අග මුල නැති අධ්‍යයන චාරිකා

  👤  4801 readers have read this article !
2017-04-27

අගමැති රනිල් වික්‍රමසිංහ මේ දිනවල ඉන්නේ ඉන්දියාවේය. පසුගිය දිනවල අගමැතිවරයා වියට්නාමයට හා ජපානයට ගියේය. ඉදිරියේදී එතුමා චීන සංචාරයක නිරත වීමට නියමිතය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සාර්ථක රුසියානු සංචාරයක නිරත වූයේ ඉකුත් මාසයේය.

ඒ සියල්ල රාජ්‍යතාන්ත්‍රික සංචාරයන්ය. රාජ්‍යයන් අතර මිත්‍රත්වය තහවුරු කර ගැනීම, ද්විපාර්ශ්වික ගිවිසුම් අස්සන් කිරීම මේ සංචාරවල අරමුණ වේ.
මධ්‍යම ආණ්ඩුවේ ඇමැතිවරුද, පළාත් සභා ඇමැතිවරුද, පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රිවරුද මෙලෙස රජය නියෝජනය කරමින් වරින්වර විදේශ සංචාරවල නිරත වෙති. ඊට අමතරව රජයේ නිලධාරීහුද රජයේ වියදමින් විදේශ ගත වෙති. ඇතැම් සංචාර අධ්‍යයන චාරිකා අධ්‍යාපන චාරිකා ලෙස නම් කෙරේ. කෙලෙස හැඳින්වුවද මේ 'සංචාරවලින් අතිබහුතරය ගැනෙන්නේ රට සවාරිවලටය'. පැහැදිලිව සඳහන් කළොත් මින් සිදුවන්නේ ජනතාවගේ බදු මුදල් වැය කර මැති ඇමැතිවරුන් නිලධාරීන් පිටරටවල සවාරි ගැසීමය.

මෙවැනි ඊනියා අධ්‍යයන චාරිකා තහනම් කිරීමටද ඇතැම් අවස්ථාවල ජනාධිපතිවරයාට සිදුවිණි. ඇත්ත වශයෙන්ම මේ අධ්‍යයන චාරිකාවලින් ඒ ඒ ක්ෂේත්‍රයට ලැබුණු දායකත්වය ගැන අදාළ ආයතනවල අවධානය යොමු වූවාද යන්න පවා සැක සහිතය. ප්‍රගති වාර්තාවන් බලධාරීන් වෙත ඉදිරිපත් කළා නම් ඒ කලාතුරකින් විය හැකිය. මැති ඇමැතිවරුන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ මේ පිටරට අධ්‍යයන චාරිකා සියල්ලම 'රට සවාරි' ගොඩට ඇද දැමීමට තරම් සාහසික නොවුණද බහුතරය වැටෙන්නේ ඒ ගොඩට බව කීම වැරැදි නැත.
කාරණය අනෙකකි.

කුණු කසළ කළමනාකරණය පිළිබඳ පුහුණු හා නිරීක්ෂණ කටයුතු සඳහා 'පසුගිය වසර පහක කාලයේදී විදේශ සංචාරයන්හි නිරත වූ රාජ්‍ය නිලධාරීන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් වහාම ලබාදෙන්නැයි ජනාධිපතිවරයා අදාළ අමාත්‍යාංශ වෙත නියෝග කර ඇත.

මැති ඇමැතිවරුන්ගේ හා නිලධාරීන්ගේ 'රට සවාරි' ගැන අවබෝධයක් ජනාධිපතිතුමාට ඇති බව පැහැදිලිය. එතුමා මෙලෙස වාර්තාවක් ඉල්ලා ඇත්තේ ඒ නිසාය. අවුරුදු පහක කාලයට මෛත්‍රි - රනිල් ආණ්ඩුව හා රාජපක්ෂ ආණ්ඩුව යන දෙකම හසුවේ. එනිසා නිලධාරීන්ගෙන් පළිගන්න හදන බව කියා පොල් ගැසීමට විපක්ෂයට ඉඩක් ලැබෙන්නේ නැත. ඇත්ත වශයෙන්ම නිලධාරීන්ගේ අධ්‍යයන චාරිකාවලින් කසළ කළමනාකරණයට අත්දැකීම් ලබාගත්තා නම් කුණු කඳු නාය යන්නේ නැත. කුණු කඳු ගොඩ ගැසෙන්නේද නැත. දැන්වත් ජනතාවගේ බදු මුදල් සමඟ දේශපාලනඥයන් හා නිලධාරීන් කරන සෙල්ලම නතර විය යුතුය. ජනාධිපති වේවා, අගමැති වේවා, මධ්‍යම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වේවා, පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන් වේවා සියලුම රාජ්‍ය නිලධාරීන් වේවා ජනතාවගේ බදු මුදලින් පිටරට යන්නේ නම් සෑම රුපියලක්ම අර්ථවත්ව වියදම් කළ යුතුය. ජනාධිපතිවරයාගේ මේ සොයා බැලීම බදු මුදල් සමඟ මේ දෙපිරිස කරන සෙල්ලමට තිත තැබීමේ ආරම්භයක් වේ නම් එය ජනතාවගේ හිතසුව පිණිස වන්නේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon