සන්ධානයේ පක්‍ෂ රැසක් මහනුවරදී මහින්ද හමුවෙයි

  👤  5169 readers have read this article !
2017-04-23

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමාවට පත්වූයේ 32 දෙනකුට ජීවිත අහිමි කරමින් තවත් පිරිසක් අතුරුදන් කරමින් මීතොටමුල්ල කුණු කන්ද නාය යමින්ය. කුණු ප්‍රශ්නයට එදා මෙදා තුර කිසිදු ආණ්ඩුවක් විද්‍යාත්මක විසඳුමක් දීමට කටයුතු කොට නොමැති බව විද්වතුන්ගේ අදහසයි. එවැනි පසුබිමක් තුළ පක්ෂ - විපක්ෂ දේශපාලකයෝ එකිනෙකාට ඇඟිලි දිගු කරමින් සිටිති.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බ්‍රහස්පතින්දා මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා තිබුණේ එම ගැටලුවට විසඳුමක් දීමේ අරමුණින් විවිධ පාර්ශ්ව හා සම්බන්ධීකරණයක් සිදුකරමින් සිටියදීය. මෙරට තේ, රබර් ආදී අපනයන බෝගවලට හොඳ මිලක් ඇතිවෙමින් රට ක්‍රමයෙන් සංවර්ධන මාවතට යොමුවී ඇති බව එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.
පසුගිය ආණ්ඩුව අස්සන් කොට තිබූ පෝට්සිටි ගිවිසුම මෑත කාලයේ සිදුවූ විශාලතම පාවාදීම බවත් ඔහු කීය.
ඇතැම් ඇමැතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ විවේචනයට ලක්වූයේ එළැඹෙන වෙසක් පොහොයට පෙර වෙනස්කම් රැසක් සිදුකරන බවටද අවධාරණය කරමින්ය.

සයිටම් ආයතනය තනි පුද්ගලයකුගෙන් බැහැරව කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත ආයතනයක් බවට පත්කරන බවද එහිදී ඔහු කීවේය. මීතොටමුල්ල කුණු ප්‍රශ්නයට එකිනෙකාට ඇඟිල්ල දිගු කරනවා වෙනුවට ස්ථිර විසඳුමක් දීමට කටයුතු කරන බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජපාන නිල චාරිකාව අවසන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ ඉන් පසුව ගියේ වියට්නාමයටයි. එහෙත් කලින් සැලසුම් කර ගත් පරිදි එහි රැඳී සිටීමට අගමැතිවරයාට හැකිවූයේ නැත. ඒ මීතොටමුල්ල ඛේදවාචකය වාර්තා වීම නිසාය. ඔහු තම චාරිකාවේ අංග කිහිපයක් අවලංගු කරමින් බදාදා අලුයම දිවයිනට පැමිණියේය.
ඔහු මීතොටමුල්ල ප්‍රදේශයට ගොස් ජනතාවගේ ප්‍රශ්න සියැසින්ම දැකබලාගෙන ඊට විසඳුම්දීමට පියවර ගන්නා බව ජනතාවට සහතික විය. මෙහිදී ආවේගශීලී වූ ඇතැමෙක් අගමැතිවරයාට විරෝධතා දක්වන්නට වූ නමුදු ඒවා එතරම් සැලකිල්ලට ගැනීමට අගමැතිවරයා ක්‍රියා කළේ නැත.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය මීතොටමුල්ල කුණු කන්ද නායයෑම පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව කැඳවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබිණි. ඊට අවධානය යොමුකළ අගමැතිවරයා හදිසි පාර්ලිමේන්තු විවාදයක් ලබාදිය හැකි බව දැනුම්දී ඇත. පාර්ලිමේන්තුව අවුරුදු නිවාඩුවෙන් පසුව රැස්වීමට නියමිතව ඇත්තේ මැයි 03 වැනිදාය.

හිටපු ජනාධිපති මහින්ද පසුගිය සතියකට අධික කාලයක් ගත කළේ අවුරුදු චාරිත්‍ර වෙනුවෙන්ය. ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල යෑමටද ඔහුට සිදු විණි. ඔහුට හිතවත් දකුණු පළාත් සභා මන්ත්‍රි පිරිසක් මහින්ද හමුවට තංගල්ල කාල්ටන් නිවෙස වෙත පැමිණියේ අප්‍රේල් 13දා පරණ අවුරුදු දාය. මන්ත්‍රි කණ්ඩායම මහින්ද බැලීමට ගියේ කැවුම්, කොකිස්, පැණිමුල් ආදිය අසුරාගත් බටපොතු පෙට්ටිද රැගෙනයි. ඔවුන් වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා තේ පැන් සංග්‍රහයක්ද සූදානම් කර තිබිණි.
ඉන් පසුව මන්ත්‍රිවරු සම්ප්‍රදායෙන් බැහැර වූ තරග ඉසව් රැසකින් යුතු අවුරුදු උත්සවයකටද එහිදී සහභාගි වූහ. අලියාට ඇස තැබීම වෙනුවට පැවැත්වුණේ රත්තරන් අශ්වයාට ඇස තැබීමයි. සැඟවුණු අමුත්තා වෙනුවට බැංකු හොරා සෙවීම පැවැත්විණි. එහෙත් කාගෙත් සිත් ගත්තේ ලැම්බෝගිනි සෙවීමේ තරගයයි. අවුරුදු උත්සවය අවසානයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමුණේ මහින්ද අතින්ය. තෑගි ලෙස පිරිනැමුණේ සෙල්ලම් ලැම්බෝගිනි කාර් සහ හෙලිකොප්ටර්ය. රත්තරන් අශ්වයාට ඇස් තැබීමේ තරගයේ ජයග්‍රාහකයා වූයේ සම්පත් අතුකෝරල මන්ත්‍රිවරයාය. ඔහුට ත්‍යාග වශයෙන් මහින්ද අතින් ලැබුණේ හෙලිකොප්ටරයකි.

"සර් මේක නාමල්ගේ හෙලිකොප්ටරයක්ද?"යි ත්‍යාග ලබමින් සම්පත් මන්ත්‍රිවරයා විමසීය. "ඔව්, ඔව්, ඕක තමයි අර නාමල් කොළඹ ඉඳන්
නුවරඑළියේ ගිහින් රත්තරන් අශ්වයෝ පැදලා ආපසු කොළඹ එන්න පාවිච්චි කරපු හෙලිකොප්ටර් එක" මහින්ද ද පිළිතුරු දුන්නේය. තවත් තරගයකින් ජයග්‍රහණය කළ මන්ත්‍රිවරයකුට ලැබුණේ ලැම්බෝගිනියකි. එම ත්‍යාගය පිළිගත් මන්ත්‍රිවරයා "සර් මේක යෝෂිතගේද?" යැයි ඇසුවේය. "මේ මිනිස්සු චෝදනා කළාට අපේ ළමයින්ට මේ වගේ සෙල්ලම් ලැම්බෝගිනියක්වත් තිබුණේ නැහැ. තිබුණා නම් රට පුරා හොයපු හෙවිල්ලට හම්බ වෙන්න එපැයි" යැයි මහින්ද පිළිතුරු දුන්නේය.
අප්‍රේ්‍රල් 14 අවුරුදු දා කාල්ටන් නිවෙස වෙත පැමිණුනු අමුත්තන් අතර නියෝජ්‍ය ඇමැතිවරයකුද වූයේය. ඒ අනුරාධ ජයරත්නයි. ඔහු පැමිණ සිටියේ පියා වන දි.මු. ජයරත්න සමඟින්ය. ඔහු දුටු බොහෝ දෙනකු කුතුහලයට පත්වනු පෙනිණි. "ඇමැතිතුමාට ප්‍රශ්නයක් වෙයිද දන්නැහැ මෙහේ ආවා කියලා" එතැන සිටි පුද්ගලයෙක් විමසීය.
"එහෙම වෙන්නෙ කොහොමද මම අවුරුදු අටක් තිස්සේ අප්පච්චිත් එක්ක මහින්ද මහත්තයා බලන්න අවුරුද්දට එනවා. කවුරු මොනවා කිව්වත් මගේ ගමන නතර කරන්න බැහැ, මම යුතුකම් අමතක කරන්නේ නැහැ" පරිසර නියෝජ්‍ය ඇමැති අනුරාධ ඊට දුන්නේ එවැනි පිළිතුරකි.
බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රි කණ්ඩායම සමඟ ප්‍රසන්න රණතුංග ද හිටපු ජනපති මහින්ද හමුවන්නට තංගල්ලට ගියහ. ඒ පහළොස් වැනිදාය. ඔවුන් එහි යනවිට දිනේෂ්, බන්දුල, ඩලස්, පවිත්‍රා, ලොකුගේ ඇතුළු විශාල පිරිසක්ද එහි වූහ. ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව වූයේ පෙරදා සිදුවූ මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේ ඛේදවාචකයයි.
"අපට උදවු කරපු ගයානි මේනකා කියලා ගෑනු ළමයකුත් මේ සිද්ධියෙන් නැති වෙලා. ඇයගේ සැමියාත් දරුවන් දෙදෙනකුත් නැති වෙලා. ඉතිරි වෙලා තියෙන්නේ එක් දරුවෙක් පමණයි" මහින්ද කීවේ සංවේදී කතාවකි. "සිද්ධිය දැනගත්ත ගමන් මම ගයානිගෙ නංගිට කතා කළා. ඒ ළමයා මට කිව්වා ඉතුරු වෙච්ච පුතා එයාගෙම දරුවෙක් විදියට බලාගන්නවා කියලා. මමත් කිව්වා ඕන උදව්වක් කරන්නම් කියලා" මහින්ද වැඩිදුරටත් කීය. ඇය මහින්දගෙන් ඉල්ලා තිබුණේ මෙම දරුවා කුරුණෑගල ප්‍රදේශයේ පාසලකට ඇතුළු කිරීමට උදවු කරන ලෙසයි. එම ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බවද මහින්ද ඇයට දැනුම් දී තිබිණි.

"කුණු කන්දෙ පිහිටෙන් පාර්ලිමේන්තු ආපු හිරුණිකාලා, මරික්කාර්ලා ආගිය අතක් නැහැ" ප්‍රසන්න කීවේය.
මීතොටමුල්ල ඛේදවාචකය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටිය යුතු යැයි මෙහිදී තීරණය කෙරුණු අතර ඒ සම්බන්ධව ඉදිරි කටයුතු දිනේෂ්ට භාර කෙරුණේය.

"යන යන තැන මිනිස්සු හරි දුකින් කතා කරන්නේ, මිනිසුන්ට අවුරුද්දක්නම් පේන්නම නැහැ. හැමෝම ඔබතුමා ගැනමයි කියන්නේ" සී.බී. රත්නායක කීවේය.
"බලන්න දැන් නැකැත් හදන්න ගිහින් කරගත් වැඩේ. අපේ සංස්කෘතියට සම්ප්‍රදායට කොච්චර හානි කළාද? මං හිතන්නේ අපේ ජාතික අනන්‍යතාවට සැලසුම් සහිතව එල්ල කළ පහරක්" මහින්ද එම කතාබහට එක්වූයේ එලෙසින්ය.

මේ කතාබහට ප්‍රවීණ ජේ‍යාතිෂවේදී පියසේන රතුවිතානත් පැමිණියේය. "අයියෝ, සර් මේ අවුරුද්දට දී තිබෙන නැකැත් නම් හරි භයංකාරයි. මිනී පෙට්ටි උස්සන නැකැත් හැටියටයි මේ නැකැත් මට නම් පේන්නේ" ඔහු එසේ කියාගෙනම මහින්ද හමුවූවේය. "සර්, මේ ආණ්ඩුවට එකක්වත් හරියට කරගන්න බැරිව සමහර නායකයන්ට පිස්සු හැදිලා. ජීවත් වෙන්න පුළුවන් පරිසරයත් අහිමි වෙනවා. හැම තැනම ලෙඩ රෝග හැමතැනම කණු කසළ වැඩිය තියා අවුරුද්දට අඬන කොහාත් අවුරුද්ද අත්හැරලා" කුමාරසිරි හෙට්ටිගේ කීවේය. "බොරු චෝදනා දාලා අපේ ආණ්ඩුවේ නිලධාරීන් අපිත් හිරේ දාලා පාලනය කරගෙන යන්න ඕන කට්ටියකුයි ඒ වැඩේ දිගටම කරගෙන යන්න බැහැ කියන කට්ටියකුයි අතර ආණ්ඩුවේ සටනක් දැන් ආරම්භ වෙලා. අපි හිරේ දාන්න සැලසුම් කරන අයගේ සාකච්ඡා ගණනාවක විස්තර මට ආවා." නාමල් කීවේ එවැනි කතාවකි.

කතානායක කරු ජයසූරිය සිය බිරිය වෛද්‍ය වසන්තා ජයසූරිය එක්ව ගැමි ගෙදරක සිදුවන සියලු චාරිත්‍ර අකුරටම ඉටු කරමින් මෙවරද අලුත් අවුරුද්ද සැමරුවේ බම්බලපිටියේ පිහිටි සිය නිවෙසේදීය. කෙතරම් නාගරික පරිසරයක ජීවත් වුවද කිරි ගහකට කොටා උදැල්ලෙන් වැඩ ඇල්ලූ කතානායකවරයා අවුරුදු නැකැතට ධර්මාශෝක චරිතාපදානයද කියැවූයේය.

මීරිගම මහ ගෙරදට ගොස් අසල්වාසීන් සමඟ අවුරුදු චාරිත්‍ර ඉටු කරමින් සිටියදී කරු ජයසූරියට මීතොටමුල්ල නාය යෑමේ ඛේදවාචකය කන වැකුණි. එම නිසා මධ්‍යම රාත්‍රිය වනතුරුම සහන සේවා සපයන අදාළ අංශ සමඟ සම්බන්ධතා පවත්වමින් එම ජනතාවට පිහිටවීම සඳහා යුහුසුලු විය. ජපානයේ සිටි අගමැතිවරයාද කතානායකවරයා හා දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින් පවතින තත්ත්වය පිළිබඳ විමසීම් කළේය.

මේ අතර චම්පික රණවක ඇමැතිවරයා කතානායකවරයා සමඟද කුණු ගැටලුව විසඳීමේ අවශ්‍යතාව පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. කරු ජයසූරිය කොළඹ පුරපති ලෙස සිටියදී ලෝකයේ දියුණු රටවල භාවිත වන පරිසර හිතකාමී විද්‍යාත්මක කසළ රඳවනයක් මීපේ ප්‍රදේශයේ ඉදිකිරීමට ගත් උත්සාහය එකල සිටි දේශපාලනඥයන් දුරදිග නොබැලීමෙන් ව්‍යර්ථ වූ අයුරුද එහිදී ඇමැතිවරයා සිහිපත් කළේය.

අධ්‍යාපන ඇමැති අකිල සහ හිටපු අධ්‍යාපන ඇමැතිවරයකු වන බන්දුල ගුණවර්ධන අතර සුවිශේෂී හමුවක් ඉසුරුපායේදී අඟහරුවාදා පැවැත්විණි. අකිල විසින් අධ්‍යාපනයේ ප්‍රගමනයට කරන කාර්යයන් මෙහිදී බන්දුලගේ ඇගයුමට ලක් විය. බන්දුල වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රබල විවේචකයෙකි. එහෙත් ඔහු අගමැතිවරයාගේ විශ්වාසවන්තයකු වන අකිල හමුවීම දේශපාලන කේෂ්ත්‍රයේ ඉමහත් අවධානයට ලක් වූවකි. ඒ මහජන එක්සත් පෙරමුණෙන් දේශපාලනය ඇරැඹූ බන්දුල ප්‍රධාන පක්ෂ රැසකටම කරණම් ගැසූ අයකු වන නිසාය. හෝමාගම තාක්ෂණික විද්‍යා පීඨයක් ඉදිකිරීමට පසුගිය රජය සමයේ කොරියා රජයෙන් ප්‍රදානය කෙරුණු රුපියල් ලක්ෂ 720 යොදා ගනිමින් එම තාක්ෂණික විද්‍යාපීඨය එම ප්‍රදේශයේම ස්ථාපිත කරන ලෙසද එහිදී බන්දුල ඉල්ලා ඇත. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ගැටලු කිහිපයකට විසඳුම් දීමටද මෙහිදී අධ්‍යාපන ඇමැතිවරයා එකඟ වී ඇත.

අලුත් අවුරුදු උණුසුමේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා යුහුසුලුව සිටියේ 24 වැනි උදා ගම්මානය වන හම්බන්තොට, ගල්වැව "සත්මිතුගම" ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේ සංවිධාන කටයුතු පිරික්සමිනි. ඊට එක් විශේෂ හේතුවක් වූයේ මෙම උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙන්ඉචි සුගනුමා වෙත ඇරයුම් කර තිබීමය. තානාපතිවරයා කලින් දා රාත්‍රිය ලැඟුම් ගත්තේ හම්බන්තොට ෂැංග්‍රිලා සංචාරක හෝටලයේය. උත්සවය පැවැත්වෙන ස්ථානයට තානාපතිවරයා කැටුව යෑම සඳහා හෝටලය වෙත ගිය සජිත්ද සිය සුඛෝපභෝගී නිල රථයේ නංවාගත් ජපන් තානාපතිවරයා ප්‍රදේශයේ ජන ජීවිතය පිළිබඳ කතා බහ කළේය. සජිත් කීවේ "මේ වගේ දියුණු මහාමාර්ග පද්ධතියක සැප පහසු මෝටර් රථයක ගමන් කරනකොට අපට දැනෙන සුවය අභ්‍යන්තර ගම්මානවල ජීවත් වෙන දුප්පත් අහිංසක මිනිසුන්ට තවමත් උරුම වෙලා නෑ" කියාය. "සත්මිතුගම" ගම්මානය පිළිබඳ ඉමහත් සතුටට පත්ව සිටි තානාපතිවරයා කීවේ රටටම ආදර්ශයක් වන "උදා ගම්මාන" වැඩපිළිවෙළ පිළිබඳව ජපාන ව්‍යාපාරිකයන්, ස්වේච්ඡා හා සුබසාධන ආයතන දැනුම්වත් කර ඊට උපරිම මට්ටමින් ආධාර උපකාර ලබාදීමට තමන් කටයුතු කරන බවයි.

"සත්මිතුගම" උත්සවයෙන් පසුව කෙන්ඉචි සුගනුමා ජපාන තානාපතිවරයා ගියේ හම්බන්තොට පිහිටි ලංකා සෝල්ට් ලිමිටඩ් සතු ලේවාය හා ලුණු ඇසුරුම් සංකීර්ණය නැරඹීමටය. රජයට අයත් මෙම සමාගම වත්මන් පාලනය යටතේ රුපියල් ලක්ෂ 8,800ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවේදී තානාපතිවරයා දැනුම්වත් කරන ලද්දේ "පවර් පොයින්ට්" ඉදිරිපත් කිරීමක වාසියද උපයෝගී කර ගනිමිනි. තානාපතිවරයා මෙහිදී කීවේ බොහෝවිට රාජ්‍ය ආයතන යනු ප්‍රමාණවත් ලාභ නොලබන හෝ පාඩු ලබන ආයතන ලෙස වටහා ගෙන සිටි තමන් මෙම ආයතනය ලබා ඇති සාර්ථකත්වයෙන් විස්මයට පත්වූ බවයි. ජපානයේ මූල්‍ය ආයතන සහ ව්‍යාපාරික ආයතන සම්බන්ධ කරමින් මෙම ආයතනය තව තවත් ලාභ උපයන වෙළෙඳ ව්‍යාපාරයක් බවට පත් කරලීම සඳහා තමන් උපරිම උපකාර කරන බවටද තානාපතිවරයා පොරොන්දු විය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩලය ඉරිදා පැලවත්ත පිහිටි ප්‍රධාන කාර්යාලයේදී රැස්විය. ඉතාලියේ පැවැත්වෙන එතෙර අපි සංවිධානයේ වැඩසටහනකට සහභාගි වී සිටි පක්ෂ නායක අනුර කුමාර ඊට එක්ව සිටියේ නැත. මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වයන් මෙන්ම පක්ෂයේ ඉදිරි සැලසුම් පිළිබඳවද අවධානය යොමු වී තිබිණි.
"මේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙනවා වෙනුවට ආර්ථිකය පාවා දෙන, ජාතික ආරක්ෂාව පාවාදෙන ගිවිසුම් ගහනවා. ඒවා ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළාම උත්තර දෙන්න කල් ගන්නවා" එහෙම කිව්වේ බිමල්ය. "ඔව් ජනතාවගේ අවධානය වෙන පැත්තක තියෙද්දී ආණ්ඩුව හොර රහසේ මේ වැඩ ටික කරගෙන යනවා. මේ ගිවිසුම් ගැන ජනතාව තබා පාර්ලිමේන්තුවවත් දන්නේ නැහැ. ඒ නිසා මේ ගැන යළි යළිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න ඕන. දැන් අන්තිමට කුණු කඳුවලට මිනිස්සු යටවෙන රටක් බවට පත්වෙලා" ටිල්වින් කීවේය.
ජවිපෙ මෙවර මැයි දින රැලි දෙකක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ. මේ මැයි රැලි දෙකෙහි සංවිධාන කටයුතු පිළිබඳ දේශපාලන මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

"යාපනයේ අපි කරන මැයි රැලියට දැනටමත් විශාල ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. ඒ ප්‍රදේශවල ජනතාව ගොඩක් උනන්දුවෙන් මේ ගැන කතා කරනවා කියලා රාමලිංගම් සහෝදරයා කිව්වා. ඒ ජනතාවටත් මේක හොඳ අද්දැකීමක් වෙයි" විජිත හේරත් කීවේය.
"මැයි දිනය සමරන්න ඇත්ත අයිතිය තියෙන්නෙ වැඩ කරන ජනතාවට. මැයි රැලියේ රතුපාට එක එක්කෙනා නිල් පාටින්, කොළ පාටින් සරසන්න හදනවා. ඒත් ඒකෙන් ඇත්ත මැයි දින සැමරුමක් සිදුවන්නේ නැහැ. මේ ගැනත් ජනතාව දැනුවත් කරන්න ඕන. මැයි දිනයට කලින් අපි සම්මන්ත්‍රණයක් කරනවා. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විධියට මැයි දිනයේ ඇත්ත උරුමය කාටද කියලා" එහෙම කීවේ ලාල් කාන්තය.

යාපනයේදී පැවැත්වෙන මැයි රැලිය ධීවර, ගොවි සංවිධාන, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් සහ තවත් සිවිල් සංවිධාන ගණනාවක සහභාගිත්වයෙන් පැවැත්වේ. එහි තේමාව "ජාතික සමඟිය හා සාමානාත්මතාව සඳහා සමාජවාදය" යන්නයි. එය අප්‍රේල් 30 වැනිදා සවස යාපනය මුත්තවලි පිටියේදී පැවැත්වීමට නියමිතය. මැයි 1 වැනිදා ප්‍රධාන මැයි රැලියට අදාළ පෙළපාළිය දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණයෙන් අරඹා බී.ආර්.සී. පිටියෙන් අවසන් කිරීමටද නියමිතය. එහි තේමාව "ආර්ථික සංවර්ධනය සමාජ සාධාරණත්වය, ජාතික සමඟිය වෙනුවෙන් ජනබලය ගොඩනඟන රතු මැයි රැලිය" යන්නයි.

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීම බදාදා පැවැත්වුණේ විමල් වීරවංශ මන්ත්‍රිවරයාට අප්‍රේල් 7 ඇප ලැබීමෙන් අනතුරුවයි. මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම, රටේ වත්මන් අර්බුද මෙන්ම පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳද මෙහිදී අවධානය යොමු වී තිබිණි.
"අද මේ රට අම්මෙක් අප්පෙක් නැති පවුලක් බවට පත් වෙලා. රටේ නිසි මෙහෙයවීමක් නැහැ. වෙන කිසිම දෙයක් හරියට සිදු නොවන මේ රටේ සතුරු න්‍යාය පත්‍රය නම් හරියට ක්‍රියාත්මක වෙනවා" විමල් එහිදී කීවේය.

පක්ෂයේ ඇතැම් දේවල්වලට පක්ෂ නායකයාගේ පවුලේ අය අනවශ්‍ය අතපෙවීම් කරන බවටද මෙහිදී චෝදනාවක් නැඟිණි. එවැනි දේවල් සිදුවීමට ඉඩ නොතබන බව එහිදී පක්ෂ නායකයා අවධාරණය කළේය.
මැයි දිනය වෙනුවෙන් සියලුම දිස්ත්‍රික්කවල ක්‍රියාකාරී හමු පැවැත්වීමටද මෙහිදී යෝජනා කෙරිණි. ඒ අනුව වීමල්, වීරකුමාර, ජයන්ත, උදයශාන්ත හා නිරෝෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඇතුළු පක්ෂ නායකයෝ දිස්ත්‍රික්ක බෙදා ගනිමින් එම කටයුතු සිදු කිරීමට කතිකා කර ගත්හ.
එමෙන්ම බන්ධනාගාර ගත කොට සිටි විමල් වීරවංශ රචිත "රටට උවමනා වම" සහ "යදමින් බැඳි අක්ෂර" කෘති මැයි දින සැමරුමෙන් අනතුරුව ජනගත කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.

අගමැතිවරයා සමඟ වියට්නාම චාරිකාවට එක්ව සිටි මහින්ද අමරවීර මෙරටට පැමිණියේ බ්‍රහස්පතින්දාය. ඔහු අලුත් අවුරුද්දට වැඩ ඇල්ලීමට අමාත්‍යාංශයටද එදින ගියේය. දහවල් කාලයේ විවිධ හමුවීම් රැසකටද එක්ව සිටි ඔහුට අමාත්‍යාංශයට යනවිට කුසගින්න තදින්ම දැනී තිබිණි. එහෙත් කෑමට කිසිවක් සොයාගැනීමට හැකිවූයේ නැත. පාන් භාගයක් සහ පරිප්පු වෑංජනයක් ගෙන්වා ගැනීමටත් බොහෝ වේලාවක් ගතවිය. දිවා ආහාරය ඉන් සරි කරගත් ඇමැතිවරයා එතැන සිටි නිලධාරීන්, හිතවතුන් සමඟ සුහද කතාබහක නියැළෙන්නට ද අමතක කළේ නැත. "කැබිනට් සංශෝධනය වන බවට ආරංචි පැතිරීම නිසා මාස දෙක තුනක් තිස්සේ රාජ්‍ය ආයතන මන්දගාමී වෙලා. නව ව්‍යාපෘති නිර්මාණය කෙරෙන්නේ නැහැ" ඔහු එහිදී සඳහන් කළේය.

මහින්ද 16දා නුවරඑළියට ගියේ සී. බී. ගේ ඇරයුමක් අනුවයි. මහින්ද නුවරඑළියේ නැවැතී සිටි හෝටලයට සඳුදා අමුත්තෝ කිහිප දෙනෙක්ද පැමිණියහ. ඒ සරත් මනමේන්ද්‍ර, එස්. සතාසිවම් හා සිරිපාල ගම්ලත් ඇතුළු පිරිසකි. ඉදිරි මැතිවරණයේදී මහින්දට සහාය දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකාර පක්ෂවල සූදානමද මෙහිදී කතාබහට ලක් වූයේය. පසුගිය ජනාධිපතිවරණයේදී එම පක්ෂ බොහොමයක් මහින්දට විරුද්ධව කටයුතු කළේය. එහෙත් ඉදිරි මැතිවරණයකදී මහින්දට සහාය පළ කිරීමට සූදානමින් සිටින එම පක්ෂවල නායකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් නුදුරු දිනකදී මහින්දගේ ප්‍රධානත්වයෙන්
කොළඹදී පැවැත්වීමටද එහිදී සැලසුම් සකස් කෙරිණි.

මීතොටමුල්ල ඛේදවාචකයට ජනතාව සෘජුව ඇඟිල්ල දිගු කරන්නේ බලය පාවිච්චි කළ දේශපාලනඥයන්ටයි. එහෙත් ඔවුහු එය අතීතයට හෝ අනාගතයට බැර කරමින් එම චෝදනාවෙන් ගැලවෙන්නට දරන උත්සාහයද ජනතාව හොඳින් අවබෝධ කරගෙන සිටිති. මීතොටමුල්ලට ගිය දේශපාලනඥයන්ට ජනතාව "හූ" කියමින් විරෝධතා දැක්වූයේ ඒ නිසාය. තවත් බොහෝ දෙනකුගේ මීතොටමුල්ල "සංචාර" වැළකුණේද "හූ" පාරවල් කන්නට අකමැති නිසාය.
පසුගියදා දේශපාලන කටයුතු කිහිපයක් සඳහා කැනඩාවට ගොස් සිටි සුනිල් හඳුන්නෙත්තිට කසළ ප්‍රතිචක්‍රියකරණය සඳහා සමාගමක් පවත්වාගෙන යන ශ්‍රී ලාංකිකයකු හමුවීමට අවස්ථාව උදා විය. සුදේශ් නමැති එම තරුණයා ටොරන්ටෝ නගරයේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රියකරණය කොට සාදනු ලබන

නිෂ්පාදනයක් ඇමැරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට අලෙවි කරයි. ඔහු සමඟ කතාබහ කරමින් සිටි හඳුන්නෙත්තිට මීතොටමුල්ල කුණු කන්දට ව්‍යාපෘතියක් ඉදිරිපත් කිරීමට ගොස් ඔහුට අත්විඳීමට සිදුවූ අමිහිරි අද්දැකීමක්ද එම තරුණයා විස්තර කළේය. "මම කැනඩාවට ආවේ ජොබ් එකක් හොයාගෙන. ඒත් දැන් මම කැනඩාවේ ව්‍යාපාරයක් කරනවා. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රියකරණය කරනවා. මගේ යාළුවන්ගේ ඉල්ලීමකට අනුව මීතොටමුල්ල කුණු කන්දටත් මම ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළා. එහෙම කළේ ශ්‍රී ලංකාවට ආදරේ නිසයි. ඒ වෙලාවෙ තිබුණු රාජපක්ෂ ආණ්ඩුවෙ ඇමැතිවරයෙක් මේ ව්‍යාපෘතියෙන් 50%ක අයිතිය ඉල්ලුවා. මට ලොකු කලකිරීමක් ඇති වුණා. බී.ඕ.අයි. අනුමැතිය තිබිලත් අන්තිමට මම ව්‍යාපෘතිය අත්හැරියා" ඔහු මන්ත්‍රිවරයාට කීවේය.

ඇමැති වජිර සිංහල සිරිතට මුල් තැන දෙමින් ගාල්ල, උළුවිටිකේ සිය නිවෙසේදී අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමට සහභාගි වූයේ අලුත් අවුරුදු දින උදෑසනමය. ඒ වනවිටත් ඇමැති වජිරට සුබ පැතීම සඳහා ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රිවරු ඇතුළු විශාල පිරිසක් උළුවිටිකේ නිවෙසට පැමිණ සිටියහ. පැමිණි සැමටම වජිර ඉතා සුහදව කතා කරමින් ඔවුන්ගේ සැප දුක් විමසීමට අමතක නොකළ අතර ඒ සැම හා ගනුදෙනු කිරීම සුවිශේෂත්වයක් විය.
අවුරුදු දින සවස් වනවිට ඇමැති වජිරට ලැබුණු දුරකතන ඇමතුමකින්
දැන ගන්නට ලැබුණේ මීතොටමුල්ල කුණු කන්ද නාය යන බවය. එම ඇමතුම ලද සැණින් ඇමැති වජිර ක්‍රියාත්මක විය.

අගමැති රනිල් ද ජපානයේ සිට වජිරට දුරකතනයෙන් කතා කර විපතට පත් වූවන්ගේ සහන කටයුතු පිළිබඳව සොයා බලන ලෙස උපදෙස් දුන්නේය.
බදාදා උදෑසන ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති විපතට පත්වූවන්ට සහන සැලසීමේ සාකච්ඡාව සඳහා ඇමැති වජිර ද එක් විය. මේ සඳහා අනුර ප්‍රියදර්ශන, විජයදාස රාජපක්ෂ, චම්පික රණවක, සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරු ඇතුළු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රිවරු රැසක්ද එක්ව සිටියහ. සාකච්ඡාව අවසන් වී අමාත්‍යාංශයේ පඩිපෙළ බසින විට "වජිර යමු මාත් එක්ක. නායක හාමුදුරුවන්ට අවුරුද්දට සුබ පතන්න" යැයි ජනපති මෛත්‍රි කීවේය. ඇමැති වජිර ද සිය රථයේ නංවා ගත් ජනපති කෙළින්ම ගියේ ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේට අවුරුද්දට සුබ පැතුම් එක් කිරීමට හා උන්වහන්සේගෙන් ආශීර්වාද ලබා ගැනීමටය.

රෝස්-ජෝන්
රොස් පරොස්

සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු මහත්මිය අතර කලක සිට පැවැති දේශපාලන එදිරිවාදිකම් පසුගිය දවස්වල මෙරට දේශපාලනයේද ප්‍රමුඛ පුවතක් බවට පත්විය. ඔවුන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කිරීමද ඊට හේතුවක් විය.
ඔවුන් දෙදෙනාගේ මෑත කාලීන ගැටුමට හේතු වී ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළේ කුලී මෝටර් රථ සංගමය සඳහා බලපත්‍ර 5ක් ලබාදීමට ජෝන් අමරතුංග ඇමැතිවරයා කටයුතු කිරීම නිසාය. ඒ වන විට කුලී මෝටර් රථ සංගමයේ සාමාජිකයෝ 135 දෙනෙක් සිටියහ. නව වසර සඳහා ඔවුන්ට ධාවන බලපත්‍ර ලබා දීම ඇමැතිවරයා ප්‍රතික්ෂේප කළේ තම හිතවතුන් 5 දෙනකුට බලපත්‍ර ලබා දීමේ කර්තව්‍ය ඉටුවන තුරුය. එහෙත් ඊට පළාත් සභා මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු විරෝධතාව පළ කෙළේ ඇමැතිවරයා යහපාලනය ජෝන් බාස්ට යවන බව කියමින්ය. ඇය එතෙකින් සෑහීමකට පත් නොවී ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය නතර කරන ලෙස එජාපයෙන්ද ඉල්ලා සිටියාය. එය ඉටු නොවූ කල පසුගිය 19 වැනිදා කටාන එජාප ආසන සංවිධායක ධුරයෙන්ද ඉල්ලා අස්වූවාය.
කෙසේ වෙතත් මේ වන විට ගැටුම තාවකාලිකව සමථයකට පත්වී ඇත. ඒ කුලී රථ සංගමයට ධාවන බලපත්‍ර පිරිනැමීමට ඇමැතිවරයා එකඟ වීමත් සමඟින්ය. මේ ගැටුම සම්බන්ධව ජෝන් අමරතුංග ඇමැතිවරයා මෙන්ම රෝස් ප්‍රනාන්දු මන්ත්‍රිවරියත් 'මව්බිම'ට අදහස් ප්‍රකාශ කළහ.
ජෝන් අමරතුංග ඇමැතිවරයා කීවේ මෙවැනි කතාවකි.
'කුලී රථ සංගමයට දේශපාලන ඇඟිලි ගැසීම් අනවශ්‍යයි. ගුවන් තොටුපොළේ රියැදුරන්ගේ ගමන් බිමන් සඳහා අවසර පත්‍ර ලබා නොදීම නිසා විශාල පාඩුවක් වූ බව මාධ්‍යවල පළ වුණා. මේක රියැදුරන්ගෙ ප්‍රශ්නයක් වුණත් දේශපාලනය කරන ඇතැම් අය මේකට මැදිහත්වෙලා කෑ ගැහුවා. ඒක වැරැදියි. මම දන්නෙ නැහැ. දේශපාලනඥයන් ඒ අයගෙන් පගාව ගන්නවද කියලා.
ගුවන් තොටුපොළේ යම් කිසි පිළිවෙළක් තියෙන්න ඕන. වාහන දමා ගන්න මිනිස්සු පොර කනවා. තවත් වෙලාවක සංචාරකයන්ගෙ අතින් අදිනවා. මේවා විය යුතු දේවල් නෙවෙයි.
මේවට සම්බන්ධ අය පක්ෂයේ සංවිධායක තනතුරුවලින් ඉවත් වුණාට ප්‍රශ්නයක් නැහැ. එක්කෙනෙක් ඉවත් වුණා, තව දහ දෙනෙක් ඉන්නවා ඒ තනතුරුවලට එන්න. මට නම් පක්ෂයෙන් ප්‍රශ්නයකුත් නැහැ.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කෙළේ මෙවන් අදහසකි.
'ගුවන් තොටුපොළේ ටැක්සි සේවාවලට සේවා කවුළුවක් දමන්න කටයුතු කළා. පසුගිය ආණ්ඩුවේ සිටි සරත් ගුණරත්න නියෝ්‍ය ඇමැතිවරයා ටෙන්ඩර් ක්‍රමයකින් තොරව කරපු එම වැඩ අපි නිවැරැදි කරන්න උත්සාහ කළා. ඒත් ජෝන් ඇමැතිවරයා එම සේවා සඳහා එයාගෙ උදවුකරුවන් 5 දෙනෙක් ඇතුළු කරන්න නීත්‍යනුකූල නොවන ලෙස කටයුතු කළා. ඒකට විරුද්ධ වුණාම ප්‍රවාහන බලපත්‍ර ලබා දීම නතර කළා. මේවා යහපාලනයට සුදුසු නැහැ. පක්ෂයෙන්වත් මේවට විරුද්ධව කටයුතු කළේ නැහැ. මේවට එරෙහිව තමයි මම කටාන එජාප සංවිධායක ධුරයෙන් ඉවත් වුණේ. කවුරු හරි වැරැදි දෙයක් කළොත් මම ඉදිරියටත් ඊට විරුද්ධව නැඟී සිටිනවා. කාටවත් කොන්ද නමන්නේ නැහැ.
දෙනගම ධම්මික රණවීර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon