වස විස නැති ආහාර ඇති තිරසර රටක්

  👤  4672 readers have read this article !
2017-04-05

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති "තිරසර ලංකා" ජාතික ප්‍රදර්ශනය ඉකුත් සඳුදා අවසන් විය. දින හතක් පුරා පැවැති මේ ප්‍රදර්ශනය හරිත රැකියා, වස විස නැති ආහාර, ආයුර්වේද සායන, බෝග වගාව, කාබනික පොහොර ඇතුළු අංග රාශියකින් සමන්විත විය. ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් නොමිලේ පැවැත් වූ මේ ප්‍රදර්ශනය හරිතවත් දිවි පැවැත්මක් සඳහා ජනතාවට අවබෝධයක් හා මඟපෙන්වීමක් කළ බව නොකිවමනාය.
1948 ඉංගී්‍රසීන්ගෙන් නිදහස් වූයේ, යටත් විජිතයක් වීමට පෙර තිබූ රට නොව අනෙකකි. ඒකීය රාජ්‍යයක් යටතේ රට තුළ විශාල පරිවර්තනයක් කිරීමට ඉංගී්‍රසීන්ට හැකිවී තිබිණි. නගර කේන්ද්‍ර කර ගත් ආර්ථික ක්‍රමයක්, රටම ජාලගත කළ මාර්ග පද්ධතියක්, දිස්ත්‍රික් හා පළාත් මත පදනම් වූ පරිපාලන ව්‍යුහයක් මෙන්ම ධනවාදී ආර්ථිකයක් රට තුළ ස්ථාපිත කිරීමට ඉංගී්‍රසීහු කටයුතු කර තිබුණහ.

රජයේ රැකියා සැලකිය යුතු පිරිසකගේ ආදායම් මාර්ගය වූ අතර පෞද්ගලික අංශයේ ව්‍යාපාරවල විශාල පිරිසක් නිරත වූහ. 1977 ආර්ථිකය විවෘත කිරීමෙන් එතෙක් පැවැති සමාජයද උඩුයටිකුරු වී ගියේය. කුඩා බිම් කඩක නිවෙස් තනාගත් නාගරිකයෝ වැඩිවන්නට වූහ. ඉන් බොහෝ දෙනා ගමෙන් නගරයට සංක්‍රමණය වූවන් විය.
60 දශකයේ ඇරැඹි ඊනියා හරිත විප්ලවය හේතුවෙන් කෘෂි වගාවට තාක්‍ෂණය වේගයෙන් මුසු විය. ට්‍රැක්ටරය කුඹුරට පැමිණි අතර රසායනික පොහොර ගොවිතැනට නැතිවම බැරි සාධකයක් බවට පත්වූවේය. වෙළෙඳපොළ ආර්ථිකයක වැඩි අස්වැන්නක් ලැබීමට රසායනික පොහොර ඇතුළු නව තාක්‍ෂණය භාවිතය අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත් ඒ හරහා ඉතා විශාල අවදානමකට මුහුණදීමට වර්තමාන සමාජයට සිදුවී ඇත. රජරට ඇතුළු පළාත් කිහිපයක් ගොදුරු කරගත් මාරාන්තික වකුගඩු රෝගය එහි අනිවාර්ය ප්‍රතිඵලයකි. කෘත්‍රිම ආහාර පරිභෝජනය වස විස සිරුරට ඇතුළු වීමේ ප්‍රධාන මාර්ගයක් වී ඇත. රස මුසු වූවද මේ භෝජනවල වස විස මිශ්‍ර වී තිබේ. ළමා පරපුර පවා දියවැඩියාව, අධික තරබාරුකම, ඇස් පෙනීම දුර්වල වීම ආදී රෝගවලට වැඩි වැඩියෙන් ගොදුරු වී අවසානය.

සොබාදහම ඇසුරු කරන කාබනික ගොවිතැන ගැන යළි අවධානය යොමු වී ඇත්තේ මේ විපාක සමාජයට දැනෙමින් පවතින නිසාය.
ස්වාභාවිකව සැකසූ ආහාරපාන පරිභෝජනයට වැඩි නැඹුරුවක් සමාජයේ ඇති වී තිබේ. ප්‍රශ්නය වන්නේ එවැනි ආහාර පාන වල මිල වෙළෙඳපොළ ආර්ථිකය හමුවේ සාමාන්‍ය පරිභෝගික ජනතාවට දරාගත නොහැකි වීමය. "හරිත" ජීවිතයද ඉතා මිල වී තිබේ. එහෙත් වස විස නැති ආහාර සංස්කෘතියකට ජනතාව හුරු කිරීම අතිශයින් වැදගත්ය. "තිරසර ලංකා" වැනි ප්‍රදර්ශන ඊට මහෝපකාරී වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon