මේ කුණු කාගෙද?

  👤  3697 readers have read this article !
2017-04-23

'කොළඹ කුණු අපිට එපා' කියමින් කුණු බැහැර කරන ස්ථාන පිහිටි ප්‍රදේශවල විරෝධතා ඉකුත් සති අන්තයේ දක්නට ලැබිණි.
‍ෙදාම්පේ-මාලිගාවත්ත ප්‍රදේශයේ ඉදිකර ඇති ඒකාබද්ධ අප්‍රද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියට කුණු ගෙන යෑමට බාධා කළ පිරිසට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිසියට සිදුවී තිබුණේ අදාළ නිලධාරීන් කරුණු පැහැදිලි කර දුන්නද ඔවුන් ඊට සවන් නොදීම නිසාය.

මීතොටමුල්ල ව්‍යසනයෙන් පසු කොළඹට එකතු වන කුණු බැහැර කිරීමට විකල්ප ස්ථාන සොයා ගැනීමට බලධාරීන්ට සිදුවිය. ඒ අනුව කරදියාන කසළ අංගණයට දිනකට මෙට්රික් ටොන් 350ක කුණු බැහැර කිරීමට කොළඹ මහ නගර සභාව අධිකරණයෙන් අවසර ලබා ගත්තේය. ඉතිරි කසළවලින් කොටසක් ‍ෙදාම්පේ කළමනාකරණ ව්‍යාපෘතියට ගෙනයෑමට බලධාරීන් තීරණය කළ අතර පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධය පළ කළේ එලෙස කුණු රැගෙන ගිය ලොරිවලටය.

‍ෙදාම්පේ ව්‍යාපෘතියට දිනකට කසළ ටොන් 90ක් පමණ කළමනාකරණය කිරීමේ හැකියාව තිබුණද ‍ෙදාම්පේ ප්‍රාදේශීය සභාවෙන් දිනකට ලැබෙන්නේ ටොන් 3කට අඩු ප්‍රමාණයක් බව ව්‍යාපෘතියේ කළමනාකාරවරයා ප්‍රකාශ කර ඇත. ඒ අනුව තවත් කසළ ටොන් 75ක් 90ක් පමණ දෛනිකව දරා ගැනීමේ හැකියාව ‍ෙදාම්පේ ව්‍යාපෘතියට තිබෙන බව පැහැදිලිය. මේ ව්‍යාපෘතිය ආරම්භයේ සිටම ඇතැම් ප්‍රදේශවාසීන් ‍ෙදාම්පේ කුණු මිසක කොළඹ කුණු රැගෙන ඒමට විරෝධය පළ කළේය. මේ තරම් ව්‍යසනයක් සිදුව තිබියදීත් තවදුරටත් මේ පිරිස සිටින්නේ පෙර සිටි අඥාන මතයේමය. නිලධාරීන් කරුණු පැහැදිලි කර දුන්නද අදාළ ප්‍රදේශය නියෝජනය කරන ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ ඇතැම් දේශපාලනඥයන් ඊට විරුද්ධ වන්නේ සාමාන්‍ය ජනතාවටත් වඩා අඥාන ලෙස හැසිරෙමිනි. විපක්‍ෂයේ දේශපාලනඥයන්ගේ හැසිරීම ගැන පුදුම වීමට දෙයක් නැත. එහෙත් ආණ්ඩු පක්‍ෂයේ ඇමැති ධුර දරන දේශපාලනඥයන් පවා වගකීම් විරහිතව හැසිරීම කනගාටුදායකය. සිහිබුද්ධිය ඇති ඕනෑම අයකුට අවබෝධ වන කාරණය නම් ‍ෙදාම්පේ ව්‍යාපෘතියේ මුළු ධාරිතාවට අවශ්‍ය 'කසළ ලබාදීමෙන්' කොළඹ කුණු ප්‍රශ්නය විස½දා ගැනීමට යම්කිසි දායකත්වයක් ලැබෙන බවය.

'කොළඹ කුණු අපට එපා' කීම පදනමක් නැති සටන් පාඨයකි. පුහු විරෝධයකි. මීතොටමුල්ල කණු කන්දට දායක නොවූවකු කොළඹ හා තදාසන්න ප්‍රදේශවලින් සොයාගත හැකිද? අනෙක කොළඹ ජීවත් වන පිරිසට වඩා පිරිසක් දෛනිකව කොළඹට ඇදී එති. ඒ නිසා මේ කසළ අපේ නොවේ යැයි කියා කිසිවකුට කට පුරා කිව නොහැකිය. මේ ව්‍යසනයේ වගකීම සියල්ලන්ම භාරගත යුතුය. එය පාලකයන් පිට පටවා අත පිසදා ගැනීමෙන් පලක් නැත. නිවෙසේ කසළ ටික, අතේ ඇති කසළ ටික කසළ ගොඩකට හෝ මාර්ගයකට හෝ පාළු ප්‍රදේශයකට විසිකර දමන මිනිස්සු එතැනින් සියල්ල අවසන් යැයි සිතති. එය එසේ නොවන බවට මීතොටමුල්ලේ ව්‍යසනය හොඳම සාක්කියකි. දේශපාලනඥයන් පමණක් නොව සාමාන්‍ය ජනතාවද සිය වගකීම ඉටුකර නැත. එකිනෙකාට ඇඟිලි දිගු කරන දේශපාලනඥයන් මෙන්ම 'කුණු' ව්‍යාපාරිකයෝ ජනතාව අතරින්ම මතු වූවෝ වෙති.

මේ රටේ පාලකයන් 69 අවුරුද්දක් තිස්සේ කළේ එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම හා කඹ ඇදීම යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් කියා තිබිණි. ජනාධිපතිවරයා ද ඉකුත්දා ප්‍රකාශ කර තිබුණේ එකිනෙකාට ඇඟිලි දික් කිරීම හා කඹ ඇදිල්ලේ සෙල්ලම නතර කර යළි මෙවැනි ඛේදවාචකයක් නොවීමට පියවර ගත යුතු බවය. හිසරදයට කොට්ට මාරු කරන්නා සේ 'කුණු' බ්ලූමැන්ඩල්වලින්, මීතොටමුල්ලටත් එතැනින් කරදියානටත් ගෙනයෑම විසඳුමක් නොවේ. ‍ෙදාම්පේ වැනි ව්‍යාපෘති තවත් කිහිපයක් වහා ඉදිකළ යුතුය. ‍ෙදාම්පේ ව්‍යාපෘතිය සාර්ථක නම් දුම්රිය මාර්ග අලුතෙන් සකස් කර 'කසළ' පුත්තලමට ගෙන යා යුතු නැත. එය මුදල් මෙන්ම කාලය වැය වන ව්‍යාපෘතියකි.
කොළඹ කසළ බැහැර කිරීම සඳහා හඳුනාගෙන ඇති තාවකාලික ස්ථානවලද කළ යුත්තේ හිස් ඉඩමට කසළ දැමීම නොව කසළ වළ දැමීමට ක්‍රියා කිරීමය. රුපියල් කෝටි ගණන් වැය කරමින් ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම, කෝටි ගණන් වැයකර ගොඩනැඟිලි කුලියට ගෙන වසා තැබීම වැනි නාස්තිකාර වැඩ නවතා ඒ මුදල් 'කොළඹ කුණු' ප්‍රශ්නය විසඳීමට යෙදවීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය. බණ්ඩාරගම, තිස්සමහාරාම වැනි ප්‍රාදේශීිය සභාවල සාර්ථක කසළ කළමනාකරණ අත්දැකීම් මත පළාත් පාලන ආයතන මට්ටමින් කසළ ප්‍රශ්නය විස¼දා ගැනිමට පියවර ගත හැකිය. ප්‍රධාන කාරණය වන්නේ මහජනයා දැනුවත් කරමින් කසළ ප්‍රශ්නය විසඳීම සාමුහික වගකීමක් බව ඒත්තු ගැන්වීමය. ඒ සඳහා පළමුව පාලකයන් මේ බරපතළ ප්‍රශ්නයේ ගැඹුර ගැන අවබෝධ කරගත යුතුය. අඩුම ගණනේ ඉදිරි තෙවසරේදී කොළඹ කුණු ප්‍රමුඛව රටේම කසළ ප්‍රශ්නයට විසඳුම් දීමට මේ ආණ්ඩුවට හැකි වුවහොත් එය ආණ්ඩුවේ මෙන්ම ජනතාවගේද ජයග්‍රාණයක් වනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon