හිපොක්‍රටිස්ලා හා ෂයිලොක්ලා

  👤  2989 readers have read this article !
2017-04-09

ජගත් සෞඛ්‍ය දිනය යෙදී තිබුණු ඉකුත් සිකුරාදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් දියත් කළේය. මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස රජයට බල කිරීම වර්ජනයේ අරමුණ විය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ රජයේ දන්ත වෛද්‍යවරුන් ඇතුළු ආයුර්වේද හා පශු වෛද්‍යවරු පැය 24ක් පුරා වැඩ වර්ජනයේ යෙදුණහ. ඊට සහාය පළකරමින් වෘත්තීය සමිති 66ක්, දේශපාලන පක්ෂ කිහිපයක් හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය එකතුව ඊයේ දහවලේ සයිටම් විරෝධී පා ගමනක් හා රැලියක් පවත්වනු ලැබීය.

මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම පිළිකා රෝහල ඇතුළුව ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තා වන පළාත් රෝහල්වල වෛද්‍යවරුන් වැඩ වර්ජනයට එක් නොවූ බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත. එහෙත් සයිටම් පිළිබඳ ආණ්ඩුව දක්වන ප්‍රතිචාර මත අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා තීරණයක් ගන්නා බවත් රෝගී ජීවිත සම්බන්ධ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවත් වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර තිබේ.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මීට පෙරද 'සයිටම්' වලට විරෝධය පළ කරමින් වැඩ වර්ජන දියත් කළ අතර ඉන් සිදුවූයේ රෝගී ජනතාව දුෂ්කරතාවට පත්වීම පමණි. වෛද්‍ය වැඩ වර්ජනය නීති විරෝධී බවට ප්‍රකාශ කරන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා 75 හැවිරිදි හෘද රෝගියකු කළ ඉල්ලීම කොළඹ දිසා විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණද මැයි 4 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට පෙත්සම්කරුගේ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා වෛද්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අධිකරණය නොතීසි හා සිතාසි නිකුත් කර ඇත.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් වෛද්‍ය උපාධිධාරිනියක් ලියාපදිංචි කරගන්නා ලෙස පසුගිය ජනවාරි 31 වැනිදා අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය අවලංගු කළ යුතු යැයි වෛද්‍ය සංගමය කියා සිටී. ඉහළ අධිකරණයක් විසින් නිකුත් කළ නියෝගයක් අවලංගු කිරීමට බල කරමින් වැඩ වර්ජනය කිරීමේ අයිතියක් වෘත්තීය සමිතියකට නැති බව නීතිඥ මතයයි. වැදගත්ම කාරණය එය නොවේ. රට පුරා දරුණු වයිරස් උණ වසංගතයක් පැතිරී ගොස් ඇත. ඩෙංගු රෝගයද දරුණු ලෙස හිස ඔසවා තිබේ. එවැනි තත්ත්වයන් උද්ගතව තිබියදී මෙලෙස වෛද්‍යවරුන් වැඩ වර්ජනය කිරීම කනගාටුදායකය. රෝගීන්ගේ ජීවිතවල වගකීම ආණ්ඩුවට පවරා අත පිසදා ගැනීමට වෛද්‍යවරුන්ට නොහැකිය. ජනතාවගේ බදු මුදල්වලින් අධ්‍යාපනය ලබා වෛද්‍යවරුන් බවට පත්වූවන් පිරිසක් මේ ආකාරයට කටයුතු කිරීම වරදකි. පෞද්ගලික රෝහල් හා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලට ගොස් ප්‍රතිකාර ගැනීමට මූල්‍ය ශක්තිය නැති රෝගීහු රජයේ රෝහල්වල වැඩ වර්ජනය නිසා අමාරුවේ වැටෙති. නිදහස් සෞඛ්‍ය යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ වරප්‍රසාදය මෙවැනි වැඩ වර්ජනවලින් ජනතාවගෙන් වෛද්‍යවරුන් උදුරා ගනී. අධික ගාස්තු අය කරමින් පෞද්ගලික රෝහල්වල හා පෞද්ගලික සායනවල රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නම් බොහෝ වෛද්‍යවරු නොපැකිළෙති.

ඊළාම් යුද සමයේ මහමඟ බෝම්බ පිපිරුණු අවස්ථාවල අනතුරට පත්වූවන්ට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් සිටියේය.
යුද්ධය පැවැති ප්‍රදේශවලට ගොස් වෛද්‍යවරුන් සේවය කළේය. ඇතැම් වෛද්‍යවරු යුද බිමටද ගියහ. කැමැත්තෙන්ම දුෂ්කර පළාත්වල සේවය කරන වෛද්‍යවරු ඕනෑ තරම් සිටිති. ගිලන් රථයක් නැති රෝහලක වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය රෝගියකු සිය මෝටර් රියෙන්ම රැගෙන යන වෛද්‍යවරුන් අතීතයේ සිටි අතර වර්තමානයේද සිටී. මේ හිපොක්‍රටිස්ලාගේ දරුවන් අතරින් ෂයිලොක්ලාද බිහිවී තිබේ.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කර ශිෂ්‍යයන් බඳවාගෙන ඔවුන්ගේ පාඨමාලා කාලය අවසන් කර දැනට අවුරුදු කිහිපයක් ගතවී ඇත. එහෙත් මෙවැනි 'සයිටම්' විරෝධයන් රට තුළ පැනනැඟුණේ නැත.

වෛද්‍ය සංගමය 'සයිටම්' වසන්නැයි වැඩ වර්ජනය කළේ නැත. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විරෝධතා පා ගමන් ගියේද නැත. අතැම් විට ඒ සුදු වෑන් රියකින් කනත්ත බලා යෑමට තිබූ අකැමැත්ත නිසා විය යුතුය. රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන කරන 'වර්ජන' වෛද්‍ය සංගමයට මතක් වී ඇත්තේ ගස සිටුවා මල් පිපී ගෙඩි හටගෙන ඉදී වැටෙන විටය. ජගත් සෞඛ්‍ය දිනයේ වැඩ වර්ජනය කරන වෛද්‍ය සංගමයේ මහත්වරුන් මෙන්ම 'සයිටම්' ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් නොදී කල් වරන ආණ්ඩුවද එක් කාරණයක් පැහැදිලිව තේරුම් ගත යුතුය.

මේ සෙල්ලම සබුද්ධික ජනතාවට එපා වන දවසක් පැමිණෙන බවය. එදාට කාගෙ කාගෙත් රෙදි ගැලවීමට ජනතාව දෙවරක් නොසිතනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon