තෙල් සහ ටැංකි

  👤  3351 readers have read this article !
2017-04-26

ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති ඉකුත් 23දා මධ්‍යම රාත්‍රියේ ඇරැඹූ අඛණ්ඩ වැඩ වර්ජනය අගමැතිවරයා සමඟ කළ සාකච්ඡාවකින් පසු 24 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරිණි. ඛනිජ තෙල් සංස්ථාව හෙවත් සිපෙට්කෝ සේවකයන් මේ වැඩ වර්ජනය ඇරැඹුවේ ත්‍රි'මලේ තෙල් ටැංකි ඉන්දියාවට විකුණා නොදමන ලෙසත්, හම්බන්තොට තෙල් ටැංකි චීනයට නොපවරන ලෙසත් ආණ්ඩුවට බල කිරීමටය.

ත්‍රි'මලේ චීන වරාය තෙල් ටැංකි '99 ඉන්දීය තෙල් සමාගමට හෙවත් ධ්ර්ණීඛ් යට පවරා නොදීම ඇතුළු වෘත්තීය සමිති ඉල්ලීම් තුනට එකඟ බවට අගමැතිවරයා ලිඛිතව දුන් පොරොන්දුව මත වැඩ වර්ජනය අවසන් කළ බව දැනගන්නට ඇත. සෙසු ඉල්ලීම් වී තිබුණේ තෙල් පිරිපහදුව නවීකරණය කිරීම හා හම්බන්තොට තෙල් බෙදා හැරීමේ පහසුකම් තෙල් සංස්ථාව යටතට ලබාදීමය. අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සිය ඉන්දීය සංචාරයේදී තෙල් ටැංකිවලට අදාළ කිසිදු ගිවිසුමක් අස්සන් නොකරන බවත්, යම් ගිවිසුමක් අස්සන් කරන්නේ නම් අදාළ වෘත්තීය සමිති දැනුම්වත් කරන බවත්ය.

සිපෙට්කෝ සේවකයන් ඇරැඹූ වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනේ සමස්ත ප්‍රවාහන කටයුතුවල අඩාළවීමක් සිදුවී තිබිණි. වර්ජනය ඇරැඹීමට පෙර සිටම ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ දිගු වාහන පෝලිම් දක්නට ලැබුණු අතර වැඩ වර්ජනය පැවැති ඉකුත් 24දා දහවල් වන විට බොහෝ පිරවුම්හල්වල ඉන්ධන අවසන්ව තිබුණේය. අවසානයේ වාහන හිමිකරුවන්ට පිහිටට හිටියේ ධ්ර්ණීඛ් සමාගමේ පිරවුම්හල්ය. මේ වැඩ වර්ජනය නිසා අපතේ ගිය මිනිස් පැය ගණන විශාලය. සමස්ත ආර්ථිකයට සුළු හෝ පාඩුවක් එමඟින් සිදුවන්නට ඇත. වැඩ වර්ජනයට නොයා විකල්ප ක්‍රියාමාර්ගයකට යෑමට සංස්ථා වෘත්තීය සමිතිවලට තිබිණි.
වැඩ වර්ජනය ඇරැඹීමට පෙරම විෂය භාර ඇමැතිවරයා මැදිහත්වී අගමැතිවරයා සමඟ සාකච්ඡා කළා නම් මේ ගැටලුව නැත. අවසානයේ වැඩ වර්ජනය නතර කෙරුණේද සාකච්ඡා කර දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණීමෙනි.

ත්‍රි'මලේ තෙල් ටැංකි ඉන්දියාවට නොදෙන බවට විෂය භාර ඇමැතිවරයා වැඩ වර්ජනයට පෙර නිල ප්‍රකාශයක් කළා නම් වර්ජනය ඇරැඹෙන්නේ නැත. ධ්ර්ණීඛ් සමාගමේ ලාභ රේට්ටුව ඉහළ යන්නේද නැත. සිපෙට්කෝ පාඩුව ඉහළ යන්නේද නැත. ජනතාව දුෂ්කරතාවට පත්වන්නේද නැත. ජාතික ආර්ථිකයට හානියක් වන්නේද නැත. එහෙත් වැඩ වර්ජනය අරඹනතුරු කිසිදු දෙයක් සිදුවූයේ ද නැත.

ආණ්ඩුව දැන් කියන්නේ ත්‍රි'මලේ තෙල් ටැංකිවලින් 14ක් ඉන්දියාවට බදු දෙන බවත්, 10ක් ලංකාව සතු බවත් 74ක් ඉන්දියාව සමඟ ඒකාබද්ධව පවත්වාගෙන යන බවත්ය. මේ සැලසුමට සිපෙට්කෝ සේවකයන් කුමක් කියනු ඇත්දැයි යන්න පැහැදිලි නැත. එහෙත් වෛද්‍ය සංගමය නම් කියන්නේ 'එට්කා' ගිවිසුමේ කොටසක් ලෙස ඉන්දියාවට තෙල් ටැංකි ටික දෙන්න ආණ්ඩුව සැරැසෙන බවය. තලියේ කිඹුලන් දැකීම මෙන්ම වක්කඩේ හකුරු හැංගීමට යෑම යන දෙකම හොඳ නැත. ඉන් රටට යහපතක් නොවේ.
තීරණ ගත යුත්තේ අනාගතය ගැන සිතාය. අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විසම්මුති අතර සම්මුතියක් ඇතිකර ගැනීමෙනි. එහෙත් බොහෝ විට සිදුවන්නේ කිහිපදෙනකු ගන්නා තීරණ අති බහුතරයගේ කර මත පැටවීමය. තෙල් සම්බන්ධව තීරණ ගැනීමේදී වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරන බව අගමැතිවරයා පොරොන්දු වීම සතුටකි. කවුරු කවුරුත් අවදියෙන් සිට වැඩ කිරීම කාට නැතත් රටට හොඳය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon