පාසල් දරුවන් අතර සැරිසරන ‘යක්කු’

  👤  2828 readers have read this article !
2017-04-25

එච්.අයි.වී. වයිරසය ආසාදිත වූ පාසල් ශිෂ්‍යයකු ගැන කළුතරින් වාර්තා වූයේ මීට මාසයකට පමණ පෙරය. පාසල් වයසේ දරුවන්ට එච්.අයි.වී. වයිරසය ආසාදනය වීමේ අවදානමක් මතුව ඇතැයි අනතුරු ඇඟවෙද්දී පාසල් දරුවන් අතර ලිංගාශ්‍රිත රෝග හෙවත් සමාජරෝග පැතිරයෑමේ අසුබ ආරංචියක් කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් වාර්තාවී තිබේ.

ඊයේ දිනපතා 'මව්බිම' පුවත්පතේ පළවූ මුල් පුවතින් කියැවුණේ ලිංගාශ්‍රිත රෝග හෙවත් සමාජ රෝග වැලඳී රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන්නන් අතර සුළු වශයෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටින බවය.
සුළු ප්‍රවණතාව විශාල වීමට ප්‍රථම වගකිවයුත්තන් මේ ගැන අවධානය යොමු කළ යුතු බව රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී නිහාල් එදිරිසිංහ ප්‍රකාශ කර තිබිණි. 2016 වසරේ එම ඒකකයේ සායනයට පැමිණි පිරිසෙන් 1560ක් ස්ථිර වශයෙන්ම සමාජ රෝග වැලඳුණු අය බව හඳුනාගෙන තිබේ. හර්පීස්, ගොනෝරියා, සිපිලස්, ලිංගික ඉන්නන් සහ ගොනෝරියා නොවන එහෙත් මුත්‍රාමාර්ග හා ගැබ්ගෙල ආසාදන සහිත රෝගීන් ඒ අතරේ සිට ඇත. සමාජ රෝග වැලඳී ඇති සංඛ්‍යාව අනුව ඉදිරි කාලයේදී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද වැඩි වශයෙන් එම රෝගවලට ගොදුරුවීමට ඇති ඉඩකඩ වැඩිය.
ඒ කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් ලැබෙන වාර්තාවකි. දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල තත්ත්වය කුමනාකාරද යන්න පැහැදිලි නැත. අනිවාර්යයෙන්ම මෙවැනි අනතුරුදායක වාතාවරණයක් සෙසු දිස්ත්‍රික්කවල තිබිය යුතුය. එනිසා පාසල් ප්‍රධානීන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුම්වත් කිරීම නොපමාව කිරීම කාලෝචිතය. දරුවන් පාසලේ සිටින්නේ ඉන් බැහැරව සිටින කාලයට වඩා අඩු කාලයක් වුවත් ගුරුවරුන්ට දරුවන් සමඟ ගොඩනඟාගත හැකි සබඳතාව මවුපියන්ට වඩා සවිමත්ය.
උගත්යැයි සැලැකෙන ගුරුවරුන් දැනුම්වත් පිරිසක්ය යන අදහස දරුවන් තුළ තිබේ. දරුවෝ ගුරුවරුන්ව විශ්වාස කරති. අනෙක කරුණු කාරණා දරුවන්ට පහදා දීමේදී මවුපියන්ට වඩා ගුරුවරුන් සිටින්නේ ඉදිරියෙනි. ඒ හැකියාව හා විශ්වාසය පාවිච්චි කරමින් පාසල් දරුවන් නොමඟ යෑමෙන් වළක්වා ගැනීමට ගුරුවරුන්ට පැවරෙන කාර්යභාරය සුවිශේෂීය.

අනවශ්‍ය ලෙස නවීන තාක්ෂණික උපකරණවලට විශේෂයෙන් ජංගම දුරකතනවලට දරුවන් යොමුවීම වැළැක්වීම, ලිංගික අධ්‍යාපනය උපරිමාකාරයෙන් ලබාදීම, දරුවන් සමඟ සුහද ගනුදෙනුවක් පවත්වාගෙන යෑම මෙහිදී අනිවාර්යය.
සමාජ විරෝධීන්හට දරුවන්ගේ මොළ ශෝධනයට ඉඩ නොදී, දරුවන්ව වරදට පොලඹවා ගැනීමට ඉඩනොදී, රැක ගැනීම ලෙහෙසි පහසු නැත. ගුරුවරුන් අතර පමණක් නොව මවුපියන් අතර පවා නරුමයන් සිටින, මුදල් පසුපස හඹා යන, මිථ්‍යාවට වැඩි ඇල්මක් දක්වන මෙවැනි සමාජයක මල් වැනි සිත් පරිස්සම් කර ගැනීම දුෂ්කර ව්‍යායාමයකි. එහෙත් සබුද්ධික වැඩිහිටියන් ඒ දුෂ්කර කාර්යය වගකීමෙන් භාරගත යුතුව ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon