රාජ්‍ය සේවය හා පැය අට

  👤  3976 readers have read this article !
2017-04-19

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම දහසය දෙනකුගෙන් එක් අයකු රාජ්‍ය සේවකයෙකි. රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව රජයට වැය වන මුදල රුපියල් බිලියන 800කට ආසන්නය. 2014 වසරේ සංඛ්‍යාලේඛනවලට අනුව ජාතික මට්ටමේ සේවකයන්ගේ ප්‍රතිශතය 71%කි. පළාත් මට්ටමේ සේවක ප්‍රතිශතය 29%කි.
2002 බලයට පත් වූ එජාප ආණ්ඩුව රාජ්‍ය සේවයට බඳවා ගැනීම සීමා කළද 2004 බලයට පත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව එකවර විශාල පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගත්තේය. දේශපාලන වාසි සඳහා වරින් වර මෙලෙස රාජ්‍ය සේවයට පිරිස් බඳවා ගත්තද රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීමට කිසිදු ආණ්ඩුවක් උනන්දු වූයේ නැත.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ඉකුත්දා නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ රාජ්‍ය සේවකයන් විශාල සංඛ්‍යාවක් සිටියද රාජ්‍ය සේවයෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ගැටලු ඇති බවය. රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීම ආණ්ඩුව මත පැවරී ඇති අභියෝගයක් ලෙස ඔවුන් හඳුනාගෙන ඇත. එලෙස හඳුනාගැනීම අතිශයින් වැදගත්ය. මන්ද; ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට නම් පළමුව ප්‍රශ්නයක් තිබෙන බව හඳුනාගත යුතු නිසාය.
රාජ්‍ය සේවක වැටුප් සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 800කට ආසන්න මුදලක් වැය කළද, රාජ්‍ය සේවයේ දෛනික පැය 8 තුළ සැලකිය යුතු කාලයක් අපතේ යන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ චෝදනාවයි. පරිපාලන සේවයේ ජේ‍යෂ්ඨ නිලධාරියකු මෑතකදී ප්‍රකාශ කර තිබුණේ රාජ්‍ය සේවකයන් පැය පහක් කැපවීමෙන් රාජකාරිය කරන්නේ නම් එයද ප්‍රමාණවත් බවය. අකුරටම රාජකාරිය කරන රාජ්‍ය නිලධාරීන් සිටියද සමස්තයක් ලෙස ගත් කල පෙනෙන්නට තිබෙන චිත්‍රය ලස්සන නැත.

රුපියල් කෝටි ගණනින් අලාභ ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට නොහැකි වී ඇති එක් ප්‍රධාන කාරණයක් වන්නේ නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාවය. අනෙක් කාරණය දේශපාලන මැදිහත් වීමය. රාජ්‍ය සේවයේ සුදුස්සාට සුදුසු තැන නොලැබෙන්නේ ඊනියා දේශපාලනය නිසාය. රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීමට නම් පළමුව දේශපාලන මැදිහත් වීම් නතර කළ යුතුය. අනවශ්‍ය ලෙස රාජ්‍ය සේවයට බඳවා ගැනීම් වහා නතර කළ යුතුය.
එහෙත් ආණ්ඩුවේ රැකියා දසලක්ෂයේ වැඩපිළිවෙළ තුළින් බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ රාජ්‍ය අංශයේ රැකියාය. එය බරපතළ ගැටලුවක් බව ජාතික ප්‍රතිපත්තිය හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ද ප්‍රකාශ කර ඇත.

ශ්‍රම බළකායෙන් බහුතරය අයිති වන්නේ පෞද්ගලික අංශයටය. ප්‍රතිලාභ හා වරප්‍රසාද පෞද්ගලික අංශයේ සේවකයන්ට බොහෝවිට අහිමිය. එහෙත් රාජ්‍ය අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් ඇතුළු වරප්‍රසාද හා ප්‍රතිලාභ රැසක් හිමිවේ. රාජ්‍ය අංශයේ සේවකයන්ට වැටුප් හා දීමනා වැඩිවීමක් මෑතකදී සිදුවුණද පෞද්ගලික අංශයට සෘජු ලෙස වැටුප් හෝ දීමනා වැඩි වූයේ නැත.

එහෙත් පෞද්ගලික අංශයට සිදුව තිබෙන්නේ රාජ්‍ය අංශයේ නඩත්තුවටද යම් දායකත්වයක් දීමටය. එසේ තිබියදී රාජ්‍ය අංශයේ සේවකයන්ගේ කාර්යක්‍ෂමතාව අඩුවීම හරහා රජයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ගැටලු මතුවීම ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නයට විසඳුම් සොයා නොගෙන රට පෙරට රැගෙන යෑම දුෂ්කරය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon