන්. ඩික්සිත් නිල නිවෙසේ රැඳී සිටි නමුත් පෙළපාළිකරුවන්ට දර්ශනය වීම සඳහා ඉදිරියට පැමිණියේ නැත.

මේ අතර ඉන්දීය ගුවන් හමුදා යාපනයට ගුවනින් භාණ්ඩ හෙළීම සිදුවූයේ කවර පසුබිමක් යටතේ දැයි විස්තර කිරීමට ලංකාවේත් ඉන්දියාවේත් ඇමැතිවරු විවිධ රටවලට යවන ලද බව වාර්තා විය. ඉන්දියාවේ විදේශ කටයුතු ඇමැති එන්.ඩී. ටිවාරි රුසියාවේ මොස්කව් නුරවට හා යුරෝපීය රටවලට ගිය බව ද හින්දු පුවත්පත වාර්තා කෙළේය. අගමැති රනිල් වික්‍රමසිංහ චීනයේ බීජිං නුවරට හා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට ගියේය. නමුත් ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කිරීමෙන් වැළකී සිටියේය. ප්‍රශ්නය විසඳුණේ ඉන්දියාවට වාසි සහගත අන්දමින්ය.

ශ්‍රී ලංකා යුද හමුදාව යාපනයේ සිදු කළ මෙහෙයුම් නතර කළේය. ඉතා කෙටි කාලයකින් අනතුරුව යාපනයට උඩින් දැමූ පරිප්පු මුහුදු මඟින් ගෙන එන්නට ලංකාණ්ඩුව ඉන්දීය රජයට අනුමැතිය ලබා දුන්නේය. එසේ ගෙන එන භාණ්ඩ දෙරටේ රතු කුරුස සංවිධානවල අධීක්ෂණය යටතේ ගෙන ඒමටත් එකඟතාව පළ විය. එය එසේ වූයේ අවසර නොලැබෙන්නේ නම් යළිත් ගුවනින් පරිප්පු දමන බවට තර්ජනාංගුලිය එසවීමෙනි. ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් වූ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, රොනීද මැල් ආදීන් ජනාධිපති ජයවර්ධනගේ තීරණය සමඟ සිටියේය.

ආණ්ඩුවට එරෙහිව ජනතාව තුළ මතුවන කෝපයෙන් තමන් ගැලවීම පිණිස අගමැති ප්‍රේමදාස වරින් වර විවිධ ප්‍රකාශ කළේය. සහනාධාර මුවාවෙන් ඉන්දියාව කොටින්ට අවි සපයන බවට ඔහු චෝදනා කළේය.

කෙසේ වෙතත් ආණ්ඩුව ඉන්දියාව හමුවේ දණ නමන ක්‍රියා පිළිවෙතකට අවතීර්ණ වෙමින් සිටින බව ජවිපෙ පැහැදිලි වැටහීමක සිටියේය.

ආණ්ඩුව ගන්නා ක්‍රියා මාර්ග සහ ආණ්ඩුවේ අභ්‍යන්තරයේ සිදුවන ඉතාමත් රහසිගත සාකච්ඡා පිළිබඳවද ජවිපෙ දේශපාලන මණ්ඩලයට තොරතුරු ලැබී තිබිණි. ඉදිරියේ ඇති වන සංකීර්ණ දේශපාලන තත්ත්වයට මුහුණ දීම සඳහා ජවිපෙ ශක්තිමත් කළයුතු බව පක්ෂයේ ඒකමතික තීරණය වූයේය. දේශපාලන පක්ෂයක් ලෙස පවතින තත්ත්වයට මුහුණ දීමටත් පක්ෂය මතවාදීමය, සංවිධානමය හා ද්‍රව්‍යමය වශයෙන් සූදානම් කළ යුතු බවට විජේවීර දේශපාලන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

මේ වන විට රට තුළ එජාප ආණ්ඩුවට එරෙහිව මතු වී තිබූ විරෝධය ජනාධිපති ජයවර්ධනට එරෙහි විරෝධයක් බවට පරිවර්තනය වෙමින් පැවැතියේය. ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය පෙළ ගැසුණේ දහස් ගණනින් වීදි බට ජනයාගේ සටන් බිම් තුළය. ආණ්ඩුව ඊට එරෙහිව දැඩි මර්දනයක් දියත් කරනු ලැබූ අතර එම මර්දනයන් ජවිපෙට වාසිදායක පසු බිමක් නිර්මාණය කළේය. ආණ්ඩු විරෝධී සියලු බලවේග දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය තුළ පෙළ ගස්වන්නට ජවිපෙට හැකිවිය.

රට ගිනි ඇවිළෙමින් තිබූ දේශපාලන වාතාවරණය මැද නමුදු විජේවීර හපුතලේ වල්හපුතැන්නේ නිවෙසේම පදිංචිව සිටියේය. 1987 ජුනි මස අග සතියේ දිනක හිටි අඩියේ පොලිස් නිලධාරීන් පිරිසක් වල්හපුතැන්න නිවෙසට පැමිණියේය. මෙයට පෙර දිනක අසල්වාසි සිරිවර්ධනලාගේ නිවෙස සොරු කැඩූ අවස්ථාවේ පරීක්ෂණය සඳහා පැමිණි හපුතලේ පොලිස් ස්ථානාධිපතිවරයාද එම කණ්ඩායමෙහි සිටියේය. ඔහු විජේවීරගේ බිරිය චිත්‍රාංගනිගෙන් ප්‍රශ්න කළේය. ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් යොමු වූයේ ඒ වන විට නිමලසිරි අත්තනායක නමින් පෙනී සිටි විජේවීර ගැන නොව චිත්‍රාල් චන්ද්‍රසිරි ගැනය. චිත්‍රාල් පක්ෂය වෙනුවෙන් වල්හපුතැන්න නිවෙස මිලට ගත් බැංකු නිලධාරියාය.

'චිත්‍රාල් චන්ද්‍රසිරිගේ ගෙදර මේකද'

'ඔව්'

'කෝ දැන් චිත්‍රාල්'

'එයා වැඩ කරන්නේ මතුගම බැංකුවේ. අපි කුලියට ඉන්නවා' චිත්‍රාංගනී පිළිතුරු දුන්නාය.

'චිත්‍රාල්' කවදාද එන්නේ'

'සති අන්තයේ සෙනසුරාදා එනවා.'

'මේ ගෙදර එයාගෙ කාමරයක් තියෙනවාද'

'ඔව් මේ ඉස්තෝප්පු කාමරේ තමයි චිත්‍රාල් ආවම ඉන්නේ.'

'මෙහාට කොළඹ ඉඳල කවුරුත් එනවද'

කාමරය පරීක්ෂා කරන අතරේ පොලිස් නිලධාරියා ප්‍රශ්න කළේය.

'නැහැ' චිත්‍රාල් චන්ද්‍රසිරි තමයි ඇවිත් යන්නේ.'

ඇය කීවාය.

පොලිසිය ඊට වඩා වැඩි යමක් ප්‍රශ්න කළේ නැත. එහෙත් ඉතා බරපතළ අනතුරක සේයාවක් ඇඳී ගියේය. නිවෙසින් බැහැරව පක්ෂයේ වැඩ සඳහා පිටතට ගොස් සිටි බැවින් විජේවීර පොලිසිය පැමිණෙන විට නිවෙසේ සිටියේ නැත. පොලිසිය වැඩිදුරටත් තොරතුරු සොයා ගැනීමෙන් පසු නැවත පැමිණේවි යැයි ඇයට බිය සිතිනි. එහෙත් කළ හැකි කිසිවක් හෝ සම්බන්ධයක් හෝ විජේවීරට දැනුම් දියහැකි ක්‍රමයක් චිත්‍රාංගනීට තිබුණේ නැත. ඇය ජනේලයක් අසලට ගොස් සිරිවර්ධනලාගේ නිවෙස දෙස විපරම් කළාය.

පොලිසිය පැමිණ යෑම ගැන ඔවුන් පිළිවිසියොත් ඊට දෙන පිළිතුර කුමක් දැයි ඇය කල්පනා කළාය. එහෙත් ඇය එතරම් අභාග්‍යසම්පන්න නැත. පොලිසිය නිවෙසින් පිටව ගොස් වැඩි වේලාවක් යන්නට මත්තෙන් ගමනායකගේ කළු පැහැති මෝටර් රථය නිවෙසට පැමිණියේය. ගමනායක පැමිණ තිබුණේ විජේවීර ඇරලවා ආපසු යෑමටය. චිත්‍රාංගනී වහා මිදුලට දිවගොස් පොලිසිය පැමිණි පුවත විජේවීරට සැලකළාය. විජේවීර එක දිගට ප්‍රශ්න කීපයක් ඇගෙන් අසා තත්ත්වය වටහා ගන්නට මිනිත්තු කිහිපයක් වැය කළේය.

'පමා වෙන්න බැහැ ඉක්මනින් යමු සූදානම් වෙන්න.'

අනතුරුව චිත්‍රාංගනීට කීවේය.

'එහෙම යන්නෙ කොහොමද?

ප්‍රමාද වෙන්න එපා ඔය දෙන්න ඉක්මනට මෙතැනින් ඉවත් වෙන්න අපි ඉන්නම්' ඇය කීවාය. ගමනායක චිත්‍රාංගනීගේ කතාව අනුමත කළේය. මෝටර් රථය ආපසු හරවාගත් අතර ඔවුන් එන විට රැගෙන පැමිණි කෑම පාර්සල් කිහිපය තිබූ බෑගය චිත්‍රාංගනී අතට දී පිටත්ව ගියේය. ඔවුන් පිටව යෑම ඇයට මහා සැනසිල්ලක් විය.

එන දේකට මුහුණ දෙන්නෙමැයි යන අධිෂ්ඨානයෙන් ඔවුහු චිත්‍රාල්ගේ නිවෙසේම සිටියෝය. ඒ වන විට දියණියන්ගේ සහ ඇගේ තනියට සිටියේ පොඩි මාමා නමින් හැඳින්වූ පක්ෂ සාමාජිකයාගේ නැඟණිය පමණි.

විජේවීර සහ පවුලේ අයට ඒ වන විට අලුත් නම් සහිතව හැඳුනුම්පත් හදා තිබූ නිසා අලුත් නම්වලින් නීත්‍යනුකූල පුරවැසියන් සේ පෙනී සිටීමට බාධාවක් නොවීය. ගමනායක පන්නිපිටියේ අමරවංශ නතරව සිටි බර්ගර් කාන්තාවගේ නිවෙසේදී රාජා හමු වී තමාටද හැඳුනුම්පතක් හදන ලෙස දන්වා තම ඡායාරූප රාජා අතට දී තිබිණි.

රාජා එවැනි කටයුතුවලට දක්ෂයෙකි. ඊට අවශ්‍ය උපායශීලී ඥානය රාජාට තිබිණි. ප්‍රදේශයේ අයකු නොවුණද හෝමාගම පිටිපන ග්‍රාමසේවා නිලධාරි සමඟ සුළු හැඳුනුම්කමක් රාජාට තිබිණි. ඔහු ග්‍රාමසේවක හමු වී තම උප්පැන්න සහතිකය හා ලියවිලි දී නව හැඳුනුම්පතක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ග්‍රාමසේවක සතියක් තුළ එය කර දුන්නේය.

රාජා ඔහුට රුපියල් 500ක් දුන්නේ ස්තුතිය පළකරමිනි. එය ඒ කාලේ හැටියට විශාල මුදලකි. රාජාගේ මිතුරකු පාදුක්කේ සිටියේය. ඔහු පක්ෂයේ හිතවතකු වූ අතර නම බර්නාඩ් ඩයස්ය. රාජා බර්නාඩ්ගේ උප්පැන්න සහතිකය සහ ලියකියවිලි ඉල්ලාගෙන අලුත් හැඳුනුම්පතක් හදන්නට ග්‍රාමසේවකට භාර දුන්නේ ගමනායකගේ ඡායාරූප සමඟිනි. සති කීපයකට පසුව බර්නාඩ් ඩයස් නමින් ගමනායකට හැඳුනුම්පත ලැබුණේය. එතැන් පටන් ගමනායක ඩයස් මහත්තයා වූයේය.

'මල්ලී නියමයි. ඔර්ජිනල් අයිඩෙන්ටි එකක් නේද' ගමනායක රාජාගෙන් ඇසුවේය. ගමනායක පදිංචිව සිටියේ පානදුර එළුවිල ප්‍රදේශයේය. ඔහු විවාහ වී සිටියේ පක්ෂයේ සාමාජිකාවක වූ කරුණා සමඟය. ඔවුන් එළුවිල නිවෙසේ කුඩා වෙළඳසලක් පවත්වාගෙන ගියේය. බැහැර නොගිය අවස්ථාවල ඩයස් මුදලාලි බවට පරිවර්තනය වූ ගමනායක කරුණාගේ උදව්වට වෙළෙඳසලේ වැඩ කළේය.

මේ අතර ජවිපෙට දැන ගන්නට ලැබුණේ ජවිපෙ මර්දනය කිරීම සඳහා ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයට සම්බන්ධ යුද උපදේශකයන් පිරිසක් ජනාධිපති ජයවර්ධන විසින් ලංකාවට ගෙන්වා ඇති බවය. 1987 ජුනි මාසයේ රත්මලාන ප්‍රදේශයේ කර්මාන්තපුරයක් විවෘත කිරීමේ උත්සවයකට ජනාධිපතිවරයා සහ කර්මාන්ත ඇමැති රනිල් වික්‍රමසිංහ සහභාගිව සිටියහ. ජනාධිපති මහජන රැස්වීම අමතා කතාව පවත්වමින් සිටියදී ඊට පිටුපසින් තුන්වැනි පේළියේ හමුදා ඇඳුමින් සැරසුණු විදේශිකයන් හය දෙනකු අසුන්ගෙන සිටියෝය. ඔවුන් සාමාන්‍ය හමුදා නිලධාරීන් නොවූ අතර සාමාන්‍යයෙන් දකින තානාපති කර්යාලවල ආරක්ෂක නිලධාරීන්ද නොවූ බව පෙනිණි. පසුව දැන ගන්නට ලැබුණේ ඔවුන් ඊශ්‍රායල යුද උපදේශකයන් බවය. ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දීම සඳහා ඔවුන් පැමිණ සිටියෝය.

ඇමෙරිකාවේ සහාය ඇතිව යටකී හමුදා නිලධාරීන් ලංකාවට කැඳවා තිබිණි. විප්ලවවාදී ව්‍යාපාර මර්දනය කර කීර්තියක් හිමිකරගත් කර්නල් ලෙවි නමැති නිලධාරියකු කණ්ඩායමට නායකත්වය දෙනු ලැබීය. ඔවුන් රහසිගතව නැවතී සිටියේ ලිබර්ටි ප්ලාසා ගොඩනැඟිල්ලේ ඉහළ මහලකය. ඉන්දියාව මේ සියලු තතු දැන සිටි අතර ඊශ්‍රායලය සමඟ ඒවන විට පැවැති විරෝධය හේතුවෙන් ජයවර්ධන රජය තම අනුදැනුමකින් තොරව ඊශ්‍රායල් උපදෙස් පැතීම ගැන කනස්සලට පත්විය.

මේ අතර ශ්‍රී ලංකා දේශපාලන පොරපිටියෙහි තිරය පිටුපස තවත් බොහෝදේ සිදුවෙමින් තිබුණේය. ජවිපෙ සමඟ හවුලක් ඇති කර ගැනීම නැවත බලයට ඒම සඳහා පහසු මඟක් ලෙස ශ්‍රී ලනිපය කල්පනා කර තිබිණි.
එහෙත් ජේ.ආර්. ජයවර්ධන විසින් ශ්‍රී ලනිපය දඬුකඳේ ගසා තිබුණේ නැවත ඉක්මනින් නැඟී සිටීමට නොහැකි වන පරිද්දෙනි. ශ්‍රී ලනිපය කෑලි ගණනාවකට පුපුරා ගොස් තිබිණි. 1982 ජනමත විචරණයේදී එජාපය සමඟ එක්ව කටයුතු කළ අනුර බණ්ඩාරනායක සහ මෛත්‍රිපාල සේනානායක පක්ෂය නන්නත්තාර කළ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක, විජය කුමාරතුංග සමඟ මහජන පක්ෂය පිහිටුවා පක්ෂය තවත් අසරණ කළේය.

එජාපය තුළද දක්නට තිබුණේ කිසියම් මොහොතක දේශපාලන වශයෙන් පුපුරා යා හැකි ලක්ෂණය.

සිරිල් මැතිව් උග්‍ර ජාතිවාදී මතවාදයක් දියත්කළේය. 1985 ආණ්ඩුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහ කොටි සංවිධානය සමඟ තිම්පුනුවරදී සාකච්ඡා ආරම්භ කළ විට කර්මාන්ත ඇමැති සිරිල් මැතිව් කැබිනට් එකෙන් එළියට විසිවිණි. ජනාධිපති ජයවර්ධන ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ එකඟතාව ඇති කර ගනිමින් ගිවිසුමක් දෙසට තල්ලු වන විට ජේ.ආර්.ගේ සහායට හිටියේ ගාමිණී දිසානායක, රොනීද මෙල්, නිශ්ශංක විජේරත්න සහ විදේශ ඇමැති ඒ.සී. හමීඩ් පමණි. ගාමිණී ජයසූරිය, ලලිත් ඇතුළත්මුදලි, රනිල් වික්‍රමසිංහ, රංජිත් අතපත්තු, ඊ.එල්.බී. හුරුල්ල සහ එම්. එච්. මොහමඩ් යන ඇමැතිවරු ජේ.ආර්. ට විරුද්ධ මතයක සිටියහ. අගමැති ප්‍රේමදාස, දීර්ඝ විදේශ සංචාරයකට රටින් පිටවී සිදුවන්නේ කුමක්දැයි වැටට උඩින් විමසිල්ලේ පසුවිය. මේ ප්‍රවණතා සියල්ලම ජවිපෙට වාසි සහගත වට පිටාවක් නිර්මාණය කර ඇති බව ජවිපෙ දේශපාලන මණ්ඩලයේ තීරණය වූයේය.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon