පාසල් දරුවන්ගේ ඔළු “හැදීම” සහ ඔළු “රැකීම”

  👤  5710 readers have read this article !
2017-04-02

මහනුවර වත්තේගම සිරිමල්වත්ත මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පස්වැනි ශේ්‍රණියේ සිසු - සිසුවියන් 40කට අධික සංඛ්‍යාවක් වාර විභාගය ලියමින් සිටියදී ගොඩනැඟිල්ලේ වහලය ඔවුන්ගේ හිස මතට කඩා වැටී ඇත. 20කට අධික සිසු සිසුවියන් පිරිසක්ද, ගුරුවරියන්ද ඉන් තුවාල ලබා තිබේ. දැනගන්නට ලැබී ඇති ආකාරයට අදාළ ගොඩනැඟිල්ල අවුරුදු සියයක් පමණ පැරැණිය. නව ගොඩනැඟිල්ලක් ලබාදෙන ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් වරින් වර ඉල්ලීම් කළද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව මවුපියන් පවසා තිබිණි. මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක ප්‍රකාශ කර තිබුණේ කිසිවකුට මෙහි වරද පටවන්නේ නැති බවත් එහි වගකීම තමන් භාරගන්නා බවත්ය. මධ්‍යම පළාතේ පාසල් 90ක ගොඩනැඟිලි අලුත්වැඩියාවන් සඳහා වෙන් කළ මුදල් ලැබීමේ ප්‍රමාදයක් තිබෙන අතර ඉකුත් වසරේදී රුපියල් මිලියන හතරක මුදලක් වෙන් කළද නිසි ආකාරයට එම කටයුතු අවසන් කර ගැනීමට නොහැකි වූ බවය.

පළාතේ පාසල් සංවර්ධනය සඳහා 2016 වසර වෙනුවෙන් වෙන්කර තිබූ මුදලින් රුපියල් මිලියන 970ක් හරවා යවා ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.
මධ්‍යම පළාතේ අධ්‍යාපන සංවර්ධනයට වෙන්කළ මුදල්වලින් කිරීමට ඕනතරම් "වැඩ" තිබියදී මුදල්වලින් කොටසක් හරවා යැවීම අපරාධයකි. සිරිමල්වත්ත විද්‍යාලයේ ගොඩනැඟිල්ලක වහලයක් සිසුන් පිරිසකගේ හිස මතට කඩා වැටීමෙන් ඒ බව සනාථ වෙයි. සිසුන් සිවුදෙනකු බරපතළ තුවාල ලබා තිබුණද වාසනාවට ජීවිත අනතුරක් වූයේ නැත.

පාසලට පැමිණීමේ සිට පිටව යන මොහොත දක්වා දරුවන්ගේ ආරක්ෂාව සහතික විය යුතුය. අධ්‍යාපන කටයුතු කිරීමට පාසල තුළ නිදහස තිබිය යුතුය. මේ කාරණා සම්පූර්ණ නොවන්නේ නම් එය පාසලක් නොවේ. බන්ධනාගාරයක ස්වරූපයකින් පාසලක් පවත්වාගෙන යා නොහැකිය. පාසල් පරිසරය අනාරක්ෂිත නම් දරුවන්ට නිරවුල් මනසකින් අධ්‍යාපනය ලබාගත නොහැකිය.

සුපිරි පාසල් හැරුණු කොට දිවයිනේ බොහෝ පාසල්වල ඉදිකිරීම්වල ප්‍රමිතියක් නැත. ඇතැම් පන්ති කාමරවලට හරිහැටි ආලෝකය ලැබෙන්නේ නැත. සුළඟ එන්නේ නැත. නොඑසේනම් හිරු එළිය අනවශ්‍ය ලෙස පන්ති කාමරවලට ගලා එයි. පාසල් ගොඩනැඟිලිවල අඳුර නිසා විදුලි පහන් දැල්වීමටත්, අධික උණුසුම නිසා විදුලි පංකා සවිකිරීමටත් සිදුවන අවස්ථා තිබේ. ඒවායේ බරපැන දැරීමට සිදුවන්නේත් මවුපියන්ටය. ප්‍රමිතියෙන් තොරව ඉදිකළ තාප්ප, ගොඩනැඟිලි නිසා දරුවන් අනාරක්ෂිත වන අවස්ථා වරින් වර වාර්තා වේ. වැඩ අවසන් නොකළ ගොඩනැඟිලි පාසල් භූමියක තිබේ නම් දරුවන් එවැනි ස්ථානවලින් වෙන්කර තැබීමට බලධාරීන් කල්පනාකාරී විය යුතුය. පාසල් භූමියේ පිහිටා ඇති ගහ කොළවලින්ද දරුවන් ආරක්ෂා කර ගැනීමට අවධානය යොමුකිරීම අවශ්‍යය. ගස් නැඟීම හෝ ගස් හෝ අතු කඩාවැටීම වැනි සිද්ධි නිසා දරුවන් අනතුරේ වැටෙන අවස්ථා තිබේ.

පාසල් නිල ඇඳුමට සුදු වර්ණය වෙනුවට වර්ණ 5ක් හඳුන්වාදීමට යන බව අධ්‍යාපන ඇමැතිවරයා ඉකුත්දා කොළඹ පැවැති උත්සවයකදී ප්‍රකාශ කර තිබිණි. නිල ඇඳුම වෙනස් කිරීම හොඳද නරකද යන්න කෙසේ වෙතත් මේ අවස්ථාවේ කළ යුතු ප්‍රමුඛතම කාර්යය එයද යන්න ප්‍රශ්නයකි. ජනාධිපතිවරයා මෑතකදී ප්‍රසිද්ධ උත්සවයකදී පවසා තිබුණේ පාසල් දරුවන්ගෙන් අවශ්‍ය මොනවාදැයි ඇසූවිට බොහෝදෙනා "වැසිකිළි" ඉල්ලා සිටි බවය. අවම සනීපාරක්ෂක පහසුකම් ඇතුළු භෞතික සම්පත් හිඟ පාසල් බහුතරයක් තිබියදී "නිල ඇඳුම" වෙනස් කිරීමට අවධානය යොමු කිරීම හාස්‍යජනකය.

පාසල් ගොඩනැඟිලිවල වහල විභාගයට ලියමින් සිටින ප්‍රාථමික පන්තියක දරුවන්ගේ හිස මතට කඩා වැටෙද්දී අධ්‍යාපනයට වෙන් කළ සොච්චම පවා ප්‍රයෝජනවත්ව වැය නොකර හරවා එවන පළාත් සභාවල බලධාරීන්ට කිව යුත්තේ කුමක්ද? යන්න පවා සිතාගැනීමට අමාරුය. මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැතිවරයා හැරුණු කොට පළාත් සභාවල අධ්‍යාපන ඇමැතිවරු නව දෙනෙක් සිටිති. එහෙත් පාසල් අධ්‍යාපනයේ දියුණුව පමණක් නොව රජයේ පාසල් පද්ධතියේ භෞතික දියුණුවද තවමත් ඉබි ගමනේය. රජයේ අධ්‍යාපන බලධාරීන් නම් කියන්නේ පාසල් අධ්‍යාපනයේත්, පාසල් පද්ධතියේත් පෙරළිකාර වෙනසක් කරන බවය. එහෙත් දරුවන්ගේ ඔළුවට පන්ති කාමරයේ වහලය කඩාගෙන වැටේ. ප්‍රථමයෙන් කළ යුත්තේ පාසල් දරුවන්ගේ ඔළු "හැදීමට" පෙර ඔවුන්ගේ ඔළු "පරිස්සම්" කරදීමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon