නාවලපිටිය රියැදුරු මාරයා

  👤  2942 readers have read this article !
2017-04-07

දිවයින පුරා සිදුවන රිය අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. ඒ අතර සිදුවන මාරක අනතුරුවලද අඩුවක් නැත. ඉකුත් 5 වැනිදා නාවලපිටියේ, ගෝනවලපතනේදී මාරක රිය අනතුරක් සිදුවිය. ලංගම බස් රථයක් අඩි 300ක ප්‍රපාතයකට පෙරැළී යෑමෙන් මගීන් දෙදෙනකු මියගොස් හැටකට අධික තවත් මගීන් සංඛ්‍යාවක් තුවාල ලැබීය. ඒ අතර බරපතළ තත්ත්වයේ පසුවන මගීන්ද කිහිප දෙනෙකි.

වැදගත්ම කාරණය වන්නේ බස්රථයේ රියැදුරු අනතුර සිදුවන අවස්ථාවේ ජංගම දුරකතන ඇමතුමක නිරතව සිටි බවට මගීන් නඟන චෝදනාවය. මගීන් 60කට අධික සංඛ්‍යාවක් පටවාගත් බස් රථයක් නාවලපිටිය වැනි ප්‍රදේශයක දුෂ්කර මාර්ගයක ධාවනය කරද්දී රියැදුරා හැසිරී ඇත්තේ එපමණටම නොසැලකිල්ලෙන් නම් ඔහුට කිසිසේත් සමාව දිය නොහැකිය. මීට කලෙකට පෙර කුරුණෑගලදී සිදුවූ මෙවැනි මාරක අනතුරක් සම්බන්ධයෙන් ලංගම රියැදුරකුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ලබාදුන්නේ ඉකුත් මාසයේය. ඒ තීන්දුවට අනුව රියැදුරාට අවුරුදු 40කට අධික සිර දඬුවමක් විය. ඒ අනතුරට හේතුව අධික වේගයෙන් රිය පැදවීමය. නාවලපිටිය අනතුරට හේතුව ලෙස පෙනී යන්නේ රියැදුරාගේ නොසැලකිලිමත්කමය.

ජංගම දුරකතනවලට සවන් දෙමින් රිය පැදවීම තහනම්ය. එය දඬුවම් ලැබිය හැකි වරදකි. පොලිසිය පවසන ආකාරයට රියැදුරන් අතින් වැඩියෙන්ම උල්ලංඝනය වන්නේ ජංගම දුරකතන නීතියයි. ඒ අනුව ඉකුත් වසරේ සිදුව ඇති රිය අනතුරු අතරින් ජංගම දුරකතන බලමින්, පරිහරණය කරමින් රිය පැදවීම නිසා සිදුවූ අනතුරු සංඛ්‍යාව ඉහළය. බීමත්ව රිය පදවා සිදුවූ අනතුරු කාලයක් මුල්තැනක තිබිණි. එහෙත් දැන් තත්ත්වය මඳක් වෙනස්ය.

රියැදුරන් බීමත්ව සිටියද නොසිටියද ජංගම දුරකතන පාවිච්චි කළද? නොකළද අපරීක්‍ෂාකාරී රිය පැදවීම බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. නාවලපිටිය මාරක රිය අනතුරෙන් යළි යළිත් ඒ බව සනාථ වේ. සාමාන්‍යයෙන් අපරීක්‍ෂාකාරීව රිය පැදවීමේ චෝදනා එල්ල වන්නේ පෞද්ගලික මගී බස් රියැදුරන්ටය. එහෙත් නාවලපිටිය අනතුරට වගකිව යුතු රියැදුරා ලංගමයේ සේවකයෙකි. අද පෞද්ගලික - ලංගම කියා වෙනසක් නැත. රියැදුරන් කවුරුත් එකය. වැඩි දෙනා තුළ විනයක් නැත. මෙම අනතුරට සම්බන්ධ රියැදුරු සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වා ඔහුට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට ලංගම සභාපතිවරයා පියවර ගෙන ඇත. රජයේ ආයතනයක ප්‍රධානියකු ලෙස වහා ක්‍රියාත්මක වීම ගැන රමාල් සිරිවර්ධන මහතාට ස්තූතිවන්ත විය යුතුය. මගී බස් රථ රියැදුරන්, පාසල් වෑන් රථ රියැදුරන්, කුලී ත්‍රිරෝද රථ රියැදුරන් හා කුලී වෑන් රථ රියැදුරන් අතෙහි අත මගීන් පිළිබඳ වගකීමද තිබේ. විනාශ වෙන්නේ තමන්ගේ ජීවිතය පමණක් නොව, ඉන් අනුන්ගේ ජීවිත ද විනාශ වේ. සිය ජීවිතයට වඩා වැඩි වගකීමක් ඔවුන්ට මගී ජීවිතය ගැන තිබිය යුතුය. එහෙත් අද රියැදුරන් පළමුවෙන්ම අමතක කරන්නේ ඒ වගකීමය. මාර්ගයේ රිය ධාවනය වන ආකාරය සමාජයේ "විනය" පිරිහීමේ කැඩපතක් බඳුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon