සසුන ආලෝකවත් කළ ඤාණිස්සර නාහිමි සඳ

  👤  3836 readers have read this article !
2017-04-06

1916 වසර උදාවීමට හරියටම දිනයක් ඉතිරිව තිබියදී උෟවේ දවුල්දෙනදී මෙලොව එළිය දුටු පුත් රුවනට මවුපියෝ ආලෝක මුදියන්සේලාගේ සිරිබද්දන යන නම තැබූහ. මේ පුත් රුවන සසුනඹර ආලෝකවත් කරන පැවිදි මිණි පහනක් වේ යැයි කිසිවකු එදින නොසිතන්නට ඇත.

අවුරුදු 102ක් ආයු වළ¼දා ඉකුත් සඳුදා අපවත් වූ අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක දවුල්දෙන ඤාණිස්සර නාහිමි බහුශ්‍රැතයන්, ධර්මධරයන් විරල යුගයක සසුන පොබකළ පැවිදි රුවනකි. උන්වහන්සේ ත්‍රිපිටක වාගීශ්වරය; අග්ගමහා පණ්ඩිතය; ෂඩ්භාෂා පරමේශ්වරය; දෛවිභාෂා විශාරදය. සංස්කෘත චක්‍රවර්තීය; ග්‍රන්ථ විශාරදය. ශාස්ත්‍ර සූරීය. නාහිමියන්ට අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහ නායක පදවිය 2002 වසරේදී පිරිනැමිණි.
දවුල්දෙන ඤාණිස්සර ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශාසනික සේවය අප්‍රමාණය. භාෂා-සාහිත්‍ය උන්නතිය උදෙසාද උන්වහන්සේ සිදුකර ඇත්තේ සුවිශාල මෙහෙවරකි. නාහිමියන්ගේ සමාජයීය සේවයද විශිෂ්ටය. වැදගත්ම කාරණය වන්නේ බෞද්ධ භික්ෂුවකගේ භූමිකාව මැනවින් අවබෝධ කර ගනිමින් මේ සියලු දේ වෙනුවෙන් කැපවීමෙන් එහෙත් නිහඬව සිදු කිරීමය.

දවුල්දෙන ඤාණිස්සර නාහිමියන් විචිත්‍ර ධර්ම කථිකයෙකි. 'බෞද්ධ දර්ශනය' මැනවින් පහදාදීම උන්වහන්සේගේ දේශනා සම්ප්‍රදාය විය.
බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි දර්ශන මත පදනම් වූ ආගම්වලින් අපේක්ෂා කරන්නේ යහපත් මිනිසුන් තැනීම යැයි නාහිමියන් ලෝක බෞද්ධ මහා සම්මේලනයේදී කළ දේශනය ලෝක ආගමික නායකයන්ගේ පැසසුමට ලක් ඉමහත් විය. ත්‍රිපිටක වාශීශ්වර වූ උන්වහන්සේ ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කිරීමට මහත් දායකත්වයක් ලබා දුන්හ.

සියවසකටත් වැඩි කාලයක් ආයු වැළඳූ නාහිමියන් පින්වන්තයහ. ධුර හා තනතුරු රැසකින් පිදුම් ලැබූ නාහිමියන් අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක පදවියෙන් පිදුම් ලැබීම උන්වහන්සේ ලද ඉහළම ගෞරවය වන්නේය.
බුද්ධ පුත්‍රයකු ලෙස දවුල්දෙන ඤාණිස්සර නාහිමියන්ට සියවසක තම දිවිමඟේ සාක්ෂාත් කරගත යුතු අන් කිසිවක් ඉතිරිව නැත. 'අනිත්‍ය' නියාමය යථාර්ථයක් කරමින් රැස් කර ගත් සියල්ල අත හැර අද උන්වහන්සේ දැයෙන් සමුගෙන ගියද නාහිමියන්ගේ ශ්‍රී නාමය බොදුනුවන්ගේ සිත් සතන් තුළ නිරතුරුව රැඳෙනු ඇත.
දවුල්දෙන ඤාණිස්සර නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේට නිර්වාණාවබෝධය සාක්ෂාත් වේවා!

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon