කයිවාරුකාරයෝ

  👤  4593 readers have read this article !
2017-04-20

"අවුරුදු බත් වෙනුවට මිනිසුන්ට කන්න වුණේ මළ බත්"
මීතොටමුල්ල කුණු කන්ද නාය ගොස් මිනිස්සුන් යටකොට දැමුවාට පසු බොහෝ දෙනා කීවේ එහෙමය.
ස්වභාවික විපත් සිද්ධවෙන එක සාමාන්‍ය දෙයක් වුණාට මේ විපත "කඹ ඇදීම හින්දාම" පාත් වෙච්ච හෙණ ගෙඩියක් බව හැමෝම කියන කතාවය. අවුරුදු දෙකකට කලින් හැදුව සංහිඳියා ආණ්ඩුවේ ඉන්නවාය කියන්නේ පක්ෂ දෙකේම සුපිරි බුලට්ය. පක්ෂ දෙක එකතු වුණාම රට තව්තිසාව කරන්නට පුළුවන් කියා කැට තැබූ දේශපාලන ඔස්තාර්ලා සොයා ගන්නටවත් නැත.

"මගේ සටන නිමාවුණා. මගේ දරුවො තුන් දෙනෙක් යට වෙලා. බිරිය හොඳටම අසාධ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. මට ඇඳිවත විතරයි ඉතුරු වුණේ. මම ගමක් වෙනුවෙන් සටන් කළේ. ඇයි මට මෙහෙම වුණේ..? ගමක් වෙනුවෙන් සටන් කළ මට අන්තිමට උරුම වුණේ මෙච්චරයි. මං ආයේ කවුරුන් වෙනුවෙන් සටන් කරන්නද..? අපි මේවා හැමදාම කිව්වා. මේ ටික වෙනවා කියලයි කිව්වේ. ඇයි මේක තේරුම් ගත්තේ නැත්තේ..? අපේ රටේ මහ එවුන්ට මේවා තේරුම් ගන්න බැරි වුණේ ඇයි..? අපි මේ ආණ්ඩුවට කිව්වා. ඊට කලින් ආණ්ඩුවටත් කිව්වා. එක්කෙනෙක්වත් මේවා සැලකුවේ නෑ. දැන් කුණු දමන්න තව ටිකක් ඉඩ ආවා. මේ ඉඩෙත් දාගනිල්ලා"

මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු එන්. කීර්තිරත්න ඉකිගසමින් කීවේ වියෝ වූ නෑසියන් දිහා බලාගෙනය.
කුණු කන්දක් හිස මත කඩා වැටෙන තුරු උත්තර හොයා ගන්න බැරි තරම් අබලන් ආණ්ඩුව දැන් දඟලන්නේ කුණු අනුන් පිට පවරන්නටය. මහා නගර හදන්න ගිය ඔස්තාර්ලා දැන් දඟලන්නේ මේ දවස් ටිකේ එකතු වෙන කොහේටහරි පටවන්නය.
"මේ ගැන හරි නම් ජිනීවා කොමිසමේ හුසේන් කුමාරයත් සොයන්න ඕනේ. මේක අනියම් මිනී මැරුමක්. ඒ මිනිස්සු අහන එකම දේ අපි ජීවත්වුණු තැනට කුණු ගෙනත් දැම්මේ ඇයි කියන එකයි. සමහර වගකිව යුතු අය අහනවා කුණුගොඩ ළඟින් අපේ මිනිස්සු ඉවත් වෙලා නොගියේ ඇයි කියලා. ඒ මිනිසුන්ට කුකුළු කූඩු වගේ නිවාස ලබාදුන්නාට ඒවාට යන්න පුළුවන්ද..? ලක්ෂ 15ක් දීලා යන්න කියලා කිව්වහම යන්න පුළුවන්ද..? මේ කුණු ප්‍රශ්නය නවත්වන්න පුළුවන්කම තිබුණා. එහෙත් උසාවිය පවා දන්නවා ඇයි එහෙම කරන්න බැරි වුණේ කියලා. මේ මානුෂීය අපරාධයට වගකිව යුතු අය සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කියලා අපි පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා."

මෙහෙම කියන්නේ වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයාය.
රට බබළන තැනට ගේනවා කීවේ ඒ ඔස්තාර්ලාය. එහෙම කයිවාරු ගැසූ සුපර්මෑන්ලා මේ ඛේදවාචකය වෙලාවේ කොහේ හිටියාද කියන්න දන්නේ නැත. කොළඹ කේන්ද්‍රීය දේශපාලනයේ ලොකු චරිතවලට මිනිස්සුන් උත්තර දුන්නේ "හූ" කියාය.
මහා නගර සංකල්පය හදා රට සුර පුරයක් කරන්නට ආ දේශපාලන තරු මේ මොහොතේ බැරි බැරියාව වසා ගන්නට බෝලේ පාස් කරමින් සිටී. ආසනය නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ අයට ලැබුණේ 'හූ' සංග්‍රහයයි. සමහර නායිකාවෝ පේන්නවත් නැත. නිරන්තරයෙන් ආව ගිය කෙනකුට හිටියේ සාගල රත්නායක ඇමැතිවරයා විතරය. විෂය භාර කිසිවෙක් මේ ඛේදවාචකය මොහොතේ සක්‍රියව මැදිහත් වුණේ නැත. අන්තිමට වුණේ බාල මිනී පෙට්ටියෙන් මිනිස්සුන්ට මිහිදන් වෙන්නටය. ආණ්ඩුව කුණු වෙන්න පටන් ගත්තේ මේ කුණු කන්දට පෙර සිටමය. යා දෙක නොරත රත ගමනක යන ආණ්ඩුවකින් රටට වෙන සෙතක් නැත. මේ ආණ්ඩුව තත්ත්පරයක් ගාණේ ඔප්පු කරමින් සිටින්නේ ඒ නොහැකියාවේ තරමය. අවුරුදු දෙකක් තිස්සේ රට යන්නේම ආපස්සටය.
සැලැසුම් කොතරම් තිබුණත් ඒවා ප්‍රායෝගික වන්නේ ක්‍රියාත්මක වන විටය. එසේ නොවන සියලු සැලසුම් සිහින ලෝකයේ මාලිගා පමණි. මේ ආණ්ඩුව කළේම සිහින පෙන්නා ඇහැරවන එකය. මේ විඳවන්නේ ඒ වේදනාවය. කුණු කන්ද නාය ගිය විගස අගමැති කීවේ " පොරොන්දුව අමතක වුණේ නැහැ. ඒත් ඛේදවාචකය වේගවත් වුණා." කියාය.

එහෙත් මේ ආණ්ඩුව කීවේ "තමන් තරම් කාර්යක්ෂම" ආණ්ඩුවක් කොහේවත් නැති බවය. සිද්ධිය වනතුරු නින්දේ සිටි ආණ්ඩුව හිටි ගමන් පටන් ගත්තේ පහුගිය ආණ්ඩුවට බනින එකය. ඒ ආණ්ඩුව ගෙදර යවා අවුරුදු 3ක්ම ගතවෙලා ඉවර බව යහපාලන ආණ්ඩුවට අමතකය.
2010දී නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න මහන්සි විය. ඒ දිනවල කොළඹ මනරම් ලෙස තිබූ බව කාටවත් අමතක නැත. බ්ලූමැන්ඩල් කුණු කන්දත්, මීතොටමුල්ල කුණු කන්දත් පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාලු ප්‍රදේශයට ගෙනියන්න ඔහු සැලසුම් කළ අතර අරුවක්කාලුවේ හුනුගල් හෑරීමෙන් සෑදුණු වළවල් සනීපාරක්ෂක කසළ රඳවන බවට පත් කිරීමට ඔහු සැලසුම් කළේය. එහෙම සැලසුම්කොට 2014 වසරේ අගෝස්තු මාසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන 2015 වසරේ මිලදී ගැනීම් සිදුකිරීමට රුපියල් බිලියන 2ක් වෙන්කර තිබෙන අතරේ ආණ්ඩු පෙරැළිය සිදුවිය.

"2017 පෙබරවාරි 8 වැනිදා මේ ව්‍යාපෘතියට මොකද වුණේ කියලා මෙගා පොලිස් ඇමැතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. ඇමැතිතුමා කිව්වා වනජීවී දෙපාර්තමේන්තුවේ විරෝධය නිසා ව්‍යාපෘතිය එම ස්ථානයේ කරන්න බෑ. එය වෙන තැනකට ගෙනියන්න අවශ්‍ය පාරිසරික අධ්‍යයනයන් කරනවාය කියලා. මීතොටමුල්ලේ කුණු කන්ද එහි තවදුරටත් පැවැතීමෙන් මතුවන පාරිසරික ප්‍රශ්නයද මේ කුණු කන්ද අරුවක්කාලු ප්‍රදේශයට අරගෙන යෑමෙන් සිදුවන පාරිසරික ප්‍රශ්නයද වැඩියෙන් උග්‍ර කියන එක ගැන සංසන්දනාත්මක අධ්‍යයනයක් කර ඇතිදැයි මම විමසූ විට අමාත්‍යවරයාගේ පිළිතුර වුණේ "නෑ" කියන එක."
උදය ගම්මන්පිල මේ කියන කතාවේ සාධාරණ තර්කයක් තිබේ.

පරිසරය කෙරෙහි දයාවන්ත යැයි කියන ආණ්ඩුව මේ ප්‍රශ්නයට විසඳුම් දෙයි කියා මීතොටමුල්ලේ ජනයා විශ්වාස කළේය. අන්තිමට කුණු කන්ද හිසේ කඩා වැටෙනතුරු විසඳුම් තිබුණේ නැත. ඒ මදිවට දැන් දිනපතා එකතුවන කුණු ටික ගෙනියන්නේ කොහේටද කියාවත් නිශ්චිත විසඳුමක් නැත. ලකුණු සොයාගෙන යෑමත් උද්ධච්ච මානසිකත්වයත් තියෙන අය ළඟ පවතින්නේ දැඩි ආත්මාර්ථකාමී බවකි. මේ ආණ්ඩුවට වැලඳී තිබෙන්නේ ඒ භයානක රෝගයයි.
ඔවුන් සංවේදී වෙන්නේ අවැදගත් කාරණාවලටය. අසංවේදී වන්නේ වැදගත් කාරණාවලටය.
දැන් කිඹුල් කඳුළු හෙළන මහත්වරුන් එකක් මතක තබා ගත යුතුයි. ඒ පීඩනය කොතැනදී හෝ පුපුරා යන බවය. ආණ්ඩුව මේ සිටින්නේ පුපුරන්න ඔන්න මෙන්න කියාතැනකය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්