බලධරයනි; මේ ගැනත් සොයා බලන්න

  👤  2342 readers have read this article !
2017-04-10

අලුත් අවුරුද්ද උදාවන්නට ඇත්තේ තව දින කිහිපයක් පමණි. මේ උත්සව සමයේ පාරිභෝගික ජනතාවට අඩු මිලට හිඟයක් නොමැතිව බඩු මිලදී ගැනීමට ඉඩකඩ තිබිය යුතුය.


එහෙත් ඉකුත් වසරේ අග ඇරැඹි සහල් ප්‍රශ්නය තවමත් සම්පූර්ණයෙන් විසඳී නැත. පිටරටින් සහල් ගෙන්වීමට බලධාරීන් ගත් තීරණය නිසා වෙළෙඳපොළේ සහල් මිල පහළ බැසීමක් ඇති වී තිබේ. එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා අද 'මව්බිම' රජරට අතිරේකයට කියා ඇත්තේ වෙනම කතාවකි. ඉන්දියාවෙන් ගෙන්වන ලද සහල්වලට වස විස මිශ්‍ර වී ඇති බවත්, ව්‍යාපාරික මෝල් හිමියන් සතුව ඇති සහල් කල්තබාගැනීමට යොදා ඇති රසායනික ද්‍රව්‍ය නිසා ඒ සහල්වලද විස අඩංගු වන බවත් සභාපතිවරයා අනාවරණය කර ඇත.

ඔහු පවසනාකාරයට මෙරට මහා පරිමාණ හාල් නිෂ්පාදකයන් මේ දිනවල වෙළෙඳපොළට නිකුත් කරන්නේ ඉකුත් වසරේ හෝ පෙර වසරවල මිලට ගත් වී තොගය. මේ සහල් තොගයට යොදා ඇති කල්තබා ගැනීමේ ද්‍රව්‍ය මිනිස් සිරුරට හිතකර නැත. කුඩා මෝල් වැසීයෑම නිසා විශාල මෝල් හිමියන්ට වාසිදායක වාතාවරණයක් උදාවී ඇතැයි පැවැසේ. සභාපතිවරයාට අනුව මේ නිසා ඔවුන් වී මිල මෙන්ම සහල් මිල පාලනයද සියතට ගෙන ඇත. පසුගිය කන්නයේ රුපියල් 30ක් වැනි මිලකට ගත් වී කිලෝව සහල් කිරීමෙන් පසු අලෙවි කරන්නේ රුපියල් 70කට අධික මුදලකට බව කුඩා සහල් හිමියෝ චෝදනා කරති.

කුඩා මෝල් හිමියන්ට සිදුවී ඇත්තේද අකරතැබ්බයකි. බැංකු ණය පවා ලබාගෙන ලක්ෂ ගණනක් මුදල් යටකළ 'ව්‍යාපාර' බිඳවැටී ඇත. අනෙක් පැත්තෙන් පාරිභෝගික ජනතාවට වැඩි මිලට සහල් මිලදී ගැනීමට සිදුවී තිබේ. වී තොග අඩු මිලට විකුණ­ූ­ ගොවියාටද මේ දුෂ්ට ක්‍රියාවලියෙන් බේරුමක් නැත. කොරේ පිටට මරේ කීවා සේ වස මුසු සහල්වලින් කිරිබත් සාදා අලුත් අවුරුදු නැකැතට අනුභව කිරීමට සිදුවේ නම් එය අලුත් අවුරුද්දේ අවාසනාවන්ත ආරම්භයකි.

එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය කරන මේ චෝදනාව බරපතළය. ඒ පිළිබඳ වහා සොයා බැලීම බලධාරීන්ගේ වගකීමය. නොඑසේ නම් මෙයින් ජනතාව බියට පත්වනු ඇත. අලුත් අවුරුදු දා බය වෙනුවට සහනයත් දුක වෙනුවට සතුටත් පිරුණ දිනයක් වියයුතුය. අවුරුද්ද ඇරැඹිය යුත්තේ වසමුසු භෝජනවලින් නොව රසමුසු භෝජනවලිනි.

 
සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon