ජෝන්ගේ ඇමති පුටුවේ ඉඳන් ඕඩර්ස් දෙන අධීක්ෂණ මන්ත්‍රි කවුද?

  👤  4507 readers have read this article !
2019-02-10

රුචිර දිලාන් මධුසංඛ

ගතවූ සතියේ දේශපාලන භූමිකාව උණුසුම් වූයේ ජාතික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා එජාපය දැඩි උත්සාහයක් ගැනීම නිසාය. ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් පිරිසකගේ සහයෝගයෙන් මෙම නව ජාතික ආණ්ඩුව හැදීම සඳහා අගමැතිවරයා තීරණය කළේය. ඒ සඳහා ඔවුන් තෝරා ගත්තේ පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රිවරයෙක් පමණක් සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි. එහෙත් එහි නායකයා පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත්තේ අලියා ලකුණින් තරග කරය. මේ ගැන විපක්ෂයේ දැඩි විරෝධයක් දැක්වූයේ ජාතික ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ ඇමැති ධුර වැඩි කර ගැනීම පමණක් වූ නිසාය. තත්ත්වය එසේ තිබියදී එජාප පසුපෙළින්ද එවැනි විරෝධයක් මතුවිය. අගමැතිවරයා මෙම ගැටලුව විස¼දා ගැනීමට දන්නා දහංගැට සියල්ලම දැම්මේය.

කෙසේ හෝ බ්‍රහස්පතින්දා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට දැමීමට ආණ්ඩුව කටයුතු කළද පසුව ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ගේ සහ දෙමළ ජාතික සන්ධානයේ අවුල මත එය කල්දැමීමට ආණ්ඩුව කටයුතු කෙළේය. තත්ත්වය එසේ තිබියදී ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් හා ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් අඟහරුවාදා පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී ද විශේෂ අවධානය යොමු වුණේ ජාතික ආණ්ඩුව ගැනය. එම හමුව පැවැත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේදීම කැබිනට් හමුවද පැවැත්වීමට නියමිතව තිබිණි. ඊට සහභාගි වීමට පෙර මෛත්‍රි ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් සමඟ මෛත්‍රි ජාතික ආණ්ඩුවක් සෑදීමට එජාපය දරන උත්සාහය ගැන කතා කළේය.

'දැන් නිමල් ඇමැතිතුමා මේ අය ඔය හදන්න යන ජාතික ආණ්ඩුව හදන්න පුළුවන්ද?' මෛත්‍රි විමසීය.

'සර්... මොන ආණ්ඩු හැදුවත් ඇමැති සංඛ්‍යාව තීරණය කරන්නේ ජනාධිපතිතුමා. ඒක ව්‍යවස්ථාවේ තියෙනවා' නිමල් කීවේය.

'ඒ විතරක් නෙවෙයි විෂයන් තීරණය කරන්නෙත් ඔබතුමා' මහින්ද සමරසිංහද කීවේය.'

'ආ.... ඒකනේ හදාගෙන එයිනෙ ජාතික ආණ්ඩු' මෛත්‍රි කීවේය.

සාකච්ඡාව අතරතුර මෛත්‍රි නිලධාරියකුට කීවේ කැබිනට් හමුව සඳහා ඇමැතිවරුන් කී දෙනෙක් පැමිණ සිටිනවාදැයි සොයා බලන ලෙසය. ඒ වන විට පස්වරු තුන පසු වී මඳ වේලාවක් ගතවී තිබුණු අතර පැමිණ සිටියේ ඇමැතිවරුන් 12 දෙනකු පමණි.

'ආ... එහෙනම් තව පොඩ්ඩකින් යමු' මෛත්‍රි කීවේය.

ශ්‍රී ලනිප මන්ත්‍රි හමුවෙන් පසු ජනාධිපතිවරයා හමුවීමට වාසු සහ එස්.බී. නාවින්න පැමිණියහ. ඔවුන් දෙදෙනාද කැබිනට් හමුවට යෑමට පෙර මෛත්‍රි සමඟ දීර්ඝ කතාබහක නිරත විය.

ඒ අතරවාරයේ අගමැති රනිල් මෛත්‍රි හමුවීමට පැමිණියේය. ඔහු එකවරම ජනාධිපති කාර්යාලයේ ‍ෙදාර ඇරියේය. ඒ වන විට වාසු සහ නාවින්න මෛත්‍රි සමඟ කතාබහ කරමින් සිටියේය.


'ජනාධිපතිතුමා.. මම යනවා. එහෙනම් එන්න පහළට' රනිල් කීවේය.

'හා... හරි හරි යන්න මම එන්නම්' මෛත්‍රි කීවේය.

මඳ වේලාවකින් පසු මෛත්‍රි බිම් මහලේ කමිටු කාමරයක පැවැති කැබිනට් හමුව සඳහා එක්විය. එහිදී ඇමැති විෂයයන් බෙදා හැර තිබීම ගැන දැඩිව කතාබහ කිරීමද විශේෂත්වයකි.

අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැනද ජනාධිපතිවරයා කතා කළේය. ඊට හේතුව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙවර කැබිනට් හමුවේදීද කල් ගැනීම නිසාය.

"ආයෙත් මේක කල් දාන්න බෑ. අගමැතිතුමා සතියක් ඉල්ලුවා. දැන් මේ සැරේ පළාත් සභා ඇමැතිතුමා තවත් සතියක් ඉල්ලනවා. මේක තවත් කල්දාන්න බෑ. අනිවාර්යෙන් ලබන සතිය වෙනකොට මේ පත්‍රිකාවට නිර්දේශ ඕනෙ" මෛත්‍රි තදින් කීවේය. පළාත් සභා ඇමැතිවරයා ලෙස මේ වන විට කටයුතු කරන්නේ විජිර අබේවර්ධනය.

අනතුරුව උතුරු කොළඹ නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සම්බන්ධයෙන් රවී සහ පාඨලී අතරද මත ගැටුමක් ඇති වීය. අගමැතිවරයාගේ මැදිහත්වීම මත එම තත්ත්වය පහව ගියේය.

කැබිනට් හමුව අවසන් කර ජනාධිපතිවරයා නැවත පාර්ලිමේන්තුවේ පිහිටි සිය කාර්යාලයට පැමිණියේය. අනතුරුව නාවින්න යළිත් මෛත්‍රි හමුවීමට ආවේ අශෝක ප්‍රියන්තද සමඟිනි. එහිදී ඔවුන් ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්ඡා කළේය.

බදාදා දිනයේද මෛත්‍රි හදිසියේම පාර්ලිමේන්තු පැමිණියේය. ඒ බව කිසිවකු දැන නොසිටීමද විශේෂත්වයකි. එහි පැමිණි ජනාධිපතිවරයා සභා ගර්භයට පැමිණ අදහස් දැක්වීමද විශේෂත්වයකි.

අනතුරුව ලක්ෂ්මන් සෙනෙවිරත්න මන්ත්‍රිවරයා පැමිණ ජනාධිපතිවරයා හමු වී මඳ වේලාවක් කතාබහ කළේය. එහෙත් මෛත්‍රි සෙනෙවිරත්න මන්ත්‍රිවරයා එතරම් ගණන් නොගැනීමද විශේෂත්වයකි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු එන බව දැන ගත් 'අප්පච්චි මලෝ' මන්ත්‍රිවරයාද සවස්වරුවේ සිට ජනාධිපති කාර්යාලයට එබිකම් කළේය. කිහිප වරක්ම ඔහු පැමිණ එබිකම් කළද ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පැමිණි පසු පැත්ත පළාතකට නොපැමිණීමද විශේෂත්වයකි.

මේ අතර ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා පස්වරුවේද පාර්ලිමේන්තුවට පැමිණියේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට එක්වීම සඳහාය.

මෛත්‍රි - මහින්ද විශේෂ හමුවක්

පසුගිය බදාදා සවස 6.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබිණි. පැජට් පාරේ ජනාධිපති නිල නිවෙසේ පැවැති එම සාකච්ඡාවලට පක්‍ෂ නායකයෝ ලෙස දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, රාජා කොල්ලුරේ, තිස්ස විතාරණ, ඩග්ලස් දේවානන්දා, ඒ.එල්.එම්. අතාවුල්ලා, ජී.එල්. පීරිස්, මුත්තු සිවලිංගම් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර, එස්.බී. දිසානායක, තිලංග සුමතිපාල යන මහත්වරු හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතාද සහභාගි වූහ.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන්නයි අපි මේ සියලු දෙනා කැඳවූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සාකච්ඡාවට මුලපුරමින් පැවැසුවේය.

'ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලනිපය මුල්කර ගත් සන්ධානය ඉක්මනින්ම ගොඩනැඟිය යුතුයි නේද? ඔබතුමන්ලා දෙපොළ සාකච්ඡා කරලා කඩිනමින් එහි කටයුතු අවසන් කිරීමට පියවර ගත යුතුයි. එවිට තමයි අපට කවර මැතිවරණයක් පැමිණියත් සටන් කරලා ජයග්‍රහණය තහවුරු කරගත හැක්කේ' තිලංග සුමතිපාල මහතා පෙන්වා දුන්නේය. එස්.බී. දිසානායක මහතාද එම අදහස අනුමත කරමින් අදහස් දැක්වූවේය.

'නව සන්ධානයට අදාළ ව්‍යවස්ථාව සහ එහි ව්‍යුහය සැකසීම සඳහා පත්කළ අනු කමිටුව දැන් තමන්ගේ වාර්තා බොහෝ දුරට හදලා ඉවරයි. අපි ඒ කමිටුවට ශ්‍රී ලනිප දෙදෙනකුත් දමලා මේ වැඩේ ඉක්මන් කරමු' මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකවරයා යෝජනා කළේය.

එම යෝජනාවට කාගෙත් අනුමැතිය පළවූ අතර ඉහත අනු කමිටුවේ සාමාජිකයන් ලෙස එස්.බී. දිසානායක හා තිලංග සුමතිපාල යන මහත්වරුන් පත් කෙරිණි. එසේම මෙම පක්‍ෂ නායක රැස්වීම තව සති දෙකකින් යළි රැස්කිරීමටත් එම රැස්වීම සඳහා ඉහත අනුකමිටුවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමටත් තීරණය විය.

එම සන්ධානය හැදීමට අදාළ සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ අධිකරණ ක්‍ෂේත්‍රයේ හට ගෙන තිබෙන බරපතළ ආරවුලක් පිළිබඳවය.

'අධිකරණ ක්‍ෂේත්‍රයේ බරපතළ අවුලක් හටගෙන තිබෙනවා. මාව හමුවීමට ඉහළ අධිකරණවල විනිසුරුතුමන්ලා බොහෝ පිරිස් එනවා. ඔවුන් පවසන්නේ තවත් වෙහෙස වෙලා කීර්තිමත් සේවයක් කරලා ජේ‍යෂ්ඨත්වය අනුව ලැබිය යුතු ධුරයට සුදුසුකම් ලබා ගත්තාට එය නොලැබී යාවි කියලායි. සියලු සුදුසුකම් සැපිරුවත් තමන්ට ලැබිය යුතු ධුරය නොලැබී යාවි කියන බිය ඔවුන්ට ඇතිවෙලා තිබෙනවා. අද මේ ව්‍යවස්ථාදායක සභාව එජාපයෙ වුවමනාව ඉටුකරන තැනක් වෙලා' ජනාධිපතිවරයා පවසා සිටියේ දැඩි කලකිරීමෙනි.

'ජනාධිපතිතුමනි, අපි පක්‍ෂ නායක රැස්වීමේදී බොහෝ උත්සාහ කරලා මේ ව්‍යවස්ථා දායක සභාව ගැන පෙබරවාරි 21 වැනිදාට විවාදයක් ලබා ගත්තා. මේ කරුණු සියල්ල අපට විධිමත් අයුරින් පාර්ලිමේන්තුව හරහා ජනතාවට කියන්න පුළුවන්' විමල් වීරවංශ මහතා එහිදී පැවැසුවේය.

'ඔව්! ඒක බොහොම හොඳයි. අපි මේ අධිකරණ ක්‍ෂේත්‍රයේ අවුල රටට කියන්න මේ අවස්ථාව හොඳින් යොදා ගනිමු!' ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසුවේය.

රාජ්‍ය ආයතන බොහොමයක දේශපාලන පළිගැනීම් සිදුවෙනවා. නිවාස අධිකාරිය වැනි ආයතනවල මේ තත්ත්වය ඉතාම බරපතළයි. මේ පිළිබඳ තොරතුරු මට ලැබී තිබෙනවා. ඒවා ඔබතුමාට ලැබෙන්න සලස්වන්නද? රැස්වීමෙන් අනතුරුව මේ වන විට මතුව ඇති බරපතළ ප්‍රශ්නයක් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරමින් විමල් වීරවංශ මහතා විමසා සිටියේය.

'ඉක්මනින් ඒ තොරතුරු මට ලැබෙන්න සලස්වන්න. ගත හැකි සියලුම පියවර මම ගන්නම්' ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිතුරු වශයෙන් පවසා සිටියේය.


අනතුරුව හමුව නිමවූයේ තේ පැන් සංග්‍රයක්ද සමඟිනි.

ජාතික ආණ්ඩු යෝජනාව
යටගිය හැටි

අගමැති රනිල් ඇතුළු ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම ගතවූ සතියේ දැඩි අවධානයක් දැක්වූයේ ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට එකඟව යළිත් ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමටය. ඊට අදාළ යෝජනාව පසුගිය සති අන්තයේදී පාර්ලිමේන්තු මහ ලේකම්වරයා අතට පත් කළේය.

බදාදා පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා පාර්ලිමේන්තු ස්ථාවර නියෝගද අහෝසි කොට ජාතික ආණ්ඩු යෝජනාව බ්‍රහස්පතින්දා සභාගත කොට ඡන්ද විමසීමකින් අනුමත කරගත යුතු බව සභානායක කිරිඇල්ල කීවේ සෙසු පක්‍ෂ නායකයන්ගේ විරෝධතා මධ්‍යයේය. එහෙත් කිරිඇල්ල එහිදී ජයගෙන බ්‍රහස්පතින්දා අදාළ යෝජනාව ගැන විවාද කොට ඡන්ද විමසීමට සියලු කටයුතු සූදානම් කෙරිණි. ආණ්ඩු පක්‍ෂයේ සියලු දෙනාට එදින පාර්ලිමේන්තුව අනිවාර්ය වූයේද එවැනි පසුබිමකය. එහෙත් පසුව පැමිණි විරෝධතා හමුවේ එම යෝජනාව පසුවට කල් දැමීමට ආණ්ඩුව තීරණය කළේය.

අගමැතිවරයා බ්‍රහස්පතින්දා අරලියගහ මැඳුරට පැමිණියේ ඊට අදාළ අවසන් විධිවිධාන ගැන කතාකිරීමටය.

'අපි හදන ආණ්ඩුවට ජාතික ආණ්ඩුව කියලා කියනවට වඩා ශක්තිමත් ආණ්ඩුවක් යැයි හැඳින්වීම වඩාත් හොඳයි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවලා යෝජනාව සම්මත කරනවාට ඇතැම් පක්‍ෂ විරුද්ධ නම් අපි ස්ථාවර නියෝග අත්හිටුවන්නේ නැතිව දින 5ක් කල්දීලා සාමාන්‍ය ක්‍රමයට මේ යෝජනාව සම්මත කරමු' අගමැතිවරයා යෝජනා කළේය.

'මේ යෝජනාව සම්මත වෙන්න 113ක් ඕන නේද? ටී.එන්.ඒ. එකත් මෙතෙන්දි ටිකක් අදින හැඩයි. එයාලගෙ ශක්තිය අඩුවේවි කියලා එයාලට පොඩි බයකුත් ඇති' චමින්ද විජේසිරි කීවේය.

'මේ යෝජනාව සම්මත වෙන්න 113ක් ඕනෑ නෑ. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රි සංඛ්‍යාවෙන් බහුතරය තිබුණාම ඇති. ජනාධිපතිත් කියන්නෙ හැමදේම දීර්ඝ ක්‍රමයට කරන්න කියලනෙ. ඒ නිසා අපි ඒ ක්‍රමයට ළඟදීම මේ යෝජනාව සම්මත කරගනිමු' කිරිඇල්ල පැහැදිලි කළේය.

'ජාතික දින උත්සවයේදී හා බදාදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමා කරපු කතා ගැන මිනිස්සු විවිධ මත දරනවා. පෙබරවාරි 04දා විදේශ රාජ්‍ය නායකයෙක් වගේම තානාපතිවරු හා විදෙස් ජනමාධ්‍ය ළඟ තියාගෙන පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගැහීමයි ජාතික ආණ්ඩුව ගැන රටේ අභ්‍යන්තර ප්‍රශ්න කතාකිරීම පුදුම බවයි හුඟදෙනෙක් කියන්නේ. මහින්ද රාජපක්‍ෂ මහත්තයටත් ගැහුවා. කතාවේදී එයාගෙන් අවසර ගත්තෙත් නෑ. ජනාධිපතිතුමා මහින්ද මහත්තයට ගෝල්ෆේස් එකේදී පාර්ලිමේන්තුවටත් වඩා සැර මිරිස්කුඩු ප්‍රහාරයකුයි දුන්නේ' හේෂා කීවේ කාගේත් සිනා මැදය.

'බදාදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කථානායකට සහ අගමැතිතුමාට ආපහු ‍ෙදාස් කිව්වා. මේකෙ කෙළවරක් නෑ. ජනාධිපති යටතේ තියෙන අමාත්‍යාංශවල වැය ශීර්ෂ සම්මත කරලා ජනපති වැය ශීර්ෂය අනුමත නොකර හිටියොත් මොකද වෙන්නේ කියන මතය ආණ්ඩුවේ මැති ඇමැතිවරු අතර ශීඝ්‍රයෙන් වර්ධනය වීම එච්චර හොඳ දෙයක් නොවෙයි.' එජාප නීති නිලධාරියෙක් බෝම්බයක් පත්තු කළේය.

'නොයෙක් දෙනාට විවිධ අදහස් ඇති. ගැටුම් ඇති කරන්න ඕන කෙනකුට ලේසියි. අපි කරන්න ඕන ගැටුම් සන්සිඳවලා රාජ්‍ය තාන්ත්‍රිකවයි. ඒ නිසා ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය කැපීම ගැන කතා කළ යුතු නෑ. හැබැයි සියල්ල අවුල් නොකිරීමේ ස්ථාවරයකට ජනාධිපතිතුමා ඉක්මනින් පැමිණීමත් අත්‍යවශ්‍යයි. අවුල් හදන්න කාටවත් අයිතියක් නෑ' අගමැති මෙන්ම කිරිඇල්ලද කීවේය.

'රට බංකොලොත් වෙන්නයි යන්නෙ කියලා රවි ඇමැතිතුමා කියපු කතාව ඔක්සිජින් නැතිව හිටපු විපක්‍ෂයට ලොකු චාන්ස් එකක් වෙලා' රංජිත් අලුවිහාරේ කීවේ අගමැති දෙස බලාය.

'රවි ඕක කිව්වේ ඔක්තෝබර් 26 ඉඳලා දින 52 ගැන වෙන්න ඕන. මොකද ඒ කාලේ ඩොලර් බිලියනයකට වඩා අපේ විදේශ සංචිත ඒ හොර ආණ්ඩුව දියකර හැරියා. ඒත් දැන් ඒ අඩුපාඩු නිවැරැදි වෙලා ආර්ථිකය ඉක්මනින් හරි පාරට ආවා' අගමැතිවරයා කීවේය.

'රේගු අධ්‍යක්‍ෂ ජනරාල් මාරුකරන්න ගිහින් නැති ගැටලුවක් ඇතිකර ගත්තා. ගිය ආණ්ඩුව හිටිය නම් ප්‍රශ්නය විසඳෙන්නෙ ඒ වෘත්තීය සමිතිවල අයගෙ ගෙවල්වලට සුදුවෑන් ගිහිල්ලයි. ඒත් කාගෙත් මතයට ඉඩදීලා ප්‍රජාතන්ත්‍රවාදීව රිවස් එකට ගිහින් ප්‍රශ්නය බේරා ගැනීම මේ ආණ්ඩුවේ හොඳ ලක්‍ෂණයක්' නවීන් කීවේය.

'හොඳටම නාල ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රශ්න විසඳනවට වඩා හොඳයිනෙ නානේනෙ නැතිව හිටියනම්' අගමැතිවරයා කීවේ දැඩි සිනහවක්ද සමඟිනි.

ජනාධිපතිතුමා මතට තිත තියන්න කරන උත්සාහය වැදගත්. ඒත් මත්පැන් බෝතල් කෝටි 22ක් මේ රටේ මිනිස්සු ගිය අවුරුද්දෙ බීලා. හැබැයි කුඩු අල්ලන එකනම් ලොකුම දෙයක්' චමින්ද විජේසිරි කීවේය.

රුපියල අව ප්‍රමාණය වීම අතින් අල්ලල නවත්තන්න පුළුවන්දැයි හොර ආණ්ඩුව කාලෙ බන්දුල ගුණවර්ධන ඇහුවා. ඒත් දැන් රුපියල ශීඝ්‍රයෙන් ශක්තිමත්වීම මේ ආණ්ඩුව කළේ අතින් අල්ලලා නෙවෙයි නිසි ආර්ථික උපාය මාර්ග හරහා රටේ ආර්ථිකය ස්ථාවර කිරීම තුළයි' නවීන් දිසානායක කී දේට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළවිය.

'අර කුඩු මුදලාලි හා පාතාලයා ඩුබායිවලදී අල්ලපු එක ලොකු ජයක්. එයාලා ලංකාවට ගේනවාද ඩුබායිවලම නඩු අහනවාද?' හේෂා විතානගේ ඇසුවේ අගමැතිගෙනි.

'ඔය මිනිහ අල්ලන්න අපි 2017 ඉඳලා දැල එළලා මොනිටර් කළා. කවුරුවත් දැනන් හිටියෙ නෑ. වැඩපිළිවෙළ ලීක් වුණෙත් නෑ. අල්ලල කුදලාගෙන ලංකාවට ගේන්නයි ප්ලෑන් කරලා තිබුණේ. නමුත් ඔවුන් ඩුබායිවලදී අත්අඩංගුවට ගත්තු ප්‍රවෘත්තිය කොහෙන් හරි ලීක් වුණ නිසා වැඩේ ටිකක් අවුල් වුණා' අගමැතිවරයා විස්තර කළේය.

'මේ කට්ටිය අල්ලපු ප්‍රවෘත්තිය මුලින්ම ඇවිත් තියෙන්නෙ පොලිස් මූලස්ථානෙට හා ඉහළ රාජ්‍යතාන්ත්‍රික තැනකටයි. පොලිසිය සහතික වෙනවා 'නිවුස් එක' එයාලගෙන් පිටවුණේ නෑ කියලා. එහෙනම් කොහෙන්ද මේක පිටවුණේ. සමහරු තමන්ට ලකුණු දාගන්න මේක ලීක් කළා කියලත් මතයක් යනවා' එජාප නීති නිලධාරියෙක් එළි කළේය.

'සාගලල, රංජිත් මද්දුම බණ්ඩාරලගෙ කාලේ වැදගත් ප්‍රවෘත්ති ලීක් වුණේ නෑ. අනෙක අගමැතිතුමා නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්ට ස්තුති කිරීමත් ඉතා වටිනවා' කිරිඇල්ල කීවේය.

'කුඩු අල්ලන එකත් අද හොඳින් කෙරෙනවා. 2017දීයි අපි ඒකත් පටන් ගත්තේ. ගිය ආණ්ඩු කාලෙ එයාලට විරුද්ධ කුඩු මුදලාලිලගෙ කුඩු විතරයි ඇල්ලුවේ. ඒ ආණ්ඩුවට සම්බන්ධ කුඩු මුදලාලිලට ආරක්‍ෂාව දීලා බිස්නස් එකේ ලාභ බෙදා ගත්තා කියලත් කියනවා' රංජිත් අලුවිහාරේ කීවේ සිනා මැදය.

ඉන්දීය ජනරජ දිනය සැමරීම වෙනුවෙන් සංස්කෘතික ප්‍රසංගයක් පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මඟින් සංවිධානය කර තිබිණි. මේ සඳහා විපක්ෂ නායක හා හිටපු ජනාධිපති මහින්ද මෙන්ම හිටපු ජනපතිනි චන්ද්‍රිකාද පැමිණ සිටියහ. පසුගිය දිනවල පැවැති දේශපාලන වාතාවරණයෙන් පසුව ඔවුන් දෙනො මෙලෙස හමුවූවේ ප්‍රථම වතාවටය. මහින්දව මඟහැරීමට චන්ද්‍රිකා දැඩි වෙහෙසක් ගත් අතර සංවිධායකයන්ගේ වැඩසටහන් පෙළගැස්ම නිසා එය කිරීමට නොහැකි විය. පොල්තෙල් පහන දැල්වීම සඳහා මහින්දට මෙන්ම චන්ද්‍රිකාටද ආරාධනා ලැබිණි. පළමුව මහින්ද පොල්තෙල් පහන දැල්වූ අතර චන්ද්‍රිකා එතැනට පැමිණියේ ඉන් අනතුරුවය. එහිදී මහින්ද සිනාමුසු මුහුණින් "කොහොමද මැඩම්" යැයි කීවේය. මහින්ද එසේ කීවේ චන්ද්‍රිකාගේ මුහුණ බලාගෙන වුවද චන්ද්‍රිකා මහින්ද සමඟ කතා කළේ ඉවත බලාගෙන වීමද විශේෂත්වයකි.

"කන්ග්‍රැජුලේෂන්ස් හා හා මට වැරදුණා ඔයා නෙවෙයිනේ බැන්දෙ. පුතානේ" චන්ද්‍රිකා ඉවත බලාගෙන කීවාය. මහින්දට චන්ද්‍රිකා කී දේට හිනා ගියේය.

මටනම් පට්ට යාළුවො නෑ

මන්ත්‍රි දිලුම් අමුණුගමගේ විවාහයේ දෙවැනි ගමනේ සාදය පසුගිය සෙනසුරාදා පැවැත්වුණේ නුවර අමායා හෝටලයේදීය. මහින්ද සමඟ විපක්ෂයේ මන්ත්‍රිවරු විශාල පිරිසක් ඊට සහභාගිව සිටියහ. පියල් උත්සවයට එන විට මහින්ද, එස්.බී, කෙහෙළිය, මහින්දානන්ද, ලක්ෂ්මන් යාපා ඇතුළු පිරිසක් සිටියේ කතාවකය.

පියල් දුටු මහින්ද කීවේ 'ආ මේ එන්නේ ගායකයා' කියාය.

'ඔව් සර් මෙයා නම් නියම ගායකයා. අදත් අපට සින්දුවක් අහන්න පුළුවන්' ලක්ෂ්මන් යාපා පැවැසීය.

'සර්ලා කිව්වම ඉතින් සින්දුවක් නොකියා කොහොමද?' පියල් පැවැසීය.

මහින්ද ඇතුළු පිරිස මෙහිදී සාකච්ඡා කරමින් සිටියේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි.

'ආණ්ඩුව දැනටමත් වැටිලා ඉන්නේ. අපි ශක්තිමත්ව ඉස්සරහට ගියොත් තව වැඩි කලක් මේ ආණ්ඩුවට දුවන්න වෙන්නේ නැහැ.' එස්.බී. පෙන්වා දුන්නේය.

'ඇත්ත තමයි. බලන්න ආණ්ඩුවට කිසිම දෙයක් හරියට කරගන්න බැහැනේ. මේ ආණ්ඩුවත් එක්ක බලන කොට විපක්ෂය හරිම ශක්තිමත්' පියල් පැවැසීය.

'මේක යන එන මං නැති ආණ්ඩුවක්. දෙමළ සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ එක්ක එකතු වෙලා ආණ්ඩු කරන්න ගියාම ඔහොම තමයි' මහින්ද කීවේය.

'ඒ වෙලාවේ කා එක්ක හරි එකතු වෙලා ආණ්ඩුව හදාගන්නවා කියලා හිතුවට ආණ්ඩුව කරගෙන යන කොට තමයි රනිල්ලට රඟේ තේරෙනවා ඇත්තේ' කෙහෙළිය පැවැසීය. සර්ට දැන් පට්ට යාළුවොත් ඉන්නව නේද? මන්ත්‍රිවරයෙක් විමසීය. මට යළුවොනම් ඉන්නව හැබැයි පට්ට යාළුවො කියල ජාතියක්නම් නෑ මහින්ද කීවේ සිනාසෙමිනි.

මංගල සාදය ඉදිරියට යන අතරතුර මහින්ද මඳක් වේලාසනින් එතැනින් නික්ම ගියේ තවත් කරන්නට කටයුතු රාශියක් තිබූ බැවිනි. මංගල සාදයේ සංගීතය වෙනස් ආකාරයකට සූදානම් කර තිබුණු නිසා බලාපොරොත්තු වූ පරිදි පිරිසට පියල්ගෙන් ගීතයක් ගායනා කරවාගන්නටද නොහැකි වීමද විශේෂත්වයකි.

සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අඟහරුවාදා උදෑසන මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේදීය. සතියට නියමිත පාර්ලිමේන්තු කටයුතු එදින සාකච්ඡාවට ගැනුණු අතර එයින් අනතුරුව විමල් වීරවශ විශේෂ යෝජනා දෙකක් මන්ත්‍රිවරුන් හමුවට ඉදිරිපත් කළේය.

ඉන් පළමුවැන්න වූයේ සිංගප්පූරු ගිවිසුම අස්සන් තැබීම සම්බන්ධයෙන් මලික් සමරවික්‍රමට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුය යන්නය. ඒ සම්බන්ධයෙන් විමල් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය. දෙවැන්න වූයේ ස්වර්ණවාහිනිය මිලදී ගෙන ඇත්තේ ලයිකා මොබයිල් නම් සමාගමක් විසින් බවත් එම සමාගම නඩත්තු වන්නේ එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ මුදලින් බවත් විමල් පෙන්වා දුන්නේය. විමල් යෝජනා කළේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාදයක් ඉල්ලා සිටිය යුතු බවය.

මේ අතර මහින්ද විපක්ෂය ශක්තිමත්ව කටයුතු කිරීමේ වැදගත්කම මන්ත්‍රිවරුන්ට පෙන්වා දීමද කැපී පෙනිණි. විවාද කාලය තුළම සියලු දෙනා පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය බවද මහින්ද කීවේය.

'අපි එකතු වෙලා ප්‍රබල විපක්ෂයක් රට තුළ ගොඩනඟන්න ඕනේ. ආණ්ඩුව ජනතා ප්‍රශ්න අමතක කරන වැඩපිළිවෙළකයි ඉන්නේ. ඒ නිසා අපි අපේ සටන පුළුල්ව ව්‍යාප්ත කරන්න ඕනේ.' මහින්ද පැවැසීය. 'ඒ කතාව ඇත්ත. මිනිසුන්ගේ ලොකු විරෝධයක් මේ ආණ්ඩුවට තියෙනවා. අපි ඒ විරෝධය පාරට ගේන්න ඕනේ. මම යෝජනා කරනවා මාතර සිට අපි කොළඹට පාගමනක් සංවිධානය කරන්න ඕනේ කියලා.' දයාසිරි කීවේය.
ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මහින්ද ඇතුළු පිරිසගේ මතය වූයේ, ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ එකම අරමුණ වී ඇත්තේ ඇමැති ධුර සංඛ්‍යව වැඩි කරගැනීම බවය. ජාතික ආණ්ඩුවට පක්ෂව අත ඔසවන සන්ධානයේ මන්ත්‍රිවරුන්ට එරෙහිව පියවර ගන්නා බව දයාසිරි මෙහිදී දැනුම් දුන්නේය.

'ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවුරු හරි ජාතික ආණ්ඩුවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළොත් ඒකට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවා' දයාසිරි පැවැසීය.

'ඒක හොඳයි. ඒ කාරණය සියලුම මන්ත්‍රිවරුන්ට ලිඛිතව දැනුම් දෙන්න. ජනාධිපතිවරයා හමුවුණාම මේ ගැන වැඩිදුරට කතා කරමු' මහින්ද කීවේය.

"මලික් සමරවික්‍රම ඇමැතිවරයා, සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම අස්සන් තැබීමට කටයුතු කර ඇත්තේ නීතියට පටහැනිව බව දැන් තහවුරු වී අවසන්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිකයන් පෙන්වා දුන් කරුණු මේ පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිතුමන් පත් කළ කමිටුවේ වාර්තාවෙන් මනා ලෙස සනාථ වී තිබෙනවා. ඒ නිසා අපි විපක්ෂය විදියට මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ යුතුයි.

මලික් සමරවික්‍රම ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් හෝ සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමෙන් රටට සිදුවූ හානිය පිළිබඳ එක් දින විවාදයක් ගෙන ආ යුතු බවට සාකච්ඡා විය. විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමටද තීන්දු විය.

"විවිධ හේතු ඉදිරිපත් කරමින් ඡන්දවලට බිය වී ඇති පිරිස් පළාත් සභා ඡන්දය කල් දමමින් සිටිනවා. අපි කෙසේ හෝ පළාත් සභා මැතිවරණය ලබාගැනීමට උත්සාහ කළ යුතුයි" දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා කරුණු දක්වමින් පවසා සිටියේය.

ජාතික ආණ්ඩු යෝජනාව එන විට ප්‍රසන්න සිටියේ ඉන්දියාවේය. පවුලේ උදවියත් සමඟ ඉන්දියාවේ තිරුපති සහ කුජපති වන්දනාවේ ගොස් සිටි ප්‍රසන්නලා සමඟ රණවීරත් බිරියත් එක්ව සිටියහ. ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට එන විට විපක්ෂයේ සියලු මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව විපක්ෂය විසින් තීන්දු කර තිබිණි.

ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රිවරුන් ගෙන්වා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි. මෙහෙයුමේ නිරතව සිටියවුන්ට ප්‍රසන්න ඉන්දියාවේ සිටින බව දැනගන්නට ලැබිණි. එහෙත් ප්‍රසන්න සම්බන්ධ කර ගැනීමේ ප්‍රායෝගික ගැටලුවක් මතුව තිබිණි. පණිවුඩය ලබාදී තිබුණේ ප්‍රසන්නගේ කාර්යාලයටය. කාර්යාලයේ අයට ප්‍රසන්න සම්බන්ධ කර ගන්නට ලැබුණේ බදාදා පාන්දරය.

වහාම ප්‍රසන්න නැවත ලංකාව බලා ඒම සඳහා කටයුතු සූදානම් කර ගත්තේ ඒ අනුවය. රණවීරත් සමඟ මෙරටට පැමිණෙන්නට සූදානම් වන ප්‍රසන්නට මහින්දගෙන් ඇමැතුමක් ලැබුණේය.

'මොකක්ද ප්‍රසන්න කරන්න යන්නේ? මහින්ද ඇසුවේය.

'මේ එන්න ලෑස්ති වෙන්නේ සර්' ප්‍රසන්න උත්තර දුන්නේය.

'ඒක හොඳයි. මේ වගේ යෝජනා එනකොට ප්‍රසන්නලා පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ' මහින්ද පැවැසීය.

ඒ අනුව ආපසු පැමිණීම සූදානම්ව ප්‍රසන්න සහ රණවීර මදුරාසි ගුවන්තොටුපොළට ආවේ බ්‍රහස්පතින්දා උදෑසන 7.30ටය. ඒ වන විට තත්ත්වය වෙනස්ව තිබුණේ එදින ජාතික ආණ්ඩු යෝජනාව විවාදයට නොගෙන සිටීමට ආණ්ඩුව තීන්දු කර තිබීම නිසාය. මේ බව නොදැන සිටි ප්‍රසන්න ඒ වන විටත් සිටියේ ගුවන්තොටුපොළේය.

නැවත වරක් ප්‍රසන්න ඇමැතූ මහින්ද කීවේ ආණ්ඩුව යෝජනාව අකුළාගෙන ඇති නිසා කලබලයෙන් පැමිණීම අනවශ්‍ය බවය.

'ප්‍රසන්න ගිය වැඩ ටික කරගෙන එන්න. ආණ්ඩුව යෝජනාව අකුළා ගත්තා.' මහින්ද පැවැසීය.

'නෑ සර්, ආපු ගමන මෙම එන්නම්. ආණ්ඩුව විශ්වාස කරන්න බැහැ. කරන්නේ නැහැ කියන දේ තමයි ආණ්ඩුව නිතරම කරන්නේ. මම ආපසු ගිය වෙලාවක ඕක ආපසු ගෙනාවොත් සේරම ඉවරයි. ඒ හින්දා මම දැන් එනවා' ප්‍රසන්න පැවැසීය. මහින්ද ඊට කිසිවක් කීවේ නැත. ඒ අනුව ලංකාව බලා ආ ප්‍රසන්න ගුවන්තොටේ සිට කෙළින්ම ගියේ පාර්ලිමේන්තුවටය.

පොහොට්ටුව ගම සමඟ පිළිසඳරක

පොහොට්ටුවේ නෙලුම් මාවත කාර්යාලයේ පසුගිය සතිය පුරා දක්නට ලැබුණේ දැඩි තදබදයකි. පක්ෂයේ අලුත්ම ව්‍යාපෘතිය වන 'ගම සමඟ පිළිසඳරක්' සංකල්පය පිළිබඳ දැනුවත් කිරීමට බැසිල් පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් සියලු දෙනා නෙලුම් මාවතට කැඳවීය.

ඊළඟ ආණ්ඩුව භාරගන්න ඉන්න පක්ෂය විදියට අපි අලුත්ම වැඩපිළිවෙළක් හදනවා. ඒකට මහජන යෝජනා එකතු කරන්න තමයි 'ගම සමඟ පිළිසඳරක්' අපි නිර්මාණය කළේ. ගම සමඟ පිළිසඳරක් වැඩසටහන සාම්ප්‍රදායික රැස්වීමක් නෙවෙයි. ඒක ඉතාම රසවත්, නිර්මාණශීලී අවස්ථාවක් වෙන්න ඕනි. බැසිල් කීවේය. අනතුරුව වැඩසටහන් මොඩලයක් වීඩියෝ තිරය මත ප්‍රදර්ශනය විය.

'මේක බොහෝම හොඳ අලුත් වැඩක් සර්....

අපි ලස්සනට වැඩේ කරන්නම්...

හැබැයි ඊට ඉස්සෙල්ලා මට යෝජනාවක් කරන්න තියෙනවා.' ගලිගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නැඟී සිටියේය.

'මොකක්ද යෝජනාව' බැසිල් විමසීය.

'ඊළඟ ජනාධිපතිවරණයේ අපේ අපේක්ෂකයා අනිවාර්යයෙන්ම පොහොට්ටුවේ කෙනෙක් වෙන්නම ඕනි.' සභාවේ හැමෝම ජයවේවා කියමින් අත්පොළසන් දෙද්දී වරකාපොළ සභාපතිවරයා නැඟිට එම යෝජනාව ස්ථිර කළේය.

උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වෙනුවෙන්ද රැස්වීම් වාරයක් පැවැත්විය. යාපනය සිට පැමිණි බස් රථය අතරමඟ අනතුරකට ලක්වී තිබුණු නිසා රැස්වීම පටන් ගැනීමට ප්‍රමාද විය.

වාහනේ පැප්පිලා, කිහිප දෙනකුට තුවාලත් වෙලා. ඒ තුවාලකරුවන්ට ප්‍රතිකාරත් කරගෙන. ඒත් රැස්වීමට ආපු එක ගැන මගේ ගෞරවය තමුන්නාන්සේලාට පුදකරනවා. ඔබගේ උනන්දුව ගැන ඇත්තටම අපිට ආඩම්බර. බැසිල් උතුරේ රැස්වීම පටන් ගත්තේ විශේෂ ස්තුතියක්ද සමඟිනි.'

'සර්... අපි යාපනයේ පොහොට්ටුවේ කාර්යාලයක් දාන්න හදන්නේ. හැබැයි ඒක විවෘත කරන්න ඔබතුමා එන්නම ඕනි...' උතුරේ නියෝජිතයෙක් කැඩිච්ච සිංහලෙන් කරපු ආරාධනය බැසිල් එවෙලේම භාර ගත්තේය.

මාලදිවයින් ජනපති කරුව අගයයි

මෙවර සුපුරුදු ලෙස කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් නිදහස් සැමරුමේ පළමු පියවර පොල්වත්ත විහාරස්ථානයේ සේනානායක පිළිරුව අබියස ආරම්භ විය. මේ සඳහා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, එජාපයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක, සේනානායක පවුල නියෝජනය කරමින් මන්ත්‍රි වසන්ත සේනානායක යන අයද එක්ව සිටියහ. උත්සව සභාව ආමන්ත්‍රණය කළ කථානායකවරයා සඳහන් කළේ 'නිදහස යටපත් කිරීමට ඉතිහාසය පුරාම විටෙක විවිධ වධ බන්ධනයන් සහ බලහත්කාරකම්ද තවත් විටෙක විවිධ වරදාන හා වරප්‍රසාද මඟින් ආත්මාර්ථය සන්තර්පණය කිරීම්ද සිදු වූ නමුත් ඒ සියල්ල හමුවේ කශේරුකාව නොනමා සටන් වැදුණු උදාර මිනිසුන් නිදහසේ පීතෘවරුන් වන බවය.

මේ අතර පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයින් ජනපති ඊබ්‍රහම් මොහොමඩ් සොලිහ් මහතා වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිරිනැමූ විශේෂ භෝජන සංග්‍රහයට ආරාධනා ලැබ සිටි කරු ජයසූරිය මහතාට, මාලදිවයින් ජනපතිවරයා ඇතුළු දූත පිරිසෙන් එහි වූයේ විශේෂ ඇගයීමකි.

ඒ පසුගිය වසරේ මාලදිවයිනේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් කරමින් විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වූ අවස්ථාවේදී දකුණු ආසියානු කථානායකවරුන්ගේ සම්මේලනයේ සභාපතිවරයා ලෙස මැදිහත්ව ක්‍රියා කිරීම පිළිබඳවය. මෙහිදී කරු ජයසූරිය මහතා නැඟූ හඬ මාලදිවයිනේ පැවැති තත්ත්වය පිළිබඳව ලෝකය පුරා ප්‍රබල මතයක් නිර්මාණය කිරීමට සමත් වූ බව ද ඔවුහු පැවැසූහ.

මේ අතර බදාදා දින පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ඒ යටතේ ක්‍රියාත්මක වන මානව හිමිකම් කොමිෂන් සභාවටද අදාළව කරන ලද ප්‍රකාශය පිළිබඳව බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව ආරම්භයේදී දීර්ඝව කරුණු පැහැදිලි කිරීමක් කළ කථානායකවරයා සඳහන් කළේ 'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ ස්වාධීන කොමිෂන් සභාවන්හි සහ එහි සාමාජිකත්වයේ ගෞරවය ආරක්ෂා කරමින් කිසියම් අනවබෝධයක් පවතී නම් එය දුරලීම සිය වගකීම බවයි.'

කථානායකවරයාගේ මෙම ප්‍රකාශයට සන්ධාන මන්ත්‍රිවරුන් සියලු දෙනා විරෝධය දක්වන්නට වූහ. ඔවුන් සියලු දෙනා එකවර නැඟී සිටිමින් කථානායකවරයාගේ මෙම ප්‍රකාශයට විරුද්ධ වීමද විශේෂයකි.

අණ්ඩුව ව්‍යවස්ථාව අනුව කිසිම කෙනකුට සභාව තුළ ජනාධිපතිතුමා කිව්ව දෙයක් අභියෝගයට ලක් කරන්න බෑ. ඔබතුමාගේ ප්‍රකාශය ගැන අපට එකඟ වෙන්න බෑ' සන්ධාන මන්ත්‍රිවරු කීහ.

'ඒක මගේ අයිතිය මමයි සභාපති ව්‍යවස්ථාදායක සභාව ගැන වැරැදි ප්‍රකාශයක් වුණොත් මම කටවහගෙන ඉන්නෙ නෑ. මටත් ඒකට උත්තරයක් දෙන්න අයිතියක් තියෙනවා' කථානායකවරයා කීවේය.

අල්ලපු ඇමති පුටුව

අමාත්‍ය ධුර වැඩි කිරීම සඳහා එජාපය ගත හැකි හැම වෙර වීරියක්ම ගැනීමත් සමඟ එය ඉටු කර ගැනීමට නොහැකි විය. ආණ්ඩුවේ බහුතරය තියා ගැනීමට නොහැකි වූ අවසන් මොහොතේ අධීක්ෂණ මන්ත්‍රිකම් ලබා දී අවශ්‍ය පහසුකම් සපයා කලකිරුණු මන්ත්‍රිවරුන් පිනවීමට අගමැතිවරයා කල්පනා කළේය.

ඒ අනුව ශ්‍රී ලනිපයෙන් එජාපයට එක් වූ මන්ත්‍රිවරුන් පිරිසටද අධීක්ෂණ මන්ත්‍රිකම් ලැබිණි. පියසේන ගමගේද ඒ අතර විය. එජාප මන්ත්‍රි සරත් ෆොන්සේකාට ලැබුණේ වනජීවී අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රිකමය. එහි විෂය භාර කැබිනට් ඇමැතිවරයා වන්නේ ජෝන් අමරතුංගය. රාජ්‍ය ඇමැතිවරයා ලෙස රංජිත් අලුවිහාරේ කටයුතු කරයි.

ෆොන්සේකාට ලැබුණු මෙම කදිම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ඔහු කල්පනා කළේය. ඔහු ජෝන්ට සහ රංජිත්ට ඇඟවූයේ වනජීවී අංශයට අත පත නොදමන ලෙසය. ඔහු රාජකාරියේ පිහිටි අමාත්‍ය පරිශ්‍රයට ගියේය. එය ඔහු කලින් කැබිනට් ඇමැති ධුරය දරන සමයේ සිටි අමාත්‍යාංශය වීමද විශේෂත්වයකි.

ෆොන්සේකා එහි ඇමැති කාමරයට වී නිලධාරීන් සමඟ කටයුතු කරයි.

'සර්.. අපිට නම් මෙතුමා එක්ක වැඩ කරන්න බෑ. මේක හරි වදයක් අපිට නියෝග දෙනවා. ඔබතුමාගේ අනුමැතිය නැතිව අපි කොහොමද අධීක්ෂණ මන්ත්‍රි කෙනෙක් කියන ඒවා කරන්නෙ. අන්තිමට අපිට හිරේ යන්න වෙයි' අමාත්‍යාංශයේ ඉහළම රාජ්‍ය නිලධාරියකු ජෝන්ට මේ දුක්ගැනවිල්ල කීවේය. ජෝන්ටද කරකියා ගත දෙයක් නොමැති විය. අගමැතිවරයාට මෙය කීමෙන්ද පලක් නොවන බව ජෝන් සිය හිතවත් මැති ඇමැතිවරුන්ට කීවේය.

'හරි වැඩක් වෙලා තියෙන්නෙ. මෙයා එතැන ඉඳන් ඕඩර්ස් දෙනවා' ජෝන් සිය හිතවතුන්ට කීවේය. පසුගිය සතියේ එක් දිනක ජෝන් මෙම ප්‍රශ්නය විසඳීම සඳහා කොල්ලුපිටිය සංචාරක අමාත්‍යාංශයේ සිට රාජගිරියේ පිහිටි වනජීවී අමාත්‍යාංශය බලා පිටත්ව ගියේය. යන අතරතුර ජෝන් අමත්‍යාංශයේ ඉහළ නිලධාරියකුට කතා කළේය.

'දැනුත් ඇවිල්ලා ඉන්නවා. සර්ගෙ කාමරේ ඉන්නේ' නිලධාරියා කීවේය.

ජෝන් වාහනය හරවා නැවත කොල්ලුපිටියට ගියේය. තවමත් එම ගැටලුව විසඳී නැත. ජෝන් තවමත් ඊට විකල්පයක් සොයමින් සිටී. ජෝන් එහි නොයන නිසා රාජ්‍ය ඇමැති රංජිත්ටද එහි යෑමට නොහැකි වීමද විශේෂයකි.

මධුෂ් ඇල්ලීමේ ලකුණු කාටද?

ඩුබායිවලදී අල්ලා ගත් මාකඳුරේ මධුෂ් පිළිබඳව මේ දිනවල දේශපාලනඥයන් අතර දැඩි මත ගැටුම් නිර්මාණය වී තිබේ. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කියන්නේ මධුෂ් අල්ලා ගැනීමේ මෙහෙයුම ඔවුන් විසින් සිදුකළ බවය. විපක්ෂයේ දේශපාලනඥයන් පවසන්නේ ජනාධිපතිවරයා යටතට පොලිසිය ගත් පසු මෙම ක්‍රියා සිදුවූ බවය. පසුගිදා පැවැති රූපවාහිනි සංවාදයකදී නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර කීවේ මධුෂ් සමඟ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් සහ මෑතකදී විවාහ වූ ඔහුගේ පුත්‍රයකු දැඩි සම්බන්ධයක් පවතින බවය.

මේ අතර මධුෂ් සමඟ අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙක් සතුව රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් තිබීමද මේ වන විට දැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්ව තිබේ. විපක්ෂයේ දේශපාලනඥයන් පවසන්නේ මේ පුද්ගලයා දකුණු පළාත නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයකුගේ හිතවතකු බවය.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන අතර එම පරීක්ෂණ සිද්ධියට අදාළ පුද්ගලයන්ගේ තොරතුරුද හෙළිවනු ඇත.

මන්ත්‍රිවරු විදුලි සෝපානය මඟහරිති

පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ මන්ත්‍රි පිරිසක් හිරවීමත් සමඟ බොහෝ මැති ඇමැතිවරුන් එය භාවිත නොකර පඩිපෙළ භාවිත කිරීම විශේෂත්වයකි. බ්‍රහස්පතින්දා පස්වරුවේ සභා ගැබේ සිට බිම් මහලට යෑම සඳහා සිසිර ජයකොඩි, ඉන්දික අනුරුද්ධ ඇතුළු පිරිසක් පැමිණියහ.

'අම්මෝ මට නම් බෑ ඕකේ යන්න' සිසිර ජයකොඩි එසේ කියමින් සෙසු මන්ත්‍රිවරුද සමඟ පඩිපෙළ දිගේ බිම් මහලට ගියහ.

බ්‍රහස්පතින්දා පස්වරුව වන විට විදුලි සෝපානයේ අලුත්වැඩියා කටයුතු කිරීම ආරම්භ කළ අතර කථානායකවරයාද විටින් විට ඒ ගැන විපරම් කර බැලීම විශේෂයකි.

දිනේෂ්, ගජධීර, විමල්, ඩලස්, බන්දුල, චන්දිම, රංජිත් අලුවිහාරේ, රංජිත් සොයිසා, ලොකුගේ, මහින්ද යාපා, සී.බී. ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙසේ විදුලි සෝපානයේ සිරවූහ. පසුව එහි ගමන් කළ හැකි මන්ත්‍රිවරුන් ප්‍රමාණය සඳහන් කරමින් දැන්වීමක් සිකුරාදා එම විදුලි සෝපානයේ අලවා තිබිණි.

හය දෙනකුට පමණක් ගමන් කළ හැකි එම විදුලි සෝපානයේ මන්ත්‍රිවරුන් 12 දෙනකු ගමන් කිරීම නිසා එහි ‍ෙදාර විවෘත නොවීමෙන් මන්ත්‍රිවරුන් එම අවදානමට ලක්ව ඇති බව පාර්ලිමේන්තුවේ ඉන්ජිනේරු කාර්යාලය පවසයි. මින්පසු එහි ගමන් කළ හැකි උපරිම ප්‍රමාණය 6ක් ලෙස අදාළ විදුලි සෝපානයේ දැන්වීමක්ද සවිකර ඇත.

ස්කයිප් හරහා සජිත් අමාත්‍යාංශයට ගිය හැටි

ඉකුත් සතියේ මඩකළපුව පොරතිව්පත්තුහි 'ආනන්දපුරම්' උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී දැඩිව ගිලන් වුණු සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා කොළඹට රැගෙන එන ලද්දේ කුලී පදනමින් ලබාගත් ගුවන් හමුදා යානයකිනි. පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක වෛද්‍යවරුන්ගේ දැඩි රැකවරණය යටතේ විවිධ පරීක්‍ෂාවලට භාජන වෙමින් මුල් දින කීපය සජිත් ඉතා අසහනයෙන් ගත කළේය. එක තැනකට කොටුවී සිටීමේ පුරුද්දක් සජිත්ට තිබුණේම නැත. 'මහන්සි වෙන්න එපා. විවේක ගැනීම අත්‍යවශ්‍යයි. ලෙඩේ වැඩි වුණොත් සෑහෙන කාලයක් රෝහලේ ඉන්න වෙයි' වෛද්‍යවරු පැහැදිලි කළහ.

ඔහු බැලීමට පවුලේ අයට හැර සෙසු අමුත්තන්ට තහනම් වූ නිසා කාමරයට පිටතින් ව්ධ ඍඪඵඪබධපඵ පුවරුව දිස් වුණේය. හිස් බැල්මෙන් ඔහේ බලා සිටිනවාට වඩා සජිත්ට ඕනෑ වුණේ වෙනදා මෙන්ම අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම්වලට සහභාගි වෙමින් වැඩ කිරීමටය. එහෙත් වෛද්‍යවරු 'විවේක' හැර අන් කිසිම දෙයක් සජිත්ට නිර්දේශ කළේ නැත. ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ජනාධිපතිවරයාගේ විශේෂ වැඩසටහනට අදාළව අමාත්‍යාංශයේ පවත්වනු ලබන ප්‍රගති සමාලෝචන වැඩසටහනට 'ස්කයිප්' තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධවීමට තමන්ට අවශ්‍ය බව සජිත් සිය වෛද්‍යවරුන්ට කීවත් සතුටුදායක ප්‍රතිචාරයක් ලැබුණේ නැත. අවසානයේ සජිත් ඉතා අසීරුවෙන් වෛද්‍යවරුන් කැමැතිකරවා ගත්තේය. 'හැබැයි පැය ගණන් ස්කයිප් ඉන්න බෑ. ඉක්මනින් අවසන් කරන්න ඕනෑ' වෛද්‍යවරු කැමැත්ත දුන්නේ දැඩි කොන්දේසි සහිතවය.

සජිත් ස්කයිප් හරහා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීම මෙහෙයවන ආකාරය වෛද්‍යවරු මවිත වී බලා සිටියහ. 'ත්‍රිපිටක සතියේ වැඩකටයුතු ප්‍රගතිය මොකක්ද? රට පුරා දහම් පාසල් ගොඩනැඟිලි හැදෙන වැඩසටහනට දැන් මොකද වෙලා තියෙන්නේ' සජිත් එකින් එක විමසුවේය. එතැනින් නතර වුණේ නැත. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම්ද ඒ සමඟ පැවැත්විණි. අසල බලා සිටි වෛද්‍යවරුන්ට සජිත් කීවේ 'ඇමැතිවරු ලෙඩ වුණා කියලා රටේ වැඩ නතර වෙන්න දෙන්න බෑනේ. ඒවා ඉදිරියටම යන්න ඕනෑ. ඒකයි මගේ ප්‍රතිපත්තිය' කියාය.

අර්ජුන රහසේ මෛත්‍රි හමුවුණේ ඇයි?

ජාතික ආණ්ඩුවක් බිහිකර ගැනීමට තිරයෙන් පිටුපස මෙහෙයුම් ගණනාවක් තැන් කිහිපයකින් සිදුවිය. එයින් එක් මෙහෙයුමක් රහසිගතව දියත් කළේ ඇමැති අර්ජුන රණතුංගයි. ඔහු පසුගිය අඟහරුවාදා දිනක ජනාධිපති නිවෙසේදී ජනාධිපතිතුමා හමුවූයේ අතිශය පෞද්ගලික ලෙසිනි.

පැයක් පමණ එම සාකච්ඡාව පැවැත්විණි. තවත් අවස්ථාවක චන්ද්‍රිකා සමඟද එවැනිම රහසිගත සාකච්ඡාවක් හොරගොල්ලේදී පැවැත්විණි. එම හමු දෙකේදීම සිදුකළ සාකච්ඡා ගැන තොරතුරු කිසිවක් හෙළි නොවිණි. කෙසේ නමුත් ජාතික දින සැමරුම සඳහා පැමිණි මාලදිවයින ජනාධිපති කටුනායක ගුවන්තොටුපොළට ඇරලවා නැවත පැමිණෙන අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ අර්ජුන රණතුංග පැවැසුවේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අකැමැති දේශපාලනඥයන් සමඟ තවදුරටත් දේශපාලන ගනුදෙනු සිදුකිරීම ගැන ඉදිරියේදී සිතා බලන බවය. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය ලබාදීම ගැන ඔහු තුළ වූ දෙගිඩියාව ගැනද අර්ජුන රණතුංග ඉඟි කළේය.

'මමත් හිතනවා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත්‍රිපාල සිරිසේන මහතා කියලා දැන්මම යෝජනා කරපු එක හොඳයි. එතකොට අපි බලන්න ඕන අනෙක් පැත්තෙන් මොනවද වෙන්නේ කියලා. අපි එක්සත් ජාතික පෙරමුණ හැටියට පුළුල් සන්ධානය හැටියට පොදු අපේක්‍ෂකයෙක් ඒ සන්ධානයේ ඉන්න කෙනෙක් හරි අපි කවුරුහරි ඒ වෙලාව එනකොට අපි හරි පුද්ගලයෙක්ව දායි. එහෙම නැතිව අපි දැන්මම නම් ගහගෙන යන්න ඕනි නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාව ගෙනාවේ මාසයක් ඉස්සෙල්ලා. ගෙනල්ලා අපි දිනුවා.

අපි ඊළඟ ගේන එක්කෙනාවත් මාසෙකට, සුමාන තුනකට ඉස්සෙල්ලා ගෙනැල්ලා දාලා අපි දිනන්නම්. දිනලා අපි අලුත් රටක්, අලුත් ආණ්ඩුවක් හදලා, ඒ බලතල එක්ක මේ රට වෙනස් කරන්න ඕන' අර්ජුන කීවේය.

කටුනායකට ඇමෙරිකානු ගුවන්යානා ආවේ දෙපැත්තේම සහයෙන්

කටුනායක ගුවන්තොටුපොළට ගුවන් යානා පැමිණීම පිළිබඳව අන්තර් සමාගම් සේවක සංගමයේ ගුවන්තොටුපොළ ශාඛාවේ සාමාජිකයෝ වසන්ත සමරසිංහ දැනුවත් කිරීමට කටයුතු කළෝය. මේ පිළිබඳව ජවිපෙ නායකයන්ගේ හමුවකදී ද සාකච්ඡාවට බඳුන් විය. 'කටුනායක ගුවන්තොටුපොළට ගුවන් යානා කිහිපයක් ගොඩබැස්සුවා. නමුත් ආපු සෙබළු ගියේ කොහෙද කියලා තොරතුරු නැහැ.' වසන්ත සමරසිංහ කියා සිටියේය. ඇමෙරිකන් ආමි එකට පහසුකම් දෙන්න ගිවිසුමක් අස්සන් කරලා තියෙන්නේ 1995දී පොදු පෙරමුණ ආණ්ඩුව කාලේ.

අද ශ්‍රී ලනිපයේ ලේකම් එදත් ඒ ආණ්ඩුවේ ආයතනයක සභාපති කෙනෙක්. ජී.එල්. පීරිස් හිටියෙත් ඒ ආණ්ඩුවේ. ඒ අයත් හිටපු ආණ්ඩුව කාලේ 2007 ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, බ්ලේක් එක්සත් ජනපද තානාපතිවරයා සමඟ මේ වගේම ආරක්ෂක ගිවිසුමක් අස්සන් කරනවා. 'බිමල් රත්නායක කීවේය. 'ඒ විතරක් නෙවෙයි. ඒ ගිවිසුම අවුරුදු 10කින් අවසන් වෙනවා 2017දී. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව නැවත වතාවක් ඒ ගිවිසුම අලුත් කරනවා. ඒ ගිවිසුම් අනුව තමයි අද ඇමෙරිකන් ගුවන් යානා ලංකාවට එන්නේ. මේ දෙගොල්ලම එකතු වෙලා තමයි බටහිර ගැති ගිවිසුම් අස්සන් කරන්නේ.' වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේය. 'මේක සරලව ගන්න පුළුවන් එකක් නෙවෙයි. අපි මේ ගැන පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් ඉල්ලමු.' සුනිල් හඳුන්නෙත්ති යෝජනා කළේය.

පාසල්වල මුදල් ගැරිල්ල තවදුරටත්

පාසල්වල මවුපියන්ගෙන් මුදල් අයකරමින් විවිධ ව්‍යාපෘති සිදුකිරීම සම්බන්ධව විවිධ ප්‍රදේශවලදී ජනතාවගේ මැසිවිලි ඉදිරිපත් වීම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ. විජිත හේරත් මන්ත්‍රිවරයාටද මෙවැනි දුක්ගැනවිලි ගණනාවක් ලිපි මඟින්ද වාචිකවද ලැබී තිබිණි. මේ සම්බන්ධයෙන් විජිත හේරත් මන්ත්‍රිවරයා ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහගෙන් විමසීමක් කළේය. 'අකිල විරාජ් ඇමැතිවරයා මවුපියන්ගෙන් පාසල්වලට මුදල් ගැනීමේ චක්‍රලේඛයක් අහෝසි කළා කියලා කලින් කතාවක් තිබුණා.

නමුත් මවුපියන් කිහිප දෙනෙක් මට කිව්වා තවමත් පාසල්වල මුදල් ගැනීම නතර කරලා නැහැ කියලා. මොකක්ද මේ කතාව.' විජිත හේරත් විමසා සිටියේ මහින්ද ජයසිංහට දුරකථන ඇමැතුමක් ලබාදෙමිනි. 2015ට කලින් තිබුණු චක්‍රලේඛයක් අහෝසි කළා. නමුත් 2015 නැවත අලුත් චක්‍රලේඛයක් ගහලා තියෙනවා.

ඒ චක්‍රලේඛය අනුව ඕනෑ තරම් මුදල් අය කරගන්න ප්‍රතිපාදන හදල දීලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් අකිල විරාජ් ජාතික පාසල් තුන්සිය ගාණකම විදුහල්පතිවරුන් එකසැරේ ස්ථාන මාරු කරන්න යනවා. මේකෙන් වෙන්නේ ජාතික පාසල් පද්ධතියම කඩා වැටෙන එකයි. ඒ ගැනත් මොකක් හරි කරන්න වෙනවා.' මහින්ද ජයසිංහ දුරකථන මාර්ගයේ එහා කොනේ සිට පිළිතුරු දුන්නේය.

පාර්ලිමේන්තු අධිආරක්ෂිත කලාපයේ ඉඩමක් නීති විරෝධී පරිහරණයක

කථානායක නිල නිවෙස ඉදිරිපස ඇති පාර්ලිමේන්තුවේ අධි ආරක්ෂිත කලාපයට අයත් ඉඩමක් හෙළිපෙහෙළි කිරීම පිළිබඳ ඒ ආසන්නයේ ඇති භාවනා මධ්‍යස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ විසින් ජවිපෙ මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති වෙත දැනුම් දීමට කටයුතු කර තිබේ. 'මේක පාර්ලිමේන්තුවට අයිති ඉඩම් කෑල්ලක්. මේක තියෙන්නේ අධි ආරක්ෂිත කලාපයේ. මේ ඉඩම් කෑල්ලට ඔප්පුව ලියලා තියෙන්නේ 2017දී. මීරිගම පුද්ගලයෙක්ට තමයි මේ පවරලා දීලා තියෙන්නේ. වෙන කාටවත් කියලා වැඩක් නෑ. ඒ නිසායි ඔබතුමාටම කිව්වේ.'

උන්වහන්සේ වැඩිදුරටත් විස්තර කළේය. මෙය සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා විසින් කථානායකවරයාට, ඉඩම් අමාත්‍යාංශයට, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ වගකිවයුත්තන් වෙත ලිඛිතව දැනුම්දීමට කටයුතු කළේ මේ අතරතුරය. කථානායකවරයා විසින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියකු ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පිටත් කර යවා තිබේ.

'මේ අතර පසුගිය පාර්ලිමේන්තු සභා වාරයේදී සුනිල් හඳුන්නෙත්තිට ඒ සම්බන්ධව නිරීක්ෂණයට ගිය පාර්ලිමේන්තුවේ නිලධාරියකු විස්තර කළේය. 'මේ ඉඩම් අධිආරක්ෂක කලාපයේ තියෙන්නේ. මෙතැන වෙන බිල්ඩිමක් හැදුවොත් ඒක වෙනත් ගැටලු මතුකරනවා. අනෙක පරිසර අමාත්‍යාංශය අයිති ජනාධිපතිතුමාට. මේ විදියට අධි ආරක්ෂක කලාපයේ ඉඩම් එළිකරනකොට කොහොමද පියවර ගන්නේ නැත්තේ. අනෙක පාර්ලිමේන්තුව ළඟම ඉඩම් කෑල්ලක්. හයි හෑන්ඩ් එකක් මේ වැඩේ උඩින් තියෙනවා කියලා මට හිතෙනවා.' ඔහු කියා සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon