අලුත් අවුරුදු සමයේ මගියො

  👤  2916 readers have read this article !
2017-04-12

අලුත් අවුරුද්දට කොළඹ නගරය පාළුවට යයි. ඒ, කොළඹ ජීවත්වන බොහෝ දෙනා අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලායන නිසාය. එහෙත් මේ දිනවල නම් කොළඹ වෙනදාටත් වඩා ජනාකීර්ණය. ඊට හේතුව ගම්බිම් බලායෑමට අගනුවරට එක්රොක්වන්නන් නිසාය.

ගම්බිම් බලා යන මේ ජනතාවට විශේෂ බස් හා දුම්රිය සේවා යොදා ඇත. විශේෂයෙන් පෞද්ගලික බස් රැසක් ජාතික ගමනාගමන කොමිසමට අනුයුක්ත කර තිබේ. නියමිත ප්‍රවේශ පත්‍ර ගාස්තුවට වැඩි ගාස්තුවක් අය කළහොත් බස්රථවල මගී ප්‍රවාහන බලපත්‍රය මාස තුනකට තහනම් කිරීමට කොමිෂන් සභාව තීරණය කර ඇත.
එවැනි තීරණයක් ගෙන ඇත්තේ සෑම උත්සව කාලයකදීම එවැනි අසාධාරණ ගාස්තු පෞද්ගලික බස්රථ මගීන්ගෙන් අයකර ගැනීම නිසාය. එවැනි අසාධාරණ අයකිරීම් සිදුවනවා නම් 1955 දරන ක්ෂණික ඇමතුම් අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ගමනාගමන කොමිෂන් සභාපතිවරයා ප්‍රකාශ කර තිබිණි. ලංගම බස්රථවල අයකරන ගාස්තු පිළිබඳ ගැටලුවක් මතුවේ නම් 0117555555 දුරකතන අංකවලට පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

විශේෂයෙන් පෞද්ගලික බස්රථ හිමියන් කරන මේ 'වැරැද්ද' පාලනය කිරීම සඳහා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර ඇත්තේ, විශේෂ ගමන්වාර පවත්වන බස්නාහිර පළාත් සභාවට අයත් බස්රථවලට සාමාන්‍ය ගාස්තුව මෙන් 1 1/2ක් අයකර ගැනීමට අවසර දීමටය. මේ විශේෂ දුරගමන් සේවාවේ යොදවන බස් රථ කොළඹ සිට පිට පළාත්වලට ගොස් ආපසු පැමිණීමේදී මගීන්ගෙන් හිස්වන නිසා බස් හිමියන්ට සිදුවන පාඩුව අවම කර ගැනීමට මේ අවසරය ලබාදී ඇතැයි අධිකාරිය කියා සිටී. හිතූ හිතූ ගාස්තු අය කරනවාට වඩා නිශ්චිතව ගාස්තුවක් අයකර ගැනීමට ඉඩ ලබාදීම යහපත්ය. එවිට මගී ජනතාවටද අයකරන ගාස්තුව ගැන පැහැදිලිය. එහෙත් මේ විශේෂ ගාස්තුව ගැන මගීන් දැනුවත් කළ යුතුවන්නේ එසේ නොවුණහොත් දෙපාර්ශ්වය අතර ගැටුම් ඇතිවීමට ඉඩ ඇති නිසාය. අනෙක් කාරණය වන්නේ අධිකාරිය අවසර ලබාදී නැතැයි කියමින් දෙගුණයක් ගාස්තු අය කිරීමයි.

මේ උත්සව සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයද කාර්යබහුල වී ඇත. එනිසා පිවිසුම් ‍ෙදාරටුවල කාර්යමණ්ඩලවලට වැඩි පිරිසක් යෙදවීම අත්‍යවශ්‍යය. නොඑසේ නම් අධිවේගී මාර්ගයේ මුළු ගමනට ගත වූ කාලයට වැඩි කාලයක් පිටවීමේ ‍ෙදාරටුවල රැඳී සිටීමට සිදුවනු ඇත. පසුගිය දිනවල මේ ප්‍රශ්නය මතුවී තිබිණි. අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ කාර්යාලයට අනුව ‍ෙදාරටුවලින් කිසිදු ප්‍රමාදයකින් හා අවහිරයකින් තොරව ගමන් කළ හැකි විශේෂ වැඩපිළිවෙළක් යොදා තිබේ. ඇත්ත වශයෙන්ම එවැනි වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යය.

මේ උත්සව සමයේ මගී ජනතාවට කරදරයකින් තොරව ගමනාන්තය කරා යෑමට ගමන් පහසුව සලසාදීම බලධාරීන්ගේ වගකීමය. ඒ වගේම ඇතැම් වෙළෙන්දන් පාරිභෝගික ජනතාව ගසාකන ආකාරයට මගී ජනතාව ගසාකෑමට මගී බස් රථ හිමියන්ට ඉඩතැබිය යුතු නැත. අන් වසරවලට වඩා විධිමත් වැඩපිළිවෙළක් මගී ජනතාව වෙනුවෙන් සකසා ඇති බව පෙනේ. වඩා වැදගත් වන්නේ එය අකුරටම ක්‍රියාත්මක කිරීමය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon