මීතොටමුල්ලේ කුණු වූ ප්‍රශ්නය

  👤  2483 readers have read this article !
2017-04-17

අලුත් අවුරුද්ද ආරම්භ වූයේ ඛේදවාචකයකිනි. අලුත් අවුරුදු දිනයේ පස්වරුවේ මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේය. මේ වනවිට අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව 24 කි. ඒ අතර පස් දෙනෙක් දරුවෝ වෙති. කාන්තාවන් 9 දෙනෙකි. තුවාලකරුවන් කිහිපදෙනකු රෝහල් ගත කර ඇත. නිවාස 50ක් පමණ විනාශ වී තිබේ. පවුල් 180ක සාමාජිකයන් 625ක් අවතැන් වී ඇත. අන්තරායදායක ප්‍රදේශයේ සිටින පවුල් 125 ක් නිවෙස්වලින් ඉවත් කිරීමටද පියවර ගෙන තිබේ.

මීට පෙර සාමසර කන්ද මීරියබැද්ද කන්ද නාය යෑමෙන් ජීවිත හා දේපොළ රැසකට හානි සිදුවිය. එහෙත් ඒ කඳු නායයෑම හා මීතොටමුල්ල කුණු කන්ද නායයෑම සමාන නැත. ඊට හේතුව මේ කන්ද සොබාදහමේ නිර්මාණයක් නොව පැහැදිලිවම කියන්නේ නම් මෙරට පාලකයන් විසින් නිර්මාණය කරන ලද්දක් වීමය.
මේ කුණු කන්ද නාය ගිය ප්‍රථම අවස්ථාව නොවේ. එහෙත් මෙතරම් ජීවිත හා දේපොළ හානි සිදුවූ ප්‍රථම අවස්ථාව මෙයයි. මේ කුණු කන්ද ගැන ප්‍රදේශවාසී ජනතාව කොතෙක් පාලකයන්ට පැවසුවද ඒවා බීරි අලින්ට වීණා වැයීමක් බඳු විය. පොලිසිය හා මැරයන් ලවා පහරදී ජනතා උද්ඝෝෂණ මැඬපැවැත්වීමට පාලකයන්ට තිබූ උනන්දුව ප්‍රශ්නය විසඳීමට තිබුණේ නැත. මේ විනාශය වූයේ ඒ නිසාය.

රටම සිංගප්පූරුවක් කිරීමට සිහින මැවූ ජේ. ආර්. - ප්‍රේමදාස ආණ්ඩුවලටවත් දාහත් අවුරුදු ශාපය අවසන් කිරීමට පැමිණි චන්ද්‍රිකාගේ ආණ්ඩුවටවත්, ආසියාවේ ආශ්චර්ය බවට මේ රට පත්කිරීමට පොරොන්දු වූ රාජපක්ෂ ආණ්ඩුවටවත් කොළඹ කුණු ප්‍රශ්නයට විසඳුමක් දීමට හැකි වූයේ නැත. ඒ වෙනුවට මීතොටමුල්ල කුණු කන්ද මෙන් තවත් කුණු කඳු රටේ තැන තැන නිර්මාණය කිරීමට ඔවුහු සමත් වූහ. ඒ කුණු කඳු පරිසරයට හා ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර ඇත.
මේ රටේ පාලකයන් ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් සොයන්නේ ප්‍රශ්නය කුණු වූ පසුවය. මේ කුණු ප්‍රශ්නයද මේ වනවිට හොඳටම කුණු වී ඇත. මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් ඒ බව යළි යළිත් සනාථ කර තිබේ. දැන්වත් කුණු ප්‍රශ්නයට දිගුකාලීන විසඳුමක් සොයා ගත යුතුය.

එතෙක් මීතොටමුල්ලේ අවතැන් වූ ජනතාවට කඩිනමින් සහන සැලසීම අවශ්‍යය. ඒ සඳහා රජයේ චක්‍රලේඛ නොසලකා අවශ්‍ය අරමුදල් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා නියෝග කිරීම වැදගත්ය. නීති රෙගුලාසි හරස් කරගෙන විපතට පත් ජනතාවට සහන සැලැසීම ප්‍රමාද කළ යුතු නැත.
විදේශීය අත්දැකීම් ආදර්ශයට ගෙන අපේ කැළිකසළ ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළක් ඇරැඹිය යුතුය. කොහේ හෝ ප්‍රදේශයකට කුණු බැහැර කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත. නිදහස ලැබී ලබන වසරට 70 වසරකි. තවමත් කුණු ප්‍රශ්නයවත් අපේ පාලකයන්ට විස¼දා ගැනීමට හැකිවී නැත. මෙවර අලුත් අවුරුද්දත් ජනතාවට කුණු ප්‍රශ්නය සමඟ ඇරැඹීමට සිදුවූයේ ඒ නිසාය. තව අවුරුදු කීයක් කුණු ප්‍රශ්නය සමඟ ජීවත්වීමට ජනතාවට සිදුවේදැයි දන්නේ උඩ සිටින බව කියන දෙවියන් නොව බිම සිටින පාලකයන්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon