වවුනියාවේ අලි මරණය

  👤  4413 readers have read this article !
2017-04-20

සති හතරකදී ජීවිත හයක් වැනසූ 'තණමල්විල තනියා' ලෙස කුප්‍රකටව සිටි අලියා වනජීවී නිලධාරීන් විසින් අල්ලා ගනු ලැබූ පුවත ඊයේ 'මව්බිම' වාර්තා කර තිබිණි. දිවි පරදුවට තබා තනි අලියා කොටුකර ගැනීම ගැන වනජීවී නිලධාරීන් ප්‍රශංසා ලබද්දී ඇතින්නියක මරා දැමීම ගැන වනජීවී නිලධාරීන්ට චෝදනා එල්ල වී ඇත.
වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ කොම්බුවයිත්තකුලම් වැව ආසන්නයේ පිහිටි වගා ළිඳකට වැටී සිටි අලි පවුලක් එනම්; මවුපිය දෙපළ හා පැටවුන් දෙදෙනා ගොඩගැනීමට යෑමේදී මේ අවාසනාවන්ත මරණය සිදුවී තිබේ. පළමුව එක් අලියකු ගොඩගෙන වනයට මුදාහැර ඇති අතර පැටවු සහ ඇතින්න ගොඩගැනීමට යෑමේදී ඇතින්න වනජීවී නිලධාරීන් ඇතුළු එතැනට රැස්ව සිටි පිරිසට පහරදීමට තැත් කර ඇත. ආරක්‍ෂිත පියවරක් ලෙස ඇතින්නට වෙඩි තැබීමට සිදුවූ බව නිලධාරීහු පවසති.

කලෙකට ඉහත මෙලෙස වළක වැටී සිටි අලියකු ගොඩගත් පසු රැස්ව සිටි පිරිසට කළ පහරදීමෙන් එක් පුද්ගලයෙක් මිය ගියේය. වනජීවී නිලධාරීන් වෙඩි තබන්නට ඇත්තේ එවැනි අවාසනාවන්ත සිද්ධියක් වළක්වා ගැනීමේ අරමුණින් විය යුතුය. එහෙත් ඉන් ළිඳට වැටී සිට බේරාගත් ඇතින්න මරණයට පත්වීමද කනගාටුදායක සිද්ධියකි. ඇතැම් පරිසරවේදීන් චෝදනා කරන්නේ වෙඩිතබා ඇතින්න මරා දමනවා වෙනුවට විකල්ප ක්‍රියාමාර්ගයක් ගත හැකිව තිබුණු බවය. මේ චෝදනාව හේතු කොටගෙන වනජීවී ඇමැතිවරයා අදාළ සිද්ධිය පිළිබඳ වහාම පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස වවුනියාව පොලිසියට නියෝග කර ඇත. ඇතින්නට ජීව උණ්ඩ පාවිච්චි කර වෙඩි තැබුවේ වනජීවී නිලධාරීන්ද නොඑසේ නම් පොලිස් නිලධාරීන්ද යන්න පැහැදිලි නැතත් පොලිසිය හා වනජීවී නිලධාරීන් ඒකාබද්ධ මෙහෙයුමේදී නිර්වින්දන එන්නත් හෝ රබර් උණ්ඩ භාවිත නොකළේ මන්ද යන ප්‍රශ්නය මෙහිදි මතුවී තිබේ.

යහපත් දෙයක් වුවත් නිවැරැදිව කළ යුතුය. මෙවැනි අනතුරක් මතුවේ යැයි උපකල්පනය කර පූර්ව සූදානමක සිටීම අවශ්‍යය. එවැනි පූර්ව සූදානමක්් මේ මෙහෙයුමේ සිටි නිලධාරීන්ට තිබී ඇති බවක් නොපෙනේ. පැටවුන් සමඟ සිටින ඇතින්නක් පහරදීමට තැත් කිරීම සාමාන්‍ය සිද්ධියකි.
ඒ බව පොලිසිය කෙසේ වෙතත් වනජීවී නිලධාරීහු දැන සිටිති. එවැනි අවබෝධයක සිටියා නම් මේ අවාසනාවන්ත මරණය සිදුවන්නේ නැත. නිලධාරීන් අනවශ්‍ය කරදරයක පැටලෙන්නේ ද නැත. එහෙත් වටිනා සත්ත්ව ජීවිතයක් අහිමි වී තිබේ. පැටවුන්ට මව අහිමිය. අලියා සිය සහකාරිය නොමැතිව තනිවී සිටී.
සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වා නිලධාරීන් අත වරදක් ඇත්නම් දඬුවම් දිය යුතුය. ඊටත් වඩා වැදගත් වන්නේ මේ සිද්ධිය අත්දැකීමක් කරගෙන යළි මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගැනීමය. අලි-ඇත් ජීවිතද මිනිස් ජීවිතද සොබාදහමේ නිර්මාණය. සොබාදහම අපි ආරක්‍ෂා කරගත යුතුවෙමු.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon