අමතක කරන මතකය

  👤  2736 readers have read this article !
2019-02-08

එක්සත් ජාතික පක්ෂය දිනවීමේ සටන උපරිමව කරට ගත්තා යැයි කියැවෙන කතා දැන් දැන් තැනින් තැන ඇසෙන තරම්ය. එම දිනවීම සිදුකරන්නට නම් මෙහි පෙරමුණ ගන්නා නායකයා වූ රනිල්ටත් වඩා ඔහු පසුපස සිටින දෙවැනි පෙළ නායකයන් හා වඩාත් ක්‍රියාශීලී ක්‍රියාධරයන් තමන්ට ඡන්දය දීමට නියමිත ඡන්ද දායකයන් හඳුනාගත්තා දැයි මඳක් සිතා බැලිය යුතුය.

ස්ථිර වශයෙන්ම මොන අඩුපාඩුකම් තිබුණේ වුව එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන සියලු දෙනාට තම පක්ෂය රටටත්, ජනතාවටත්, පාක්ෂිකයන්ටත් කොයි තරම් සේවයක් කළාදැයි අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. ඒ නායකයන් වෙනස් වුණත් වෙනස් නොවන "කැපුවත් අපි කොළ පාටයි" කියන ඔරිජිනල් යූඑන්පීකාරයෝය. ඉන්පසු එක්සත් ජාතික පක්ෂයේ අරටුව බවට පත් වුණු ජාතිවාදී නොවන චින්තනයට ගරු කරන, මධ්‍යස්ථව සිතන ජනතාවක්ද ඇත. ඔවුන් වෙනස් වන , එහෙත් අවසන් මොහොතේ "නෑ ජාතිවාදය කරපින්නාගෙන ඡන්ද ඩැහැගන්නෙ නැති යූඑන්පීය තවමත් හොඳයි. අපිව ශ්‍රී ලාංකිකයන් හැටියට හිතන යූඑන්පීයටම ඡන්ද දෙනවා"ය කියා හිතන පතන පිරිසක්ද සිටිති. මෙයිනුත් යමක් ඉගෙනගත් මධ්‍යම පාන්තිකයන්, නාගරිකව ඒකරාශි වූ ප්‍රදේශවලදී එක්සත් ජාතික පක්ෂයට බරය. කැමැතිය. ඔවුහු වෙනස්වන ලෝකයත් සමඟ වෙනස්වන ආර්ථික සමාජ ක්‍රියාවලියේදී රටේ සක්‍රිය දායකත්වයටද යොමුවූවෝ වෙති. තමන් සිටින තැනින් ඉහළට යන්නට මේ පිරිස කැමැතිය. ඔවුන් යල්පැන ගිය ආර්ථික මොඩලයන් හා ඒ ගැන රහ කරමින් කතාවලට අකැමැතිය.

මේ සියල්ලන්ටම වඩා වෙනස් තරුණ ඡන්ද දායකයන් පිරිසක් සිටින මුත් ඔවුන් මේ ගතකරන තරුණ කාලයට අනුව එක්සත් ජාතික පක්ෂයේ අතීතය කෙබඳු වී දැයි නොදන්නේය. තමන් පාරම්පරිකව එජාප පවුලකින් පැවැත එන්නේ වුව ඔවුහු තමන් ඡන්දය ප්‍රකාශ කරන්නට නියමිත පක්ෂයේ යහපත් දර්ශනය තිබුණු බව නොදනිති.

60 දශකයේ උගත් සහ 70 දශකයේ උගත් අය හැරුණු විට 1977න් පසුව ඉපදුණු අයද යම්තාක් දුරට පක්ෂය රටට කළ යහපත ගැන වැටහීමක් ඇතිව සිටිති. එහෙත් 80, 90 දශකයන්හි උපත ලද ඡන්ද දායකයන් පක්ෂය පිළිබඳ නොදැනුවත්කම නිසා ඡන්දය නොදා සිටින තත්ත්වයටද පත්ව සිටින්නේ ඒ නොදැනුවත්කම හා බැඳුණු කලකිරීමද නිසාවෙනි. විශේෂයෙන් 90 උපන් අයකුට දැනෙන්නට තිබෙන වපසරිය ඉතා අඩුය.

එබැවින් එක්සත් ජාතික පක්ෂයට ජීවය දෙන්නට ප්‍රචාරාත්මක වැඩසටහනක් සම්පාදනය කරන්නෝ වෙත් නම් ඔවුන් නියමානුකූලව හඳුනාගත යුතු ඉසව් ඇත්තේය. අසවල් කාලයේ අසවල් නායකයා නිසා රටට සිදුවුණු යහපත මෙසේය. ඒ නිසා රට මේ ආකාරයෙන් ඉදිරියට ගියේය, යන්න ඔවුන් දත යුතුය. දන්නේ නැත්නම් රාජ්‍ය ලේඛනාගාරයට ගොස් හෝ නොදන්නා දේ සොයාගත යුතුය. ගමේ පැරැණි එජාප පාක්ෂිකයාට නම් මේ අතීත කතා හොඳ හැටි මතක තිබුණත් ඩී.එස්. සේනානායක උන්නැහේගේ කාලයේ එතුමා සමඟ ඡන්ද සටනට, ගොවි ජනපද සටනට ගිය මිනිසුන් මිය පරලොව ගිහින්ය. ඒ මිනිසුන් ජීවතුන් අතර සිටි කාලයේ කියා තිබුණු කතා අසා උන් දෙවැනි හා තෙවැනි පරම්පරාද ඒ මතකය ඊළඟ පරම්පරාවට දෙන්නට ඉඩකඩ තිබුණද මේ ඊයේ පෙරේදා පරපුරට මේ අතීතය කියා දෙන්නට කවුරුවත්ම නැති ගාණය.

එජාපය දිනවන්නටම ඕනෑ නම් මේ තරුණ පරම්පරාව සිහිනුවණින් අවබෝධ කර ගත යුතුය. වත්මන් සමාජයේ ගරා වැටීමත් සමඟ නන්නත්තාර වූ සමාජ ක්‍රමයක් තුළ මේ පරපුරට බලෙන් කියවා අවබෝධ කරවන්නටද බැරි බව සිහිකටයුතුය. එනිසා සිහිනුවණ තිබිය යුත්තේ මේ පරපුර තේරුම්ගෙන ඔවුන්ට අවංකව ආමන්ත්‍රණය කරන, ඔවුන් දිනාගන්නා දැනුමැති ව්‍යාපාරයක් පක්ෂය තුළ ඇති කළොත් පමණක්මය. මේ සඳහා එජාපයේ තරුණ නායකයන් වෙත්නම් ඔවුන්ද අලුත් පරපුරට මේ ගැන කියා දෙන්නට පෙර තමන්ද පක්ෂයේ අතීතය උගත යුතුය.

එය හොඳින් හැදෑරිය යුතුය. කනගාටුවට කරුණක් වන්නේ මේ කියන ඇතැම් තරුණ නායකයන්ගේ කතා අහද්දී ඩී.එස්., සර් ජෝන්, ඩඩ්ලි ගැන කියන්නට පෙර තමන්ගේ පක්ෂයේ හරය සහ හතර මායිම්වත් පක්ෂයට හද බැඳි ජනතාවත් නිවැරැදිව තේරුම් ගත්තාදැයි සැක සිතෙන තරම්ය. ඊටත් වඩා රනිල්, කරු, ජයවික්‍රම පෙරේරා වැනි අතළොස්සක් දෙනා හැරුණු විට අතීත මතකය කියන්නට තවත් ඇත්තේ අතීතය දන්නා කිහිප දෙනෙකි. එනිසා රනිල්ට කළ යුතුව තිබෙන එකම දේ නම් මේ තරුණ නායකයන්ට එජාපයේ අතීතය කියාදෙන දැනුමැති අයගේ සහාය ලබාගැනීමය. එය හෙට අනිද්දා එළැඹෙන සටනට ඔවුන් දැනුවත් කරනවාටත් වඩා ඔවුන් යම් දිනෙක නායකත්වයට පත්වී නම් රට කරවන්නට යද්දී ඒ මතකය දැන සිටිය යුතු වන නිසාය.

1948 සිට ඩී.එස්. සේනානායකගේ පටන් රනිල් වික්‍රමසිංහ දක්වා එජාප නායකයන් රටට දායාද කළ දේ 'සිරිකොත' පක්ෂ මූලස්ථානයේ සටහන් වී තිබේදැයි සැක සහිතය. සිරිකොතේ පක්ෂ ඉතිහාසයත් එය අධ්‍යයනය කරන ඒකකයක්වත් තිබේදැයි සැක සහිතය. ඒ නිසාම පක්ෂ යාන්ත්‍රණය ගමට ගෙන යන අතරතුර මේ කියන 'එජාප පර්යේෂණ ඒකකයක්' දැනුමැති අයගෙන් පූර්ණ කර යාවත්කාලීන කළ යුතුය.

ඒ අනුව 1948 ඩී.එස්. සේනානායක මහතා නිදහස දිනාගත් සටනේ නායකයාය, පක්ෂයේ පළමු ගෞරවනීය නායකයා යැයි ජනතාව අතරට තව තවත් යනු ඇත. ඩී.එස්.ගේ කාලයේ එංගලන්තයට පවා ණය ආධාර දුන් බව අද කාටත් අමතකය. නිදහස් අධ්‍යාපනය ඇති කිරීම උදෙසා එක්සත් ජාතික පක්ෂයේ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා කළ මෙහෙවර සමහරුන්ට අමතකය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙරට හොඳම විශ්වවිද්‍යාලය ලෙස ඇරැඹුවේද, නිදහස් සෞඛ්‍ය සේවය පණ ගැන්වූයේද එජාපය බව ජනතාවට මතක් කර දිය යුතුය. එපමණක් නොව මධ්‍ය මහා විද්‍යාල ඇරැඹීම සිදුවූයේත් එජාප පාලන කාලයේදීය. මෙරට පළමු ජල විදුලි බලාගාරය වූ ලක්ෂපාන කාසල්රි බලාගාර ඇති වුණේද එම කාලයේය.

රත්මලාන ගුවන් තොටුපොළ ඉදිකිරීමත්, පළමු තට්ටු නිවාස ක්‍රමය බම්බලපිටියේ ඇරැඹීමත්, කොළඹ ක්‍රමය මඟින් ලෝකයට ලංකාව විවර කිරීමත්, බැන්ඩුන් ආසියානු අප්‍රිකානු සමුළුවට ඇතුළු වීමත්, එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඇතුළු වීමත්, මැලේසියාවේ පොලිසිය දියුණු කිරීමට උදවු කිරීමත්, මීපේ, මින්නේරිය, ගල්ඔය, පදවිය, තබ්බෝව, තිස්ස සහ යෝධ වැව වැනි වාරි යෝජනා ක්‍රම රැසක් ප්‍රතිසංස්කරණය කිරීම, ග්‍රාමීය ස්වයං පෝෂිත ආර්ථිකයක් ඇති කිරීම, ගල්ඔය, ඉඟිනියාගල හා උඩවලවේ වැනි මහ පරිමාණ ජල යෝජනා ක්‍රම, සේනානායක සමුද්‍රය බිහිකිරීම, මහියංගණය සහ හසලක වැනි අලුත් නගර ගණනාවක් මෙන්ම මහියංගණය සහ පොළොන්නරුව, සෝමාවතිය, තිරියාය ප්‍රතිසංස්කරණයට ලක්වුණේද ඩී.එස්. සේනානායක යුගයේදීය.

ඉන් පසු 1965 සිට 1970 දක්වා ඩඩ්ලි සේනානායක යුගයේදී පක්ෂයෙන් රටට සිදුවූ දේ අලුත් පරපුරට කියාදිය යුතුය. ඩඩ්ලිගේ කාලයේ සුබසාධනවාදී දෘෂ්ටියකින් කළ දෑ බොහෝය. ඒ අනුව ලොව ප්‍රථම වතාවට දුප්පතුන් සඳහා නොමිලයේ සහල් සහනාධාරයක් ලබාදීමත්, ගොවි ජනපද පිහිටුවීම හා විවිධ කෘෂි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සිදුවූයේද එජාපය යටතේය. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කෙරුණේද ඩඩ්ලිගේ කාලයේය. තරුණ ගොවි බළකායක් ඇරැඹුණේද ආර්ථික වර්ධන වේගය 5%ක් දක්වා වර්ධනය කිරීමත් සිදුවූයේය. තරුණයන් වෙනුවෙන් පළමු වැනි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ගොවි හමුදාවක් නිර්මාණය කෙරුණේය. එකල හරිත විප්ලවයකට ඩඩ්ලිගේ උපරිම කැපවීම සිදුවිය. එපමණක් නොව ලංකාවේ හෙක්ටයාරයකට ලැබෙන වී අස්වැන්න ප්‍රමාණය ලෝකයේ වැඩිම ප්‍රතිශතයක් දක්වා වර්ධනය වූයේය. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරයක් හැටියට වර්ධනයක් ඇරැඹීම හා කලා මණ්ඩලයක් ඇරැඹීමද ඩඩ්ලි යටතේ සිදුවිය.

ඉන්පසු ජේ.ආර්. ජයවර්ධන යටතේ වූ පරිවර්තනය ද සිහිපත් කර දිය යුතුය. එය බොහෝ දෙනාට අමතක බව පෙනෙයි. ජේ.ආර්. කාටත් කලින් ආර්ථිකයේ නිදහස් බව දුටුවේය. දකුණු ආසියාවේ පළමු වතාවට නිදහස් වෙළෙඳ පොළ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවූයේය. ඒ අනුව ලංකාව ලෝකයේ වෙළෙඳ පොළක් ලෙස සක්‍රිය වීම ඇරැඹිණි. ඉන්දියාව වපර ඇසින් බැලුවේ කරකියා ගන්නට දෙයක් නැතිව බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. අපනයන ප්‍රමුඛව කාර්මික ප්‍රතිපත්තියක් ඒ අනුව ක්‍රියාත්මක වුණේය.

එජාපයේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වූ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය මඟින් කෘෂිකාර්මික මෙන්ම කාර්මික ක්ෂේත්‍රයෙහිද විශාල පරිවර්තනය සිදු වූයේය. මහවැලියෙන් ගොවි ජනපද සශ්‍රීක වූවා පමණක් නොව ඒ හා බැඳුණු විදුලි බලාගාර එදා ඉදිනොවූයේ නම් විශාල විදුලි අර්බුදයකට යන්නට ඉඩ තිබුණේය. ඒ අනුව වික්ටෝරියා, රන්ටැඹේ, කොත්මලේ, රන්දෙණිගල විශාල ජල විදුලිබල යෝජනා ක්‍රම ඇති වූයේය. එමෙන්ම කටුනායක සහ බියගම අපනයන සංවර්ධන කලාප බිහි වී රැකී රක්ෂා බහුල විය. ලලිත් යටතේ වරාය දියුණු වී ප්‍රති අපනයන සංකල්පය හා වරාය මෙහෙයුම් රටේ ආර්ථික වර්ධනයත් සමඟ පිබිදුණේය. ඒ අනුව ජාත්‍යන්තර වෙළෙ¼දාම දියුණු වී සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් ඇතිවිය.

මහපොළ ශිෂ්‍යත්වය සරසවි සිසුන්ට ලැබුණේ මෙකලය. නිදහසින් පසු මෙරට උපරිම ආර්ථික වර්ධන වේගය වූ 8.8%ක් වාර්තා වූයේ එම යුගයේ 1978 වසරේදීය. රට පුරා යටිතල පහසුකම් වර්ධනය වූ අතර කඩිනම් මහවැලිය සමඟ විදුලි ව්‍යාපෘති හා විදුලිබල ඉල්ලුම වැඩි විය. ග්‍රාමීය විදුලිබල යෝජනා ඇතිවූයේය. බොහෝ අයට දැන් අමතකව තිබෙන මෙරට පළමු වතාවට විද්‍යුත් තාක්ෂණික ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයක් ඇති විය. පරිගණක භාවිතය රටේ ප්‍රචලිත වූයේත් රූපවාහිනිය ලංකාවට හඳුන්වා දුන්නේත් ජේ.ආර්.ගේ යුගයේය. දුරකථනයක් ලබා ගැනීම සිහිනයක් වී තිබුණු කාලයක දුරකථන පහසුකම් දියුණු විය. වේගවත් විය.
නොමිලේ පාසල් පොත් ලබාදීමත්, නිල ඇඳුම් ලබා දීමත්, නොමිලේ පාසල් ආහාරය ලබා දීමත්, සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහන ඇති කිරීමත්, කෝට්ටේ අගනුවර කිරීමත්, ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබා ගැනීමත්, කෝට්ටේ ජයවර්ධනපුර රෝහල ඇරැඹීමත්, අලුත් විශ්වවිද්‍යාල ඇති කිරීමත් ඇති වූයේ මෙකලය.

ප්‍රේමදාස යුගයේදී ජනතාව වෙතට ගොස් ජනතාවගේ ගැටලු විසඳුණු ක්‍රමය ඇතිවූයේය. ඇඟලුම් කම්හල් 200ක් ඇරැඹීම, ජනසවිය ඇති කිරීම මඟින් දුප්පතුන්ට සහනයක් ලැබීම, පෞද්ගලික ගුවන් විදුලි සේවා ඇරැඹීමට ඉඩ දීම, පෞද්ගලික රූපවාහිනි සේවාවලට අවසර දීම, නිවාස දශ ලක්ෂයක් ඇති කිරීම, ගම්උදාවෙන් ගම්මාන දියුණු වීම, සෙලියුලර් දුරකථන සේවා රටට හඳුන්වා දීම, ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමයක් මඟින් ධීවරයන්ට සහන ලබාදීම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ක්‍රමය ඇතිවීම වැනි දෑ ඇතැමුන්ට අමතකය.

මතකයේ තිබුණු ඒවා එසේ වුව ඊට වඩා බොහෝ දේ පිළිබඳ සාක්ෂි පැරැන්නන් සතුව තිබිය හැකිය. එබැවින් අතීතය අමතක කර දෙපයින් නැඟිට ගන්න යනවා නම් එය මුළාවකි. අතීතය සිහිපත් කරදී එක්සත් ජාතික පක්ෂය රටට කර ඇති සේවය මෙහෙමය. ඒ නිසා මේ පක්ෂයත් එක්ක ඊළඟ පිම්ම පනින්න නවීන සමාජයේ දියුණුවේ හිණිපෙත්තට නඟින්න තරුණ පරපුරට කියාදිය යුතුය. එන ඕනෑම ඡන්දයකදී මේ සැලැස්ම හිතේ දරාගෙන නුවණින් කටයුතු කළොත් ගොඩය. එසේ නොවී අඳබාලයන් මෙන් හැසිරෙන්නට ගියහොත් සිදුකරගන්නේ වරදක්මය.

සජිත් රෝහිත ලියනගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon