කඳුළු කුණුවලට එකතු නොවීමට නම්...

  👤  3225 readers have read this article !
2017-04-18

මීතොටමුල්ල කුණු කන්ද අන්තරායදායක බව කල්තියා බලධාරීන් විසින් දැනුම්වත් කරන ලද බවට ප්‍රදේශවාසීන් චෝදනා කරද්දී බලධාරීන් පවසන්නේ පදිංචිකරුවන්ට ඉවත්වීමට කී බවය. ඇත්ත කාරණය වන්නේ මිනිස්සුන් කුණු කන්ද ළඟ ගෙවල් හදාගෙන පදිංචි වූවා නොව, කාලාන්තරයක් පුරා පදිංචිව සිටි ගෙවල් ළඟට කුණු කන්ද පැමිණ තිබීමය. එනිසා ඉවත් විය යුත්තේ පදිංචිකරුවන් නොවේ. ඉවත් කළ යුත්තේ කුණු කන්දය.

කොළොන්නාව, කොටිකාවත්ත හා මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල පැතිර ඇති මේ කුණු කන්ද 30,000ක් පමණ ජීවත් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටක් ආවරණය කරයි. ආරම්භයේදී අක්කර 2ක් වසා පැතිර තිබූ කුණු කන්ද වර්තමානයේදී අක්කර 20කි. කොළඹ කුණු ටොන් 8ක් දෛනිකව මීතොටමුල්ලට මුදා හැරේ. 2008 අවුරුද්දේ බ්ලූමැන්ඩල්වලට කුණු දැමීම නතර කිරීමෙන් පසු ඒ කුණු ද මීතොටමුල්ලට එකතු වේ. ඉතියෝපියාව වැනි උෟන සංවර්ධිත රටවල මීතොටමුල්ල වැනි කුණු කඳු දක්නට ඇත. මෑතකදී ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර පිහිටි කුණු කන්දක් නාය යෑමෙන් සියයකට අධික පිරිසක් මරු දුටහ. එහෙත් සංවර්ධිත රටවල් කුණු, කරදරයක් කරගෙන නැත. ඔවුහු කුණු සම්පතක් ලෙස සලකා ඉන් කෝටි ගණනින් මුදල් උපයති. එහෙත් ලංකාව කරන්නේ මසකට රුපියල් කෝටි 14ක් වැය කරමින් කුණු ගොඩ ගැසීමය. ඒ කුණු කඳුවලට යට වී මිනිසුන්ගේ ජීවිත විනාශ වීමට ඉඩහැරීමය.

බලධාරීන් හැමදාම කළේ හිසරදයට කොට්ට මාරු කිරීමය. බ්ලූමැන්ඩල් කුණු මීතොටමුල්ලට දැම්මේය. මීතොටමුල්ලට කුණු දැමීම නතර කර ස්ථාන කිහිපයකට කුණු මුදා හැරීමට මේ වන විට බලධාරීන් තීරණය කර ඇත. අදාළ ස්ථාන හෙළි කිරීමට බලධාරීන් මැළිවන්නේ ඒ ඒ ස්ථානවලට එරෙහිව ප්‍රදේශවාසීන් උද්ඝෝෂණ පවත්වාවි යැයි බියෙනි. මීතොටමුල්ල වැනි කුණු කන්දකට ජනතාව බිය වීම සාධාරණය. එනිසා කුණු දැමීමට විරෝධය පළ කරන්නේ යැයි කියමින් ජනතාවට ගැරහිය යුතු නැත. මෙහිදී බලධාරීන් කළ යුත්තේ තමන් කරන්න යන්නේ කුමක්දැයි ඒ ඒ ප්‍රදේශවල ජනතා නියෝජිතයන් හරහා සවිස්තරාත්මක තොරතුරු ලබාදීමය. ජනතාව දැනුම්වත් කිරීමය. උද්දච්ච ලෙස නොහැසිරී ජනතාව සමඟ සුහදව ගනුදෙනු කිරීමය.

රාජපක්‍ෂ ආණ්ඩුව කොළඹ ආශ්චර්යවත් නගරයක් කිරීමට විවිධ සැලසුම් සකස් කළේය. රනිල් - මෛත්‍රි ආණ්ඩුව කොළඹ මෙගා පොලිස් කිරීමට සැරසේ. එහෙත් ප්‍රාථමික කාරණයක් වන කැළි කසළ බැහැර කිරීමට වැඩපිළිවෙළක් නැත. විශේෂයෙන් කොළඹ නගරයේ කැළි කසළ ප්‍රශ්නයට විසඳුමක් දීමට ඔවුන්ට නොහැකි වීම නිසා මීතොටමුල්ල ඛේදවාචකය නිර්මාණය විය. අවිද්‍යාත්මක අවධිමත් සංවර්ධනය රටේ අලි - මිනිස් ගැටුමක්ද නිර්මාණය කර ඇති අතර රටේ කුණු ප්‍රශ්නයක් ද නිර්මාණය කර තිබේ. මේ කුමන දෙයකින් වුවද විනාශ වන්නේ මිනිස් ජීවිතය, වන සතුන්ය: අවසානයේ සොබාදහමය: රටය.

ශ්‍රී ල.නි.ප.යේ පිරිස් එ.ජා.ප.යට චෝදනා කිරීමෙන්වත් එ.ජා.ප.ය
ශ්‍රී ල.නි.ප.යට චෝදනා කිරීමෙන්වත් හිටපු ජනාධිපතිවරයා වර්තමාන ජනාධිපතිවරයාට චෝදනා කිරීමෙන්වත් ජනාධිපති හා අගමැති එක්වී හිටපු ජනාධිපතිවරයාට චෝදනා කිරීමෙන්වත් කුණු ප්‍රශ්නය තබා රටේ කුමන ප්‍රශ්නයක්වත් විසඳිය නොහැකිය. අඥාන පාලකයන් විසින් නිර්මාණය කරන ලද මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම අලුත් අවුරුදු නැකැතේ වරදක් හෝ දේව ශාපයක් යැයි කියන මුග්ධයන් සිටින රටක මේ කුණු ප්‍රශ්නයට තිරසර විසඳුමක් සොයා ගැනීමද පහසු නැත. විද්‍යාත්මක විසඳුමකට වඩා ඔවුහු අවිද්‍යාව පසුපස යෑමට කැමැතිය. එහෙත් කුණු කඳු හිස මතට කඩා වැටී විනාශ වන්නේ පොදු ජනතාවගේ ජීවිතය.
මුග්ධයන්, අඥානයන් හා තක්කඩියන් මේ කුණු කඳු පාමුල ජීවත් වන්නේ නැත. ඛේදවාචකයකට මුහුණ දුන් පසු පලක් නැති තර්ක විතර්ක ඇඳබාමින් බෝල පාස් කිරීම පසෙකට දමා වහ වහා කුණු ප්‍රශ්නයට තිරසර විසඳුමක් සොයා ගත යුතුය. ඊට ප්‍රාදේශීය සභා, පළාත් සභා හා මධ්‍යම ආණ්ඩුව එක්වී වැඩ කිරීම අවශ්‍යය. පොදු ජනතාවගේද දායකත්වය ඊට ලබා ගැනීමට බලධාරීන්ට හැකිවිය යුතුය.

කසළ කළමනාකරණය කළ යුත්තේ කුණු කඳු කඩා වැටීමට පෙරය. කුණු කඳු නිසා ජීවිත දේපළ හානි වූ පසු, වැසි වැටුණු පසු කෑ ගසන ගෙම්බන් මෙන් කසළ කළමනාකරණය ගැන හා ප්‍රතිචක්‍රියකරණ සැලසුම් ගැන කතා කිරීම පල රහිතය. පය බරවායට පිටිකර බෙහෙත් බැඳ පලක් වන්නේ නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon