මේ අලුත් අවුරුද්දේ...

  👤  3801 readers have read this article !
2017-04-13

අප්‍රේල් මාසය 'බක් මහ' ලෙස හැඳින්වීම සිංහල සිරිතය. උත්සව පැවැත්වීමට සුදුසුම වන්නේ බක්මහය. අස්වනු ගෙට ගෙන බැති සිතින් පුද පූජා පවත්වන බක් මහ, මලින් හා පලවලින් තුරුලිය බරවන වසන්ත කාලයයි. අවුරුද්ද ඇරැඹීමට බක්මහ හෙවත් අප්‍රේල් මාසය තෝරාගෙන ඇත්තේ ඒ නිසාය. බක් මාසයම මහා උළෙලකි.
වර්තමාන සමාජ සැකැස්මට අනුව බක් මහ හෙවත් අප්‍රේල් උත්සවශ්‍රීයක් නොගත්තද තවමත් අලුත් අවුරුදු උළෙල මෙරට පැවැත්වෙන සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලැකේ. සූර්ය මාස ක්‍රමයට අනුව පැවැත්වීම නිසා 'සූර්ය මංගල්‍යය' ලෙසින්ද හඳුන්වන අලුත් අවුරුදු උළෙල අලුත් ඇඳුම් පැලඳුම්, කෑම බීම, නෑ හිතවත්කම් අලුත් කර ගැනීම අමනාපකම් දුරුකර ගැනීම වැනි සිරිත් විරිත් අලුත් අවුරුදු චාරිත්‍ර ලෙස චිරාත් කාලයක සිට පැවතෙන්නේ ජීවිතයේ එක් කොටසක් ගෙවී අලුත් කොටසක් ඇරැඹුණාය යන ආධ්‍යාත්මික හරය නිසා විය යුතුය.

අලුත් අවුරුදු උත්සවය බෞද්ධාගමිකයන්ගේ ආගමික උළෙලක් නොවන බවත් නක්ෂත්‍රයට අනුව චාරිත්‍ර කිරීම නිසා බෞද්ධ වත්පිළිවෙත් ඊට සම්බන්ධ වී ඇති බවත් විද්වත් මතයයි. ඇතැම් විට සිංහල - හින්දු අලුත් අවුරුද්ද ලෙස මෙය හඳුන්වන්නේ භාරතයේ මහා සම්ප්‍රදායෙන් උත්පත්තිය ලැබූ නිසා විය යුතුය. ඇත්තෙන්ම මේ උත්සවය වඩාත් ළං වන්නේ සිංහලයන්ටයි. හින්දු ආගමිකයන් සමරන අලුත් අවුරුද්ද හා බෞද්ධාගමිකයන් සමරන අලුත් අවුරුද්ද සමාන වන්නේ ජේ‍යාතිෂ හා ආගමික මුහුණුවරින් පමණය.
තවමත් බොහෝ දෙනා අපමණ ළෙන්ගතුකමකින් සමරන අලුත් අවුරුද්දේ ප්‍රාදේශීයව වෙනස්කම් තිබුණත් චාරිත්‍රවල පොදු ලක්ෂණ වැඩිය. මේ සෑම චාරිත්‍රයකටම අර්ථයක් තිබේ. නානුමුර මංගල්‍ය හෙවත් හිස තෙල් ගෑමේ අර්ථය වන්නේ අපේ සිරුරේ උත්තමාංගය වන 'හිස' පිරිසුදු විය යුතුය යන්නය. බාහිරින් මෙන්ම ඇතුළතින්ද 'හිස' පිරිසුදු විය යුත්තේ නිරවුල් මනසකට එය අත්‍යවශ්‍ය නිසාය. ඔළුවෙන් වැඩ නොගන්නා මිනිසුන් බහුල වර්තමාන සමාජයකට අන් කවරදාටත් වඩා හිසතෙල් ගෑමේ සිරිත උචිත නොවේද?
අලුත් අවුරුද්දේ පරණ කෝන්තර අතහැර දැමීම සිරිතය. පැරැණි දේ වෙනුවට අලුත් දේවල් ජීවිතයට එකතු කර ගැනීම පිළිවෙතය. පුරාණ චාරිත්‍ර රැක ගනිමින්, නූතනයට නොගැළපෙන චාරිත්‍ර ගැළපෙන ආකාරයට සකස් කර ගනිමින්, නොඑසේ නම් අතහැර දමමින් අලුත් අවුරුද්ද සමඟ ඒකාත්මික වීම අවශ්‍යය.

වෙලාවට වැඩ කිරීමේ පුරුද්දක් නැති සමාජයකට, සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වයට නැඹුරු වූ සමාජයකට විනයානුකුලව ජීවත්වීමට හුරු නැති සමාජයකට, මේ අලුත් අවුරුදු චාරිත්‍ර විනයගරුකව, සාමූහිකව වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද යම් අනුබලයක් ලබාදෙයි. අයාලේ යන සමාජයකට ශික්ෂණයක් ඇති කිරීමට අලුත් අවුරුද්ද සුබාරංචියකි. අපි ඉන් පල නෙළා ගත යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon