පෞද්ගලික රෝහල් හා සේවා ගාස්තු

  👤  3172 readers have read this article !
2017-04-24

දිවයින පුරා පෞද්ගලික රෝහල් විවෘතව ඇත. අතමිට සරු අය ප්‍රමුඛව සැලකිය යුතු පිරිසක් පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගනිති. එහෙත් වෛද්‍ය සේවා සඳහා අය කරන ගාස්තුවලට නියාමනයක් නැත. ඒ ඒ රෝහල්වලට අවශ්‍ය ආකාරයට ගාස්තු නියම කර ඇත.

පෞද්ගලික රෝහල්වල ප්‍රධාන අරමුණ ලාභයයි. එය වූ කළි පොදුවේ ගත් කල පෞද්ගලික අංශයේ ප්‍රතිපත්තියය. රාජ්‍ය අංශයේ සේවා සැපයීම ප්‍රමුඛ කාර්යය වුවද පෞද්ගලික අංශයට එය ද්විතීයික කාරණයකි. පෞද්ගලික රෝහල් ගනුදෙනු කරන්නේ රෝගීන් සමඟ වුවද එහි වෙනසක් නැත. එහෙත් මේ තත්ත්වය වෙනස් විය යුතුය. හේතුව වෛද්‍ය ප්‍රතිකාර යනු මිනිස් ජීවිත සමඟ කරන ගනුදෙනුවක් වන නිසාය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ප්‍රකාශ කර තිබුණේ පෞද්ගලික රෝහල් සේවා ගාස්තු නියාමනය කිරීම සඳහා පියවර ගන්නා බවය. පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ගාස්තු හා රසායනාගාර සේවා ගාස්තු නියම කිරීම එහි අරමුණ වේ. කිසිදු නියාමනයකින් තොරව ඇරැඹුණු මෙවැනි සේවා මේ වනවිට යම් නියාමනයකට යටත්ව ඇත. පෞද්ගලික මගී ප්‍රවාහන සේවය එවැන්නකි. ආරම්භයේදී ඔවුන් ප්‍රවේශපත් නිකුත් කළේ නැත. දිවයින පුරා සෑම මාර්ගයකම ධාවනය කරන බස් රථ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම තවමත් සිදු නොවුවද එහි යම් ප්‍රගතියක් දක්නට ඇත. අනෙක කුලී ත්‍රිරෝද රථ සේවයයි. හිතුමනාපයට අය කළ ගාස්තුව වෙනුවට නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල හෝ මීටර් සහිත ත්‍රිරෝද රථ ධාවනය වීම නිසා මගී ජනතාවට කිසියම් අස්වැසිල්ලක් ලැබී තිබේ.

පෞද්ගලික රෝහල්වලට නියාමනයක් තිබිය යුත්තේ එකී. ව්‍යාපාරයට බාධා කිරීමට නොව රෝගී ජනතාවගේ සුරක්ෂාව වෙනුවෙනි. පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන රෝගියකු දැඩි ලෙස රෝගාතුර වූ විට ජාතික රෝහලට භාර ගැනීමට සිදුවූ අවස්ථා ඕනෑ තරම් ඇත. නේවාසිකව ප්‍රතිකාර ලද රෝගියා මියගිය පසු හෝ රෝගියාව රජයේ රෝහලකට ඇතුළත් කිරීමට අවශ්‍ය වූ විට හෝ ලක්ෂ ගණනක් වූ "බිල" සම්පූර්ණයෙන් ගෙවනතුරු රෝගියා රෝහලෙන් නිදහස් නොකළ අවස්ථා තිබේ. ඇතැම් විට ඇපයට පවුලේ අයකු තබාගත් අවස්ථා ගැනද වාර්තා වී තිබිණි. දිනයක් දෙකක් පෞද්ගලික රෝහලක සිටියද බිල, දහස් ගණනින් ගෙවීමට සිදුවේ. හදිසියේ බෙහෙතක් විද ගැනීමට පෞද්ගලික රෝහලකට යන්නකුට සෙසු ගාස්තුවලට අමතරව බෙහෙත විදීම වෙනුවෙන් වෙනම ගණනක් ගෙවීමට සිදුවන තරමට 'ගාස්තු' අය කිරීම අසාධාරක මට්ටමක පවතී.

තත්ත්වය එබඳු වුවද පහසුකම් ඉහළ නිසා රජයේ රෝහල්වලට නොයා සැලකිය යුතු පිරිසක් පෞද්ගලික රෝහල්වලට යති. දිවයින පුරා පෞද්ගලික රෝහල් විවෘත වෙමින් පවතින්නේද ඒ නිසාය. මින් බහුතරය සේවා සැපයීමේදී ප්‍රමිතියකට නැත. ඉන් ගුණාත්මක සේවාවක්් ලැබෙනවාද යන්න ප්‍රශ්නයකි.
ඒ නිසා පමා වී හෝ ගැනීමට යන මේ පියවර කාලෝචිතය. වැදගත්ය. සියලු පෞද්ගලික රෝහල් ශේ‍ර්ණිගත කර ප්‍රමිතියකට හා නියාමනයකට යටත් කළ යුතුය. ඊට එරෙහි වීමට කිසිවකුට අයිතියක් නැත. මිනිස් ජීවිත යනු සෙල්ලමක් නොවන හෙයින් උසස් සේවාවන් සපයා සාධාරණ මුදලක් අයකර ලාභය සාක්කුවේ දමා ගැනීම වරදක් නොවේ. රෝගීන් සූරා කෑමට කිසිවකුට ඉඩ තැබිය යුතු නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon