සා.පෙළ. අසමත්වීම හා ජීවිතය ජය ගැනීම

  👤  4338 readers have read this article !
2017-04-03

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූයේ ඉකුත් සතියේය. මෙවර විභාගයේ ප්‍රතිඵල අනුව "ඒ" නවයේ විශිෂ්ටයෝ 8224කි. විභාග කොමසාරිස්වරයාට අනුව එය ඉතිහාසයේ විෂයයන් නවයටම "ඒ" සාමාර්ථය ලැබූ වැඩිම සංඛ්‍යාවය. ඉකුත් වසරේ විෂයයන් නවයටම "ඒ" සාමාර්ථ 6102ක් වාර්තා වී ඇති අතර ඊට සාපේක්ෂව මෙවර එය 2122ක ඉහළ යෑමක් බව කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබිණි.

එහෙත් මෙවර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලයට අනුව විභාගයට පෙනී සිටි සංඛ්‍යාවෙන් 30%කට වැඩි සංඛ්‍යාවක් විභාගයෙන් අසමත්ව සිටිති. ගණිතය විෂයය අසමත් වීමෙන් හා උසස් පෙළට වාණිජ විෂය ධාරාව හැදෑරීමට ගණිතයට සම්මාන සාමාර්ථයක් නොමැතිවීමෙන් සිත්තැවුලට පත් සිසුවකු හා සිසුවියක් දිවි නසා ගත්හ. තවත් සිසුවියන් තිදෙනකු ගණිතය අසමත් වීම නිසා කලකිරී
ඔෟෂධ අධික මාත්‍රාවෙන් ගැනීමෙන් රෝහල්ගත කර තිබිණි. විභාග අසමත් වීම නිසා සෑම වසරකම එක් සිසුවකු හෝ මෙලෙස දිවි නසා ගැනීම සිදුවේ.
වැදගත්ම කාරණය වන්නේ එවැනි අවාසනාවන්ත තත්ත්වයකට එක සිසු ජීවිතයක් හෝ ගොදුරු නොවන තැනට වැඩිහිටියන් වගබලා ගැනීමය. මෙහිදී මවුපියන්ට විශාල වගකීමක් පැවරේ. "විභාග" යනු ජීවිතය නොවන බව දරුවන්ට අවබෝධ කර දිය යුත්තේ මවුපියන් ඇතුළු වැඩිහිටියන්ය. අවාසනාව වන්නේ ඇතැම් මවුපියන් "විභාග" යනු ජීවිතය ලෙස ගැනීමයි.

පින්ලන්තය වැනි ලෝකයේ දියුණු රටවල දරුවන්ගේ කුසලතා ඇගයීම සඳහා විභාග පැවැත්වීම වෙනුවට වෙනත් විකල්ප ක්‍රම භාවිත කරයි. එවැනි තලයකට යෑමට අප වැනි රටකට තව කාලයක් ගත වනු ඇත. අඩුම ගණනේ මේ අනවශ්‍ය විභාග තරගයෙන් හා අසීරු විභාග ඉලක්කවලින් සිසු පරපුර බේරා ගත යුතුය.
මවුබස, ගණිතය ඇතුළු විෂයන් තුනක් සඳහා සම්මාන සහිතව විෂයන් හයක් සමත් නම් සියලු දෙනාට උසස් පෙළ හැදෑරිය හැකිය. අසමත් නම්, යළි අවශ්‍ය නම්, දෙවරක් විභාගයට පෙනී සිටීමට ඉඩකඩ ඇත. ඒ නිසා කිසිවකු අධෛර්යයට පත්ව අධ්‍යාපනය අතහැර දැමිය යුතු නැති අතර කලකිරීමට පත්ව දිවි තොරකර ගත යුතුද නැත. අනෙක මේ වනවිට රජය තීරණය කර ඇත්තේ වසර 13ක් සියලු දෙනා අනිවාර්යයෙන් අධ්‍යාපනය හැදෑරිය යුතු බවය. ඒ අනුව ගණිතය විෂය අසමත් වූ පමණින් පාසල හැර දමා යෑමට අවශ්‍ය නොවේ. අනෙක වෘත්තීය පුහුණු පාඨමාලා රැසක් ආයතන කිහිපයක් විසින් හඳුන්වාදී තිබේ. අවශ්‍ය නම් වෘත්තීය පුහුණුව සඳහා යොමුවිය හැකිය.

යක්කඩුවේ ප්‍රඥාරාම, මාර්ටින් වික්‍රමසිංහ, කුමාරතුංග මුනිදාස, ජී. බී. සේනානායක වැනි සාහිත්‍යධරයන්, ප්‍රාඥයන් කිසිවකු උපාධිධාරීහු නොවෙති. ඇතැමුන් සාමාන්‍ය පෙළ විභාගයට හෝ වාඩි වී නැත. ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක, ලෝකයේ ප්‍රථම අගමැතිනි සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක වැඩිදුර අධ්‍යාපනය ලැබුවෝ නොවෙති. ලෝකයේ ප්‍රකට පුද්ගලයන් බොහෝ දෙනා සාම්ප්‍රදායික අධ්‍යාපනය ලබා ගෙන නැත. ලෝකයේ ඉහළම ධනවතුන් අතර 23 වැනියා ලෙස සැලකෙන චීනයේ ජැක් මා දෙවරක්ම විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයෙන් අසමත් වූවෙකි. මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් වයස අවුරුදු 7ක් වනතුරු අධ්‍යාපනය අතින් දුර්වල දරුවකු වී ඇත. තෝමස් අල්වා එඩිසන්, ස්ටීවන් ස්පීල්බර්ග්ද අධ්‍යාපනය අතින් දුර්වලයෝ වූහ.

අතීතයේ මෙන් නොව උසස් පෙළ විෂය ධාරා කිහිපයක්ම හඳුන්වා දී ඇත. ඒ නිසා තම තමන්ගේ දක්ෂතාව අනුව සුදුසු
විෂය ධාරාවක් තෝරා ගැනීමේ අවස්ථාව සිසු දරුවන්ට ඇත. ගණිතයට සම්මාන නොලැබීම හෝ ගණිතය අසමත් වීම අද විශාල ගැටලුවක් නොවේ. ඊට යම් විකල්ප ලබා දී ඇත. එහෙත් ප්‍රශ්නය වන්නේ තත්ත්වය දැනගෙන සිටියද ලෝකය ගැන මෙලෝ හසරක් නොදන්නා දරුවන් තවමත් "විභාගය" ජීවිතය ලෙස සැලකීමයි. ඊට මවුපියන් බරපතළ ලෙස වගකිව යුතුය.

මේ සියලු විනාශයන්ට අවසාන වශයෙන්් වගකිව යුත්තේ නිදහසින් පසු රට භාරගත් පාලක පන්තියයි. ඔවුන් කන්නන්ගරයන්ගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය පෙරට රැගෙන යෑම වෙනුවට එය විකෘති කර ඇත. ආර්ථික අර්බුදයකට රට ඇද දමා ජනතාව ජීවත් වීමේ නොනිමි තරගයකට යොමු කර තිබේ. ඊට ගොදුරු වී ඇත්තේ අනාගත අහිංසක සිසු දරු පරපුරය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon