පොලිසියේ භාවනාව

  👤  2417 readers have read this article !
2017-04-11

ශ්‍රී ලංකා පොලිසිය නිතර අවධානයට ලක්වන ආයතනයකි. පොලිසිය ගැන ධනාත්මක දේට වඩා කතාබහට ලක්වන්නේ සෘණාත්මක දේය. පොලිසිය ගැන ජනතාව තුළ ඇත්තේ ප්‍රසාදජනක ආකල්පයක් නොවේ. වරද ඇත්තේ පොලිසියේ අතය. ධර්ම චක්‍රය නිල ඇඳුමේ පැලඳ සිටියද පොලිසිය ධර්මානුකූලව හැසිරෙන්නේ නැත. පොලිසියට එලෙස හැසිරීමද අසීරුය. එහෙත් පොලිසිය විනය ගරුක විය යුතුය.

පොලිස්පති පූජිත් ජයසුන්දර දවසේ පළමුවැනි රාජකාරිය ලෙස "ආගම" සිහිකිරීම නියම කර ඇත්තේ පොලිසියේ මහත්වරුන් හා නෝනාවරුන් තුළ විනය ඇති කිරීමට විය යුතුය. ඒ අනුව සෑම දිනකම රාජකාරි වෙලාවෙන් අඩ පැයක් "භාවනා" කිරීම සඳහා වෙන් කිරීමට පොලිසියට සිදුවේ. පොලිසියේ මහත්වරුන් භාවනා කිරීම නරක නැත. මෙතැනදී මතුවන ප්‍රශ්නය නම් බෞද්ධාගමිකයන් නොවන හා ආගම් අදහන්නේ නැති නිලධාරීන් හා නිලධාරිනියන් කුමක් කරන්නේ ද යන්නය. ඒ පිරිසටද භාවනාවෙන් කෙරෙන සිත, කය සන්සුන් කර ගැනීමේ අභ්‍යාසයට යොමුවිය හැකිය. නිසොල්මන්ව සන්සුන්ව පැය භාගයක් හිඳීමෙන් සිතට මෙන්ම ගතටද සුවයක් දැනෙනු ඇත.
මේ ක්‍රියාව තුළින් පොලිස්පතිවරයාගේ අරමුණ වන්නේ ඉතා උසස් සේවාවක් මහජනතාවට ලබාදෙන පොලිසියක් ගොඩනැඟීම විය යුතුය. ඇත්තටම විය යුත්තේ ද එයමය.

පොලිසිය ඇතැම් අවස්ථාවල කටයුතු කරන ආකාරයෙන් පොලිසිය මහජනතාව උදෙසා ද නොඑසේ නම් "පොලිසිය" පොලිසිය උදෙසා ද යන ප්‍රශ්නය මතුවේ. ඉකුත් සතියේ මහ මාර්ගයේ බලපත්‍ර රහිතව යතුරුපැදියක් ධාවනය කළ ළාබාල පාසල් ශිෂ්‍යයකු අල්ලාගෙන රථවාහන පොලිසියේ නිලධාරීන් දෙදෙනකු කළ තඩිබෑමක් ගැන වාර්තා පළ වී තිබිණි. උස්තැන දුටු විට හැකිළෙන මිටි තැනක් දුටු තැන පුප්පන මෙවැනි නිලධාරීහු පොලිසියේ ඕනෑ තරම් සිටිති. ඔවුන්ව නිවැරැදි මඟට ගැනීමට "භාවනාව" පමණක් ප්‍රමාණවත් නැත. සිද්ධිය වාර්තා වූ වහාම අදාළ පොලිස් නිලධාරින් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණි. එය හොඳ ප්‍රවණතාවකි. ඥාතීන් හිතවතුන් පැමිණ පොලිසියේ බෝඩ් ගලවන තුරු නොසිට ක්‍ෂණිකව අවශ්‍ය පියවර ගැනීම වැදගත්ය. "වරද" වරදක් ලෙස ගෙන පොලිසියේ නිලධාරීන්ට උපරිම දඬුවම් දිය යුතුය. අපේ එකෙක් කියා වරද සැඟවීමට යෑමෙන් පොලිසිය සමඟ ජනතාව කළ ඇති දුරස්ථභාවය තවත් පුළුල් වනු මිස ළංවන්නේ නැත.

"නීතිය නවන" බවට පොලිස්පතිවරයාට විපක්‍ෂයේ ඇතැම් පිරිස් බරපතළ චෝදනා එල්ල කරති. නීතිය නැවීමේ කතාව කෙසේ වෙතත් අදාළ චෝදනා සමහරක යම් සත්‍යයක් තිබේ. පොලිසිය භාවනාවට යොමු කරනවා මෙන්ම පොලිස්පතිවරයා "රාජකාරිය" ගැනත් වැඩි අවධානයක් යොමු කළ යුතුය. රාජකාරිය අකුරට හා මහජන හිත සුව පිණිස කිරීම පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිසියට නිසැකවම භාවනාවක්ම වනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon