පෙර භවයේ හුරුපුරුදුකම් රැගෙන සංසාරය පුරා සැරිසරන හැටි

  👤  4093 readers have read this article !
2019-02-10

අප අතර ජීවත් වන අපූරු හුරුපුරුදුකම් ඇති අය ගැන ඔබ දන්නවා. සමහරුන්ට සිතාගන්න බැරි තරම් වූ වටහා ගැනීමේ ශක්තියක් තියෙනවා. තවත් සමහරුන්ට හොඳ මතකයක් වගේම බුද්ධියත් තියෙනවා. ඒ වගේම සෙස්සන් තුළ නැති දක්ෂතාවන් හඳුන්වන්නේ සහජයෙන්ම ගෙන ආ හැකියාවන් හැටියටයි. හොඳයි ඒ සහජ හැකියාවන් කෙනකුට ලැබුණේ කොහොමද කියන එක අපි විමසා බලමු. ඇත්තටම ඒක ගැඹුරු කතාවක්.

මේ සහජ හැකියාවන් ගැන ගැඹුරින් විග්‍රහ වෙන්නේ බෞද්ධ ඉගැන්වීම්වලයි. එහි කියැවෙන දේත් අද සමාජයේ සිදුවන ඇතැම් සිද්ධිත් විග්‍රහ කර බලන කෙනකුට මෙහි ඇති සත්‍යතාව වටහාගන්න අමාරු වෙන්නේ නෑ.

විසිවන සියවසේ දෙවැනි භාගය වෙනකොට මේවාගේ අරුම පුදුම හැකියාවන් සහිත අද්භූත ශක්තීන් ඇති මිනිසුන්ගේ තොරතුරු විටින් විට වාර්තා වෙන්න පටන් ගත්තා. ඒ නිසාම මේ ගැන සොයා බැලීම් වැඩිවන්නටත් පටන් ගත්තා. අවසානයේදී මේ කළ පර්යේෂණ සියල්ල නතර වුණේ පුනර්භවය පිළිගන්නා තැනට පත්වෙමිනුයි. ඒ නිසා පුනර්භවය පිළිගන්නා කෙනකුට බුද්ධිමත්ව මේ කාරණය මධ්‍යස්ථව සිතා තේරුම් ගන්න බැරි නැහැ.

එහෙමනම් අපි මෙවැනි සිද්ධි කිහිපයක් විමසා බලමු.

කැලිෆෝනියා වෙරළේ ජීවත්වුණු සාමාන්‍ය මනුෂ්‍යයෙක් තමයි එඩ්ගාර් කේසි නමැත්තා. ඉස්කෝලේ හත්වැනි පන්තියටත් ගිහින් තිබුණේ නැති මේ මනුස්සයා ලෝකය පුරා ප්‍රසිද්ධ කෙනෙක් බවට පත්වුණා. ඔහුට තිබුණේ අදහා ගන්නවත් බැරි අද්භූත ශක්තියක්. ඔහු විසින්ම මෝහනයට පත්වෙලා වෙනත් රෝගී මිනිසුන්ගේ අතීත ආත්මවල කළ කී දේ කියන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවේ, රෝගී වීමට හේතුද ඒ සඳහා ප්‍රතිකාර කරන අන්දමද සඳහන් කළා. ප්‍රතිකාර නියම කළා. මේ සිද්ධිය ඇමෙරිකානු පුවත්පත්වල මහත් කුහුලින් යුතුව වාර්තා කළා.

මෙහි ඇති විශේෂය නම් මේ ආත්ම භවයේ විතරක් නෙවේ පෙර අත්මභවයන්හි කාපු බීපු දේත් හැදී තිබුණු ලොඩ රෝගත් මේ ආත්මේ තත්ත්වයත් කියලා නම නියම කරපු බෙහෙත් අරගත්තු රෝගීන් නිට්ටාවටම සුව වෙච්ච එකයි. 1934දී මේ එඩ්ගාර් කේසිගේ අද්භූත ශක්තිය බොරුය කියලා පෙන්වන්න හිතාගෙන වෙනත් රටක කෙනෙක් බොරු නමකින් විදේශ නියෝජිතයකු අතේ පණිවුඩයක් එවලා කිව්වා පුළුවන් නම් මම කවුද කියලා කියන්න කියලා. ඒක අභියෝගයක්. ඔහු එවූ අස්සන්, බොරු නමත්, ව්‍යාජ එකක් බව කිව් එඩ්ගාර් සැබෑ නම හා ලිපිනය එවනවා නම් තමා කවුද කියලා කියනවාට වඩා තමන්ගේ කායික පැවැත්ම ගැන උපදේශයක් දෙන්න පුළුවන් බවත් උත්තරයක් යවමින් කිව්වා. අභියෝගය එල්ල කළ අයත් ඊට කැමැති වෙලා ක්‍රියා කළා.

ඉන් පස්සේ එඩ්ගාර් කේසි එවලේම තමන්ගේ ධ්‍යානයට සම වැදිලා කියවීමක් ලබා දුන්නා. එම කියමන සත්‍ය බව අභියෝගය එල්ල කළ පුද්ගලයා ප්‍රසිද්ධියේ පිළිගත්තා. තමන් ගැන කියූ රහස්ද පිළිගත්තා.

තවත් සිද්ධියක් අනුව ඕලන්ද ජාතිකයෙක් වූ විලියම් ක්ලේන් 1976 ඉලක්කම් 500ක් ඇති සංඛ්‍යාවක 73 වැනි මූලය කිසිම තැනක නොලියා සිතින් විමසා කියා තිබෙනවා. ඔහු එම ගණන හැදුවේ සිතින්. ඒ සඳහා ගතවුණේ විනාඩි දෙකයි තත්පර 50යි. සාමාන්‍ය කෙනකුට කඩදාසියක ලියලා හදාගන්නත් වෙලාවක් ගතවෙනවා විතරක් නෙවේ ලඝු චක්‍රයක්ද අවශ්‍යයි. ඒ වුණත් මොහු සිතින් එම ගණන හදලා 73 මූලය කිව්වේ කොහොමද කියන එක ප්‍රශ්නයක් වුණා. මේ පුවත ගැන මහත් ප්‍රචාරයක් ලැබුණා. (වාසනා ගුණය කියන්නේ එබඳු පෙර පුරුදුවලටයි.

කායික මානසික වශයෙන් මෙලොවදී එබඳු ගති නොදැනුවත්ව අඩු වැඩි වශයෙන් ක්‍රියාවට නැංවෙනවා. බුදුහාමුදුරුවන් තුළ එබඳු පෙර පුරුදු ගති විද්‍යමාන නොවූ නිසා "වාසනා ගුණ කිසිවකුත් නැති" කියලා කියනවා)

බටහිර රටවල මේ වගේ දේවල් ඒ හැටි පිළිගන්නේ නැති සමාජයක් තිබුණත් දැන් දැන් ඒ අය මෙසේ වීමට වන හේතු සොයාගෙන යනවා. ඔවුන් අකැමැත්තෙන් හෝ එහෙම සොයාගෙන යද්දී පුනර්භවය කියන දේ විශ්වාස කරන්නට වන තැනට එනවා. ඒත් ඊට විරුද්ධ අදහස් ඇති නොපිළිගන්නා අය මෙහි ඇති විද්‍යාත්මක පැත්ත හොයන්න කොතෙක් පරීක්ෂණ කළත් එහි නිශ්චිත ඉලක්කයක් හෝ ප්‍රතිඵලයක් මේ වනතුරුත් ලබාගෙන නැහැ.

විශේෂයෙන් අපේ රටේ සිද්ධීන් විග්‍රහ කර බලනකොට මෙවැනි අනන්තවත් හේතු සාධක අපට හමුවී තිබෙනවා. නමුත් ඒවාද බුද්ධිමත්ව විමසා බැලූ අවස්ථා අඩු තරම්.

කොහොමද මෙහෙම වෙන්නේ? ඒ සඳහා ශක්තිය ලැබුණේ කොහොමද? කියන කාරණය රහසේ හිතේ තෙරපෙනවා. ඇත්තෙන්ම මෙවැනි ශක්තීන් ආවේ කොහොමද? එයයි වැදගත්. පෙර ආත්මවල අප කළ කී දේ වගේම පුරුදු කරගෙන තිබූ මානසික ශක්තීන් හිටිගමන් කොයි ආත්මයකදී හෝ ඉස්මතු වෙන්න පුළුවන් බවයි මින් ඉතා සරලව හා පැහැදිලිව කියන්නේ. අපි බෞද්ධ පත පොතේ එන පාරමිතා කියන්නෙත් මේ වාගේ එක එක ආත්මවල් ටිකෙන් ටික හුරුපුරුදු කරගත් උතුම් පුරුදුයි. කෙනකුගේ අතීත අත්දැකීම් උපාදනස්කන්ධ සන්තතිය එක්ක මුසුවෙලා ඉදිරියට පැවතගෙන එනවා. ඒක ආත්ම භවයන් පුරා ඉදිරියට ඇදී යන ශක්තියක්.

කොම්පියුටරයක ඩිස්කට් එකේ තැන්පත් කෙරෙන තොරතුරු කොයිතරම් ඉක්මනින් වුවත් අප දෙන සංඥා අනුව තිරයක මතු කරගන්න පුළුවන් වගේ, අතීත ආත්ම ගණනාවකට පෙර සිදුවූ හුරු පුරුදුකමක් සැණින් කොයියම්ම ආත්මයකදී හෝ ඉදිරියට ඉස්මතු වෙලා එන්න පුළුවන්. ඒ වගේ වැඩියෙන් හුරු පුරුදු කරගෙන තියෙන දේ කල්ප කෝටි ගණනක් ගියත් ඉක්මනින් ඉස්මතු වී එන්න පුළුවන්. අපි කරුණාව දයාව වැඩියෙන් හුරුපුරුදු කරගෙන තිබුණොත් එවැනි ගතිගුණ වැඩියෙන් ඉස්මතු වෙනවා. අපි කේ‍රා්ධ සිතින් කෝප සිතින් දරුණු දේ වැඩියෙන් කර තිබුණොත් ඒ පුරුදු වැඩියෙන් ඉස්මතු වී එන්න බලනවා.

ඒ වගේම යම් දෙයක් අවබෝධ වීම හා එය බුද්ධිමත්ව තේරුම් ගන්නට හැම දෙනාටමත් බැරි වග ඔබ දන්නවා.

ඉතා බුද්ධිමත් උගත් පියකුගේ එකම පුතා නූගත් මෝඩයෙක් වීම ගැන අප දන්නා සත්‍යය මෙනෙහි කරන්න. දරුණු මිනීමරුවකුගේ පුතෙක් ඉතා සාමකාමී යහපත් උගත් කෙනකු වුණු අවස්ථා සිතා බලන්න. සමහරුන්ට කොයිතරම් ඉගැන්නුවත් අවබෝධ කළත් කවදාවත් වටහාගන්න බැරි බවක් තිබෙනවා ඔබ දැක ඇති. සමහරු ගණිතයට ඉතා දුර්වල බව ඔබ දන්නවා. කොයිතරම් ඉගැන්නුවත් කවදාවත් අවබෝධ කරදෙන්න බැරි අවස්ථාද තියෙනවා. මේ සියල්ලක්ම අප පෙර ආත්ම භවයන් තුළින් ගෙන ආ සහජ ගතිගුණයි.

අපි ටිකක් මේ පැත්තට හැරෙමු. බුදුන් වහන්සේ වෙත ආ හැම කෙනාටම ධර්මය අවබෝධ වූයේ නැහැ. හැම කෙනාම රහත් වුණෙත් නැහැ. බලන්න උන්වහන්සේ මෙවැනි අය බෙදා විග්‍රහ කළ හැටි!
 උග්ඝටිකතඤ්ඤු =

සුළු මාර්ගෝපදේශකත්වයකින් ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නා අයයි.

 විපඤ්චිඤ්ඤු = යමක් සවිස්තරව කියාදීමෙන් පසුව සත්‍යාවබෝධය ලබාගන්නා අයයි.

 නෙය්‍ය = බොහෝ උත්සාහ කිරීමෙන් බොහෝ කල් ගතවීමෙන් සත්‍යාවබෝධය ලබාගන්නා අයයි.

 පදපරම = කොපමණ උත්සාහ කළත් ජීවිත කාලය තුළ සත්‍යාවබෝධය ලබා නොගන්නා අයයි.

මේ කොටස් හතරින් අප අයත් වන්නේ කොයි කොටසටද කියලා ඔබට තේරෙනවා ඇති. මේ වගේ අප තුළ තිබෙන ශක්තිය අප අරන් ආ හුරුපුරුදුකම් මත ගොඩනැඟී මේ ආත්මෙදීත් එකතු කරගන්නාදේත් අරන් දිගටම ඇදී යන තත්ත්වයක්.

එතකොට ඔබ සිතින් විමසාවි සමහරු විරූපීව ඉපදෙන්නේ කොහොමද කියලා? ලස්සන මවුපියන්ගේ එකම දරුවා විරූපියෙක් වෙන්න පුළුවන්. එයට බුදුන් වදාළේ පෙර ආත්මවල නිතර කිපුණු අය එසේ විරූපීව ඉපදෙන බවයි. අපි නිතර කිපෙන තත්ත්වයෙන් බැහැර වී සිත ගත පිරිසුදු කෙරෙන දයා කරුණා ගුණයෙන් ප්‍රභාවත් වේ නම් එම වඩාගන්නා හුරුපුරුදුකම් මතුවටත් ගෙන යන්නේ එය නොනැවතී ආත්මයෙන් ආත්මයට යන නිසයි. කරුණාවෙන් ජීවත් වූ අය මනා රූ සපුවක් ඇතිව ඉපදෙන බව විස්තර කර තියෙනවා. චුල්ලකම්ම විහංග සූත්‍රයෙන්ද විස්තර වන්නේ මේ ගැනයි.

මෙය ශාක සහ සත්ත්ව ලෝකයේ පැවැත්ම අනුවත් තහවුරු වෙනවා. කටු සහිත ගසක බීජයන් පැළකර ගසක් වැඩූ පසු එම ගසද කටු සහිතව වැඩෙන බව අපි දන්නවා. වඳුරකුගේ ජානවලින් උපදින දරුවා මිනිස් දරුවෙක් වෙන්නෙ නෑ. එම සතා වඳුරෙක් හැටියටම උපදිනවා. පියාගේ හැඩහුරුකම් හා ඇතැම් චරිත ලක්ෂණ ඇති දරුවන් ඇති බවත් අපි දන්නවා.

එතකොට මේ සත්‍යය වෙනස් වෙන්නේ නැත්දැයි කෙනෙක් අසන්න පුළුවන්. සැබැවින්ම ජානවල සියලුම ලක්ෂණ එක අවස්ථාවක විකාශනය වේ යැයි කීම මුසාවක්. උස මහත පියකුගේ මිටි පුතෙක් හැදෙන්න පුළුවන්. රෝග පීඩාදිය ඇති පියකුගෙන් නිරෝගී දරුවෙක් උපදින්න පුළුවන්. ඒ අනුව ජානයක තියෙන සෑම ලක්ෂණයක්ම එක ජීවිතයකදී විකාශනය වන්නේ නැති බව පෙනෙනවා. එකවර සියලු ලක්ෂණ පිහිටියේ නැතත් පුතාට නොපිහිටි ලක්ෂණ ඔහුගේ පුතාගේ පුතාට පිහිටන්නත් පුළුවන්. එයින් පැහැදිලි වන්නේ එකවරකදී විකාශනය නොවූ ලක්ෂණයන් එයින්ම නැති වී නොයමින් කොයි මොහොතක හෝ ඉස්මතු වන්නට පුළුවන් බවයි.

මේ කරුණුවලින් වඩ වඩාත් තහවුරු වන්නේ විද්‍යාත්මකවද ඔප්පු කළ හැකි සාධක සහිතව පුනර්භවය පවතින බවයි. එමෙන්ම අප හුරුපුරුදු කරගත් ආත්ම ගණනාවක සහජ හැකියාවන් නිරන්තරයෙන්ම අලුත් වෙමින් එකතු වෙමින් වර්ධනය වෙමින් ශක්තිය හැටියට ආත්මයෙන් ආත්මයට ගමන් කරන බවයි.

එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon