කැබිනට් රහස් පිටවනවාට අගමැතිගේ විරෝධය

  👤  6772 readers have read this article !
2017-04-02

සඳුදා පැවැති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ ශ්‍රී ලනිප නියෝජනය කරන පළාත් සභා හතෙහි ප්‍රධාන ඇමැතිවරුන් සහ ඇමැතිවරුන්ගේ හමුව බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූවකි. ජනාධිපති නිල නිවෙසේදී පැවැති එම හමුවේදී ජනාධිපතිවරයා පැය භාගයකට අධික කාලයක් ගෙන අරමුණ පැහැදිලි කළේය. ' අද මෙතැනට පැමිණ සිටින අය අතර මාත් එක්ක ඉතා සමීපව කටයුතු කරන අයත් එවැනි ඍජු සම්බන්ධයක් නොමැති අය වගේම ඒ දෙකටම නැති අතරමැදි කොටසකුත් සිටිනවා. පොළොවෙ පය ගහලා ඉන්න මිනිහෙක් විදියට මම ඒක අවබෝධ කරගෙන ඉන්නවා. ඒත් දැන් අපි සියලු දෙනා පක්ෂය ගැන හිතලා කටයුතු කළ යුතු කාලය එළැඹිලා'. ජනාධිපතිවරයා කීවේය. මෙහිදී අද ඉරිදා පවත්වන ශ්‍රී ලනිප තරුණ සම්මේලනය පිළිබඳවද සාකච්ඡාවට ගැනිණි. එමෙන්ම නුවරදී පවත්වන මැයි දිනය සාර්ථක කරගන්නා අයුරුද සාකච්ඡාවට ලක් වූයේය.

ඉදිරියේදී ගෙන ඒමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන පළාත් ඇමැතිවරු මෙහිදී ජනාධිපතිවරයාගෙන් විමසා සිටියහ. 'ඇතැමුන් ජාතිවාදය ඉස්මතු කරගෙන මේ සම්බන්ධව බොරු කතා පතුරවනවා. හැබැයි මම ජනාධිපති ධුරයේ ඉන්නතුරු ෆෙඩරල් ක්‍රමයක් ඇතිවෙන්නෙවත් නැහැ. රට බෙදන්නෙත් නැහැ.' ජනාධිපතිවරයා ඊට එවැනි පිළිතුරක් දුන්නේය.
වසර හතළිස් හතරකින් ශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයකුට උදා වූ රුසියාවේ නිල චාරිකාව ගැනද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේ රුසියාව ශ්‍රී ලනිපයට විශේෂ කැමැත්තක් දක්වන බව සඳහන් කරමින්ය.

අක්මීමන ආසන සංවිධායක ධුරය තමන්ට දීම ගැන මෙහිදී දකුණු පළාත් අමාත්‍ය යූ.ජී.ඩී. ආරියතිලක ජනාධිපතිවරයාට ස්තුති කළේය. 'මට රමේෂ් පතිරණ ගැන පැමිණිලි ගොඩක් ලැබුණා. ඒත් රිචර්ඩ් පතිරණ නමට සලකල මම ඔහු ඉවත් කළේ නැහැ මෙච්චර කලක්. ඒත් ඔහු ඉවත් කළ නොහැකි තත්ත්වයට පත් වුණා. එහිදී ජනාධිපතිවරයා කීවේය. 'අක්මීමන රමේෂ් පතිරණයි. රත්ගම මොහාන් සිල්වාත් අදටත් මගේ හොඳ මිත්‍රයො. ඒත් පක්ෂයක් ලෙස ජනාධිපතිතුමා ගත් තීරණය හොඳ තීරණයක්.' දකුණේ මහ ඇමැති ෂාන් ද එම කතාබහට එක් වූයේ එසේ කියමින්ය. මෙහිදී මහ ඇමැතිරු සියලු දෙනාම ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලනිප නියෝජනය කරමින් තරග කරන බව වරින් වර ප්‍රකාශ කෙළේ ජනාධිපතිවරයාට ශක්තියක් වෙමින්ය. 'මේ වසරේදී පළාත් සභා මැතිවරණ පවත්වන්න කටයුතු කරනවා. කල් දමන්න වුවමනාවක් නැහැ. ඒත් පළාත් පාලන සීමා නිර්ණය ගැන ගැටලු තවම විසඳිලා නැහැ.' ජනාධිපතිවරයා කීවේය. පැය දෙකකට අධික කාලයක් මේ සාකච්ඡාව සිදුවිය. මේ හමුව සඳහා ඩිලාන් පෙරේරාද එක්වී සිටියේය.

කැබ්නට් මණ්ඩලය සුපුරුදු පරිදි අඟහරුවාදා පෙරවරුවේ රැස්වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. මෙහිදී කැබිනට් පත්‍රිකා 20කට පමණ අනුමැතිය පළ කෙරිණි. පසුගිය 2005-2015 කාලයේ විවිධ හිරිහැරයන්ට ලක්වූ මාධ්‍යවේදීන් 38 දෙනකුට වන්දි ගෙවීම සඳහා වූ යෝජනාවක්ද ඒ අතර වෙයි. රුපියල් විසිපන් දහසේ සිට ලක්ෂය දක්වා වන්දි ගෙවීමට මෙමඟින් නිර්දේශ කර ඇත. මේ සම්බන්ධයෙන් ඇතැම් ඇමැතිවරුන් අතර උණුසුම් වාද විවාද සිදුවිය. 'මෙතන සමහර අයගේ නම් නැහැ. අඩු තරමේ කීත් නොර්යාගෙ නමවත් නැහැ. වන්දි ගෙවීමට වඩා ලේක්හවුස් එකේ වැඩකළ අයට රැකියාව දීමයි වැදගත්' දයාසිරි ජයසේකර කීවේ එවැනි කතාවකි. 'මේකෙ සංජීව සමරසිංහගෙ නමත් තියෙනවා. ඔහු පසුගිය කාලයේ ගෝඨාභයට වැඩ කළා. ඔහුට වන්දි දීම අසාධාරණයි' ෆොන්සේකා කීවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙස සිට පසුව ඉන් ඉවත්ව ගිය පුද්ගලයෙක් සම්බන්ධයෙනි' එහෙම කියන්න එපා. ඔහු ඊට පෙර සිරිකොතෙත් හිටියා. නමුත් ඔහු බන්දුල පද්මකුමාර විසින් ලේක්හවුස් එකෙන් එළියට දමාපු කෙනෙක්. අපි සලකන්න ඕන එම අසාධාරණය මිසක් ඊට පස්සෙ ඔහු කළ දේවල් නෙවෙයි' දයාසිරි ෆොන්සේකාගේ අදහසට විරුද්ධව පැවැසීය. වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය පළවූ නමුදු තවදුරටත් ඒ පිළිබඳ සොයා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විජයදාස, ගයන්ත හා මංගලගෙන් යුතු අමාත්‍ය මණ්ඩල කමිටුවක් මෙහිදී පත් කරනු ලැබීය.

මැතිවරණ කාලයේදී රජයේ සහ පෞද්ගලික විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධ ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමේ යෝජනාවක් ගෙනාවේ ගයන්ත විසින්ය. 'මැතිවරණ කාලෙදි මාධ්‍යවල දැන්වීම් සඳහා මිල ගණන් වැඩි කරනවා. ඒක සාධාරණ නැහැ. අනෙක මැතිවරණ කාලෙදි විතරක් නෙවෙයි මාධ්‍ය සදාචාරය හැමදාම ආරක්ෂා විය යුතු දෙයක්' දයාසිරි කීවේ එවැනි කතාවකි. කෙසේ වෙතත් මෙයට කැබිනට් අනුමැතිය පළ නොවූ අතර එය පසු දිනෙක සලකා බැලීමට තීරණය කෙරිණි.

හම්බන්තොට වරාය හා ඉඩම් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගමට වසර 99කට බදු දීම සම්බන්ධයෙන්ද මෙහිදී ඇමැතිවරු විවිධ විරෝධතා එල්ල කරන්නට වූහ. 'මේ යෝජනා කරපු විධියට ගිවිසුම අස්සන් කළොත් මම තවදුරටත් ඇමැති තනතුරේ ඉන්නෙ නැහැ. ඉල්ලා අස්වෙනවා' එසේ තර්ජනය කළේ චම්පික රණවකයි 'නැහැ ඉල්ලා අස්වෙන්න අවශ්‍ය නැහැ කවුරුවත්. ජාතික ආරක්ෂාව ඇතුළු කරුණු ගැන හොයල නිර්දේශ කරන්නයි ඇමැති අනුකමිටුව පත් කළේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කමිටුවට කියන්න' ජනාධිපතිවරයා කීවේය. වරාය ගිවිසුම ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට පසුගිය සතියේ පත් කරන ලද කැබිනට් අනුකමිටුවේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා විමසීමක් කළ අතර ඊට සෑහීමකට පත් විය හැකි පිළිතුරක් ලැබුණේ නැත. ඊට පෙර සිකුරාදා චම්පික රණවක ඇමැතිවරයා කමිටුවෙන් ඉල්ලා අස්වීම පිළිබඳ එහිදී කියැවිණි.
'මේ ගිවිසුම සකස් කිරීමේ කටයුතු ඉක්මන් කරන්න. ගිවිසුම අස්සන් කරන්නට පෙර චීන සමාගම සමඟ සාකච්ඡා කිරීමට මට අවශ්‍යයි.' එහිදී ජනාධිපතිවරයා කීවේය. අගමැති රනිල් වික්‍රමසිංහ වරාය ගිවිසුම සම්බන්ධ කරුණු ඇතුළු කැබිනට් තොරතුරු පිටතට යෑම පිළිබඳ ‍ෙදාස් කියන්නට වූයේය. 'මේකෙ සම්පූර්ණ තොරතුරු පිටවෙනවා. ගියපාර මුතුහෙට්ටිගම ඇවිල්ල තවත් තොරතුරු පිටකරලා. මෙතැන නිරීක්ෂණ පිටතට දීපුව අරගෙන විපක්ෂය උසාවි ගිහින්. අර්ජුන ඔයා මේ ගැන මුතුහෙට්ටිගම සම්බන්ධ පරීක්ෂණයක් කරන්න' අගමැතිවරයා කීවේය.

බ්‍රසීලයෙන් ආනයනය කරන සීනිවල තිබී මත් කුඩු හමුවීම නිසා එරටින් සීනි ආනයනය කිරීම නතර කරන බව මීට පෙර රජය ප්‍රකාශ කොට තිබිණි. මේ හේතුව නිසා බ්‍රසීලයෙන් ගෙන්වන ලද සීනි කන්ටේනර් 15ක් වරායේ රඳවා තිබිණි. සති ගණනක් තිස්සේ එසේ රඳවා තිබීම නිසා ඒවා නිදහස් කර ගැනීමට රුපියල් මිලියන දහසක ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට ආනයනකරුවන්ට නියම වී තිබිණි. එම ප්‍රමාද ගාස්තු නිදහස් කර සීනි කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවකටද මෙහිදී අනුමැතිය පළ විය.

කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් පසුව ඇමැතිවරුන් කිහිප දෙනකු ඒ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කළේ ප්‍රමාද ගාස්තු නිදහස් කිරීම මඟින් කොමිස් ජාවාරමක් සිදුවිය හැකි බවටය. එය අවධානයට ගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රමාද ගාස්තු අය නොකොට සීනි කන්ටේනර් නිදහස් කිරීම නතර කිරීමට නියෝග කෙළේ 'ඒවා නිදහස් කර නොගත්තොත් රාජසන්තක වෙන්න දෙන්න' යැයි සඳහන් කරමින්ය.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ගැනුණු අතර පාඨලී සහ එස්. බී. ප්‍රතිමල්ලවයන් ලෙස වාග් ප්‍රහාර එල්ල කරගනු ලැබූහ. "මේක ආරම්භයේදී කළ වරදක්. දැන් ඒකෙ පව් මේ ආණ්ඩුවට ගෙවන්න වෙලා" චම්පික කීවේය. "ඒ කාලේ ඔයත් ආණ්ඩුවේ හිටියා. මේකට අනුමැතිය අරගෙනයි ආරම්භ කළේ. ඒ කාලෙ විරුද්ධ නොවී අද විරුද්ධ වෙලා වීරයෝ වෙන්න හදනවා" එස්. බී. චෝදනා කළේය.

තංගල්ලේ සිටි මහින්ද ඉරිදා රාත්‍රියේම කොළඹ ගියේ සඳුදා උදෑසන හදිස්සියේම ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ සාකච්ඡාව යොදා ගැනීම නිසාය. විජේරාම මාවතේ මහින්දගේ නිල නිවෙසේ පැවැති එහි ප්‍රධාන අරමුණ වී තිබුණේ ඒ වන විටත් උපවාසයක නිරතව සිටි විමල් වීරවංශ සම්බන්ධයෙනි.
'මට නම් ඉදිරි පියවරක් හිතාගන්න බෑ. පක්ෂ නායකයෝ කිව්වා. මම කිව්වා. පවුලේ අය කිව්වා. ඒත් උපවාසය නවත්වන්නෙ නෑ'. මහින්ද කීවේය, මම දන්න තරමින් නම් විමල් කවුරුවත් කියන දෙයක් අහන්නෙ නෑ වගේ'. උදය මහින්දගේ කතාවට ප්‍රතිචාර දැක්වූයේ එලෙසින්ය. ඒ අතර 'අපි ඒකාබද්ධ විපක්ෂය විදියට ජනාධිපතිතුමයි, අගමැතිතුමයි හමුවෙලා විමල්ට සිදු වෙච්ච අසාධාරණය කියමු' යි යෝජනා කළේ දිනේෂ්ය. 'මම මේ වෙලාවේ විමල් වෙනුවෙන් ජනාධිපති වුණත් හමුවෙන්න සූදානම්. 88/89 භීෂණ කාලෙ මම තරුණයන් වෙනුවෙන් ජනාධිපති ප්‍රේමදාසත් හමු වුණා' මහින්ද කීවේය. එහෙත් විමල් වෙනුවෙන් ජනපති, අගමැති සහ කතානායක හමුවීමට යෑමට භාර කෙරුණේ දිනේෂ් ඇතුළු කණ්ඩායමකටය.

'මට අද උදේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ යෝජනා කළා මහා සංඝරත්නය විදියට උන්වහන්සේ වැඩම කරලා උපවාසය නතර කරන්න කියලා ඉල්ලීමක් කරන්න. මොකද ඒ ගැන හිතන්නෙ? මහින්ද විමසීමක් කළේය. 'ඒකට විමල්ට පිටුපාන්න බැරි වේවි' දිනේෂ් කියද්දී ලොකුගේ කීවේ 'හාමුදුරුවො ඊට සංවිධානය වන අතරෙ අපිත් පුළුවන් විදියට ඒකට දායක වෙමු' යනුවෙන්ය.

ඒ අනුව දිනේෂ්, උදය, බන්දුල, ලොකුගේ සහ ජයන්ත නායක ස්වාමින් වහන්සේ පිරිසකට කතා කිරීමට භාර ගත් අතර මල්වතු අනුනාහිමිගෙන් උදයද රාමඤ්ඤ නිකායේ අනුනාහිමිගෙන් ජයන්තද ලිඛිත ඉල්ලීම් ලබා ගැනීමට භාර ගත්හ. බන්ධනාගාර රෝහලට භික්ෂුන් වහන්සේට ඇතුළුවීමට ඇති දුෂ්කරතා හේතුවෙන් ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසු එම ඉල්ලීම කිරීමටද සැලසුම් කර ගනු ලැබූහ.

ඒ අනුව බ්‍රහස්පතින්දා පල්ලත්තර සුමනජෝති, මහාචාර්ය කොටපිටියේ රාහුල, නාගොඩ අමරවංශ, මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර, මාදුරුඔය ධම්මිස්සර, කිරම විමලජෝති, ආචාර්ය මැදගොඩ අභයතිස්ස, බළන්ගොඩ සෝභිත හා මුරුත්තෙට්ටුවේ ආනන්ද යන නායක හිමිවරු මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයට රැස්වී එතැන් සිට රෝහලට වැඩම කළහ. ජාතික රෝහලේදී බන්ධනාගාර නිලධාරීන් විමල් හමුවීමට භික්ෂුන් වහන්සේට මඟ ඇහිරුවද එම බාධක මැඬගෙන භික්ෂු පිරිස විමල් සමීපයට වැඩම කළහ. "ඔබතුමා මිය ගිහින් කළ හැකි දේට වඩා ජීවත් වෙලා කරන්න පුළුවන් දේ බොහෝයි. ඒ ගැන හිතලා මේ උපවාසය අත්හරින්න යැයි පල්ලත්තර නාහිමියන් ඉල්ලා සිටියදීත් විමල් නිහඬව සිටින විට විමලජෝති හිමි පැවැසුවේ. 'මවුබිමට අනතුරක් වෙනවා නම් ඊට එරෙහිව මැදිහත් වෙන්න මහා සංඝරත්නය සූදානම්. ඒ පිළිබඳ මහානායක හිමිවරු ලිඛිතව ප්‍රතිඥා දී තිබෙනවා' යනුවෙන්ය. අනතුරුව හඬ අවදි කළ විමල් ඔබ වහන්සේලා මේ සටන ඉදිරියට කරගෙන යෑමේ වගකීම භාර ගන්නවා නම් මම ඉල්ලීමට එකඟයි' යනුවෙන් පැවැසීය. ඒත් සමඟ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්¿ධායනා මධ්‍යයේ කිරි වීදුරුවක් පානය කළ විමල් දින 9ක උපවාසය අත් හැරියේය.

බ්‍රහස්පතින්දා අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයට පැමිණෙන තෙක් එහි පැමිණි මැති ඇමැතිවරු පිරිසක් බලාපොරොත්තුවෙන් සිටියහ. එලෙස පැමිණ සිටි ලක්ෂ්මන් කිරිඇල්ල "අපි නම් උදේ කෑම අරගෙනයි ආවෙ, සරුත් එහෙම වෙන්න ඇති" යැයි කීවේ අගමැතිවරයා කාර්යාලයට පැමිණෙද්දීය. වෙනදා තමන්ගෙන් එවැනි ප්‍රශ්න ඇමැතිවරුන් නොඇසූ බව දන්නා අගමැතිවරයා "මොකද අද අමුතු ප්‍රශ්නයක් ඇහුවේ?" යැයි විමසුවේය. "සර් විමල් ගැන ආරංචි මොනවාද?" යි යළිත් කිරිඇල්ල අගමැතිවරයාට ප්‍රශ්නයක් යොමු කළේය. "විමල් උපවාස කළේ ආණ්ඩුවටවත් අපි කාටවත් විරුද්ධව නෙවෙයි. උසාවියෙන් ඇප නොදීමට විරුද්ධවයි. මේ කරුණ සම්බන්ධව හිටපු ජනාධිපතිතුමා මට කතා කළා. දිනේෂ් ඇතුළු පිරිසක් ඇවිත් මා හමු වුණා. අපට කළ හැකි දේ මා ඔවුන්ට දැනුම් දුන්නා. විමල්ගෙන් පළිගන්න කාටවත් වුවමනාවක් නැති බව ඒ පක්ෂයේම සමහරුන් තේරුම් ගෙන සිටින බව ඒ අය හමුවී කියන දේවල්වලින් තේරුම් ගියා" අගමැතිවරයා දීර්ඝ ලෙස කියා සිටියේය.

"සරත් වීරසේකර මහ ලොකු රණවිරුවකු ලෙස මානව හිමිකම් කමිටුවේ කරුණු දක්වලා තියෙන්නේ කොටි ඩයස්පෝරාවෙ කාලය අරගෙන" දයා ගමගේ කීවේය. "ඔය අයගේ එකතු වීම අලුත් දෙයක් නෙවෙයි. මා ඕස්ට්‍රේලියාවට ගිය වෙලාවේ කොටි ඩයස්පෝරාවෙ අය උද්ඝෝෂණ කළා. ඕස්ට්‍රේලියාවේ වගේම ජිනීවාවලත් කොටි ඩයස්පෝරාවයි, රාජපක්ෂ කල්ලියයි එකතු වුණා. මේ කණ්ඩායම් දෙකෙහිම උපක්‍රම වෙනස් වුණාට අරමුණු එකයි" අගමැතිවරයා දුන්නේ එවැනි පිළිතුරකි. "තමන් එකතු කළ දේපළ යහපාලන රජය විකුණගෙන කනවා කියලා මහින්ද රාජපක්ෂ කියනවා" හැරිසන් තවත් කතාවක් සාකච්ඡාවට යොමු කළේය. ඒ කතාවට රන්ජන් ඇතුළු පිරිසක් විවිධ අදහස් ඉදිරිපත් කළහ. ඒ සියල්ල අසා සිටි අගමැතිවරයා "පොදු ව්‍යවසායක් ලෙස හම්බන්තොට වරාය පවත්වාගෙන යන්න සියලු දෙනා එකඟයි. මුල් වසර 10ට පසුව සියයට හතළිහක හිමිකමකට යෑමට වුණත් අපට අවස්ථාව හිමියි. රාජපක්ෂලා ගත් ණය ප්‍රමාණයන් දරාගෙන අපට යන්න පුළුවන්. උපරිම ප්‍රමාණය එච්චරයි" අගමැතිවරයා කීවේය.

"මේ පාරත් ලොකුම මැයි දිනය අපි කරනවා" යැයි කීවේ වජිරයි. "එදාට මං විශේෂ පණිවුඩයකුත් දෙනවා. ඒ වගේම පක්ෂයේ ශක්තියත් පෙන්වනවා" අගමැති කීවේය. "පක්ෂ ප්‍රතිසංවිධාන ගැනත් නොයෙකුත් කතා පැතිරෙනවා. ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවාදැයි විමසුවේ කවින්ද ජයවර්ධනයි. "වැඩිම වුණොත් අපි ඔක්කොටම පක්ෂයේ දේශපාලන කටයුතු කරන්න තිබෙන්නේ ඊළඟ මහ ඡන්දය වනතුරු පමණයි. අලුත් පරම්පරාව එතැන් සිට පක්ෂයේ වගකීම භාර ගන්න ඕන" අගමැතිවරයා ඊට දුන් පිළිතුර එයයි. "මැයි දිනයෙන් පස්සේ පක්ෂයේ වෙනස්කම් රැසක් සිදු වෙනවා. ඒක හරියට පක්ෂ අභ්‍යන්තරයේ වන විප්ලවයකට සමාන වේවි. වමේ පක්ෂ විතරක් නෙවෙයි එජාපයත් ඕන වෙලාවට අවශ්‍ය විප්ලවය කරන්න පසුබට වෙන්නේ නැහැ" අගමැතිවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය සෙනසුරාදා (25දා) උදෑසන හොරණ බලා ගියේ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායකගේ තෙමස් පූර්ණ පින්කමට සහභාගි වීමටය. විද්‍යාරත්න මාවතේ පිහිටි නිවෙසේදී මහින්ද පිළිගනු ලැබුවේ විදුර වික්‍රමනායක විසින්ය.

නිවෙසට ඇතුළුවන ප්‍රධාන ‍ෙදාරටුව අසල රත්නසිරි වික්‍රමනායකගේ කුඩා අවධියේ පටන් වූ ඡායාරූප පෙළක් පිළිවෙළට තබා තිබුණේය. ඒ විදුරගේ අදහසක් අනුවය. නිවෙසට ඇතුළු වීමට ගිය මහින්ද දීර්ඝ වේලාවක් ගත කරමින් ඒ සියල්ල එකින් එක නරඹන්නට වූයේ අතීත කතා රැසක්ම සිහිපත් කරමින්ය.
'රත්නසිරිට ඒ කාලේ කියල තියෙන්නේ පුංචි බණ්ඩාරනායක කියල නේද'යි මහින්ද විදුරගෙන් විමසුවේ රත්නසිරිගේ තරුණ කාලයේ ඡායාරූපයක් පෙන්වමිනි. කෙට්ටු සිරුරකින් යුතු තරුණ රත්නසිරි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක පන්නයේ සාටකයක් පැලඳගෙන දේශපාලන ජන රැලියක් අමතන අයුරුද එම ඡායාරූපයේ සටහන්ව තිබිණි. 'ඔව් සර්, ඒ පුරුද්දට අපේ ගම්වල පරණ උදවිය තාමත් තාත්තාට කියන්නේ පුංචි බණ්ඩාරනායක කියලා. පෙනුම වගේම කටත් සැරයිනේ' විදුර කීවේ සිනාසෙමින්ය. 'අපෝ ඔව්' මහින්දද සිනාවකින් පිළිතුරු දුන්නේය. රත්නසිරි වික්‍රමනායකගේ නිවෙසින් පිටත් වූ මහින්ද හබරාදුව බලා පිටත්ව ගියේ එහි පැවැති පෙරැළියක 'ඇරැඹුම' ජනහමුවට සහභාගි වීම සඳහාය.

කතානායක කරු ජයසූරිය ගෙවී ගිය මාස කිහිපය තුළ තෙවැනි වරටත් සම්මානයට පාත්‍ර විය. මෙවර ඔහුට ගෞරව සම්මාන පිරිනැමුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායයි. රාමඤ්ඤ නිකායේ මහා නායක නාපාන පේමසිරි නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් කතානායක කරු ජයසූරියට පිරිනැමූ එම සම්මානය නම් කොට තිබුණේ "විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන" යනුවෙන්ය. එම සම්මානය තුන් කල් බලා ප්‍රදානය කළ බව එහිදී භික්ෂුන් වහන්සේගේ අනුශාසනාවලින් කියැවිණි" කොච්චර වැඩ කළත් මමත් බිරියත් නිතරම කල්පනා කළා හැන්දෑවට ගෙදර ඇවිත් අපේ දියණියන් දෙදෙනා දෙපැත්තේ තියාගෙන මේ රටේ දේපළ අවභාවිත නොකළ තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් හැටියට පිරිසුදු හිතින් නිදාගන්න පුළුවන් වෙන්න කියලා. ඒ නිසා එදා වගේම අදත් අපට සුවසේ නිදාගන්න පුළුවන්" ආදී වශයෙන් එහිදී කතානායකවරයා කළ කතාව ඉතා සංවේදී වූවක් විය. නාරාහේන්පිට පිහිටි රාමඤ්ඤ නිකායේ මූලස්ථානයේදී පැවැති එම අභිමානවත් උපහාර උත්සවයට මහා සංඝරත්නය, මැති ඇමැතිවරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

නවදිල්ලියේදී පැවැති "2017 ගෝලීය ව්‍යාපාර සමුළුව" සඳහා නිවාස ඇමැති සජිත් සහභාගි වූයේ සඳුදාය.
"බෙංගාල බොක්ක අවට රටවල ආර්ථික හා සහයෝගිතා සංවිධානය" හෙවත් "බිම්ස්ටෙක්" සංවිධානයට අයත් බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල නියෝජිතයන්ගේ විශේෂ සාකච්ඡා වාරය පැවැත්වුණේ අඟහරුවාදා පස්වරුවේදීය. බිම්ස්ටෙක් කලාපයේ රටවල පුරවැසියන් බලගැන්වීම, දුප්පත්කම පිටුදැකීම මෙන්ම කාන්තාවන් සහ යෞවනයන් සවිබල ගැන්වීම ගැන එහිදී විශේෂ අවධානය යොමු කළ සජිත් කීවේ "මේ සංවිධානය කතා සාප්පුවක් නොවී දුප්පත්කම පිටුදැකීමටත් තරුණ විරැකියාව දුරු කිරීමටත් ජන සමාජය තුළ සම්පත් සාධාරණව බෙදී යන ක්‍රමවේදයන් සැකසීමටත් ක්‍රියාත්මක විය යුතුයි" කියාය. බිම්ස්ටෙක් කලාපීය රටවල් වෙනුවෙන් විශේෂිත සංවර්ධන අරමුදලක් ස්ථාපනය කිරීමටද සජිත් යෝජනා කළේය. එමඟින් සමාජ සාධාරණය ඉටුවන හා ජනතාවගේ ආදායම් මාර්ග වැඩිදියුණු වන නව වැඩපිළිවෙළක් වෙත යොමුවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. මෙම සැසිවාරය මෙහෙයවන ලද්දේ "බිම්ස්ටෙක්" සංවිධානයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා විදේශ සේවාවේ පළපුරුදු නිලධාරියකු වන සුමිත් නාකන්දලය.

ද්‍රවිඩ ජාතික සන්ධාන නායක හා විපක්ෂ නායක ආර්. සම්බන්දන් ඇතුළු පිරිසක් පසුගිය සඳුදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවූහ. උතුරේ ජනතාවගේ ඉඩම් රජයේ ආරක්ෂක හමුදාව අත්කරගෙන සිටින බවත් ඒවා නිදහස් කර දෙන ලෙසත් ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. විශේෂයෙන්ම ඔවුන්ගේ අවධානය යොමු වූයේ මුලතිව් ඉඩම් සම්බන්ධයෙනි. මුලතිව් ගුවන් හමුදා කඳවුර සිවිල් වැසියන්ගේ ඉඩම්වල ස්ථාපිත කර ඇති බවත් ඒවා නිදහස් කර දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ. ගුවන් හමුදා කඳවුර අලුතින් ස්ථාපිත කිරීමට ඉඩම් සොයා ගත් පසුව එම ජනතාවගේ ඉඩම් නිදහස් කරන බව එහිදී ජනාධිපතිවරයා පොරොන්දු වී ඇත.

ජවිපෙ නායක අනුර කුමාර "එතෙර අපි" සංවිධානයෙන් ලද ආරාධනාවකට අනුව බ්‍රහස්පතින්දා කුවේටය බලා පිටත්ව ගියේය. එතෙර අපි සංවිධානය විසින් සමුළු මාලාවක් මේ දිනවල මැදපෙරදිග හා යුරෝපා රටවල් කිහිපයකදී සංවිධානය කොට තිබේ. විදේශගත ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඡන්ද අයිතිය ලබා ගැනීම, විශ්‍රාම වැටුප් අයිතිය දිනා ගැනීම, විදෙස් ශ්‍රමිකයන්ගේ දරුවන්ට රජයේ පාසලක් ලබා ගැනීම, පෞද්ගලිකව පරිහරණය කරන ලද වාහන තීරුබදු රහිතව ශ්‍රී ලංකාවට රැගෙන ඒම, අවම වැටුප් පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් ලබා ගැනීම ඇතුළු අයිතීන් රැසක් වෙනුවෙන් එම සමුළු මාලාව පැවැත්වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට එම පක්ෂය මේ දිනවල අවධානය යොමු කොට ඇත. ලබන අඟහරුවාදා පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී පක්ෂයේ තනතුරුවල වෙනසක් සිදු කිරීමට එම පක්ෂය අපේක්ෂා කරයි. ඒ අනුව දැනට තිබෙන නියෝජ්‍ය නායක තනතුරට අමතරව තවත් නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ඇති කොට එකක් රන්ජිත් මද්දුමබණ්ඩාරටද, අනෙක සුළු ජාතික නියෝජනයකට දීමටද පක්ෂ නායකත්වයේ අවධානය යොමු වී ඇත. එමෙන්ම එජාප මහ ලේකම් ධුරය සඳහා අකිල විරාජ් කාරියවසම් පත් කිරීමටද නියෝජ්‍ය මහ ලේකම් ධුරයට සුජීව සේනසිංහ පත් කිරීමටද කටයුතු කරමින් ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. එහෙත් මහ ලේකම් ධුරය තවත් මාස කිහිපයක් වත්මන් මහ ලේකම් කබීර් හෂීම් හොබවනු ඇති බවත් කියැවේ. මීට අමතරව එජාප සාමාජිකයන්ගේ ගැටලු පිළිබඳ මැදිහත්වීමට 'දුක්ගන්නාරාල' තනතුරක් සඳහා වූ යෝජනාවක් ගෙන ඒමට හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා සූදානමින් සිටියි.

ශ්‍රී ලමු කො. උත්තරීතර මණ්ඩලයේ රැස්වීමක් බදාදා දරුස්සලාම්හි පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි. එහිදී පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ බසිර් සේගුදාවුද් ඉවත් කොට ඒ වෙනුවට ඒ. එල්. අබ්දුල් මජිද් පත් කර ගැනිණි.

හිටපු මහ ලේකම් හසන් අලි සමඟ සම්බන්ධතා පැවැත්වීමට සේගුදාවුද් ඉවත් කිරීමට හේතුවයි. එමෙන්ම උප නායකයා ලෙස රවුතර් නයිනා පත් කර ගනු ලැබීය. පක්ෂ නායක හකීම්ට ඔහු පක්ෂපාතී ලෙස ක්‍රියා කිරීම ඊට හේතුවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon