‘සුවිශේෂි’ බලකාය

  👤  3582 readers have read this article !
2017-04-28

හිටපු හමුදාපති, ෆීල්ඩ් මාෂල් ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකාට හමුදා බලතල සහිත සුවිශේෂී තනතුරක් ලබාදීමට ජනාධිපතිවරයා සූදානම් වන බව ඉකුත් 26දා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරිණි. මේ ප්‍රශ්නය ආන්දෝලනයට තුඩු දුන්නේ මේ සූදානම් වන්නේ වැඩවර්ජන, උද්ඝෝෂණ මර්දනය කිරීම හිටපු හමුදාපතිට පැවරීමට යැයි මත පළවීම නිසාය.

විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂ සියල්ලම පාහේ කියා සිටියේ එවැනි පියවරක් ආණ්ඩුව ගන්නේ නම් ඊට එකහෙළා විරුද්ධ වන බවය. අද 'මව්බිම' ප්‍රධාන ශීර්ෂයෙන් අනාවරණය කරන පරිදි සරත් ෆොන්සේකා මහතාට කිසිදු ආකාරයේ හමුදා බලයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළකර නැත. කවරකු හෝ එවැනි හමුදා බලතල ලබාදීමක් ගැන කතා කර ඇත්නම් එය දෝෂසහගත බව ඇමැති මහින්ද අමරවීර 'මව්බිම'ට ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී අවධාරණය කර ඇත්තේ හදිසි තත්ත්වයන්හිදී මුහුණදීම සඳහා පිහිටුවන අංශයක වගකීමට සරත් ෆොන්සේකා මහතා සුදුසු බවය. එවැනි සුවිශේෂී බළකායක් පිහිටුවනු ලැබුවොත් ඇමැති ධුරයට අමතර වගකීමක් ලෙස එය භාරගැනීමට තමන් සූදානම් බව ඇමැති ෆොන්සේකාද ප්‍රකාශ කර තිබිණි.
අත්‍යවශ්‍ය සේවා සැපයීමේදී රටේ ඇතිවන කඩාකප්පල්කාරී තත්ත්වයන් හමුවේදී මෙන්ම වෙනත් හදිසි අවස්ථා යටතේ ඒවා විසඳීමට යන්නා පියවරක් ලෙස විශේෂ ඒකකයක් හෝ ආයතනයක් හෝ පිහිටුවීමේ වරදක් නැත. එවැන්නක් පිහිටුවනවා නම් හිටපු හමුදාපතිවරයා ඊට පත් කිරීමට නුසුදුසුද නැත. ප්‍රශ්නය වන්නේ මේ කාරණය සමාජගත වූයේ උද්ඝෝෂණ, වැඩවර්ජන මැඬපැවැත්වීම හිටපු හමුදාපතිවරයාට භාරදීමට ආණ්ඩුව සූදානම් වේ යැයි චෝදනාවත් සමඟ වීමය.

ඇත්ත වශයෙන්ම ඇරැඹෙන වැඩවර්ජන සමහරකට පදනමක් නැත. උද්ඝෝෂණවලින් සමහරකද ඇත්තේ හුදු ආණ්ඩු විරෝධය පමණි. අනෙක සෑම උද්ඝෝෂණයන් වැඩ වර්ජන තුළ දේශපාලනය අනිවාර්යයෙන් ගැබ් වී තිබේ. දේශපාලනයෙන් තොර කිසිවක් මිහිපිට නැත. එනිසා ඊනියා දේශපාලනයෙන් තොර වැඩවර්ජන, උද්ඝෝෂණ තෝරා බේරා ගැනීමට යෑම නිෂ්ඵල දෙයකි. ඒවා මැඬපැවත්වීමට යෑමෙන් ප්‍රශ්නය උග්‍රවනවා මිස සමනය වන්නේ නැත. දේශපාලන අභියෝගවලට දේශපාලනිකව මුහුණ දෙනවා මිස බයිසිකල් චේන්, හමුදා, සුදු වෑන් කල්ලි යොදා ගැනීමට ආණ්ඩුව සූදානම් නොවිය යුතුය. එහෙත් කඩාකප්පල්කාරී අරමුණින් පහත් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යම් පිරිස් කටයුතු කරන්නේ නම් ජන ජීවිතයට ඉන් බාධාවක් එල්ල නොවීමට වගබලා ගැනීම ආණ්ඩුවක පරම වගකීම වන්නේය. ඒ සඳහා බළකායක් පිහිටුවීම යහපත්ය. ජනාධිපතිවරයා යෝජනා කර ඇත්තේ එවැන්නකි. එය වැරැදි කොනකින් අල්ලා ගැනීම නිසා නැති ප්‍රශ්නයක් ඇතිවී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon