GSP සහනයේ අභියෝග

  👤  3784 readers have read this article !
2017-04-30

ශ්‍රී ලංකාවට ට්ඉර්ථී + තීරුබදු සහනය දීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබුණු යෝජනාව පරාජයට පත් විය. යෝජනාව ප්‍රතික්ෂේප වන්නේ වැඩි ඡන්ද තුන්සිය දාහතකිනි. පුරා හත් වසරක් තිස්සේ අහිමිව තිබූ මෙම බදු සහනය අර්බුදයට ලක්ව ඇති ආර්ථිකයක් සහිත අප රට සතුව ඇති ආසන්නම යහපත්ම බලාපොරොත්තුවය.

මෙම බදු සහන නොලැබී යෑම නිසා පසුගිය වකවානුව තුළ ඇඟලුම් කර්මාන්තයෙන් පමණක් වාර්ෂිකව ඩොලර් මිලියන තුන්සියයකට ආසන්න පාඩුවක් දරන්නට මෙරට ආර්ථිකයට සිදුවී තිබිණි. කලාපයේ තරගකාරී රටවල් මෙම බදුු සහන සමඟ වෙළෙඳපොළ අත්කර ගනිමින් සිටියේය. දැන් ඒ අභියෝගයන්ට මුහුණදීම සඳහා සුබවාදී පසුබිමක් නිර්මාණය වෙමින් ඇත.

බ්‍රසල්ස් නගරයේ රැස් වූ යුරෝපා පාර්ලිමේන්තුවෙන් ප්‍රකාශිත මෙම ප්‍රතිඵලය හුදු ආර්ථික ප්‍රතිලාභ සහිත බදු සහනයකට ලඝු වන්නේ නැත. එය රට සම්බන්ධව ජාත්‍යන්තරයේ ඇති ආකල්පයෙහි මිනුමකි. පසුගිය ජනවාරියේදී යුරෝපා සංගමය ප්‍රකාශ කර තිබුණේ මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසරය සුරැකීම හා යහපාලනය ඇතුළු තවත් ජාත්‍යන්තර කොන්දේසි 27 පිළිගනිමින් ඒවා ක්‍රියාවට නැඟීමට ලංකාවේ ආණ්ඩුව පෙන්වා ඇති කැපවීම මත ට්ඉර්ථී + ලබා දෙන බවය.

යුරෝපා ප්‍රජාවේ මේ ආකල්ප වෙනස්වීම ඉතා පහසුවෙන් සිදුවූවක් නොවේ. පුරා තිස් වසරක යුද්ධයක් නිමා කළ රටක සමාජ දේශපාලන යථාර්ථය ලෝකය අපේක්ෂා කරන වේගයෙන් ජාත්‍යන්තර අනුමිතීන් ක්ෂණිකව සපුරන්නේ නැත. මේ එළිදකින්නේ ඉදිරිගාමී මානුෂික දැක්මක් සහිත රටක් ගොඩනැඟෙමින් පවතින බව රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුු හරහා ලෝකයට ඒත්තු ගැන්වූ ප්‍රමාණයේ යහපත් ප්‍රතිඵලය. මේ වෙනස සඳහා රජය තැබූ බර විවාදාපන්න විය හැකිය. රටේ සමාජ දේශපාලන වටිනාකම් ඇඟලුම් කර්මාන්තය වෙනුවෙන් ලබාදෙන බදු සහනයක් වෙනුවෙන් කේවල් කිරීමට ඉඩ නොදිය යුතු බවට වන සමාජ සංවාදයේදී විමසිය යුතු යථාර්ථයක් තිබේ.
නමුත් ගතවෙමින් ඇත්තේ රටක් ලෙස කල්පනා කරමින් පවතින සමාජ ආර්ථික අර්බුදයට ප්‍රායෝගිකව මුහුණ දිය යුතු අවස්ථාවකි. දැන් ඒ සඳහා යහපත් ප්‍රවේශයක් නිර්මාණය වී ඇත. යුරෝපා ප්‍රජාව හෝ වෙනත් ඕනෑම ප්‍රජාවක් තවත් ප්‍රජාවකට සහන සලසන්නට පෙලඹෙන්නේ හුදු මානුෂික පරමාර්ථවලින් පමණක්ම නොවන බවට වන ලෝක අවබෝධය තිබේ නම් මෙවැනි අවස්ථා රටට වාසිදායක ලෙස පරිහරණය කිරීමට පහසුය.

මේ ගතවෙමින් ඇත්තේ රටක් ලෙස බුද්ධිමත්ව හා සංයමයකින් යුතුව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනැඟිය යුතු කාලයකි. යුරෝපා සංගමය විසින් රට සම්බන්ධව යහපත් සංඥාවක් ලබාදෙන විට ඉන්දියාව හා චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා උපක්‍රමශීලීව කළමනාකරණය කිරීමේ අභියෝගය රට හමුවේ තිබේ. මෙය එක්තරා ආකාරයක සංකීර්ණයකි. එය සංකීර්ණයක් ලෙස තේරුම් ගැනීමේ වගකීම මේ රටේ පුරවැසියන්ට ඇත.

ඒ අනුව වැදගත් බුද්ධිමය සංවාදයක් සඳහා කාලය ය. ඒ සංවාදය තුළ රටේ ඉදිරි ආර්ථික - දේශපාලන හැඩය ගැනත් ඉන්දියාව, චීනය හෝ යුරෝපය සමඟ හැසිරිය යුතු ආකාරය ගැනත් බුද්ධිමය සංවාදයක් ඇති කළ හැකිය. රට ඉදිරියට එන අභියෝගවලින් ලාභ දේශපාලන අවස්ථාවන් නිර්මාණය කර නොගෙන රටක් ලෙස අප යා යුතු දිශානතිය තීන්දු කළ හැකිය. එසේ නොකර ලෝකය රට මත තබන පීඩනය මහ පාරේදී මුදා හැර උත්තර සොයන්නට ගිය අතීතයක බිහිසුණු අත්දැකීම් රටට තිබේ. අසූව දශකයේ අග භාගයේ ඇති වූ එවැනි ව්‍යසනයක් යළිත් මේ රටට අවශ්‍ය නැත. අප රටක් ලෙස අපට ගොඩනැඟෙන්නට තිබුණු අවස්ථාවන් මඟහැරගත් ප්‍රමාණය වැඩිය. එළැඹී ඇති මොහොත බුද්ධිමත්ව කළමනාකරණය කරගත යුත්තේ ඒ නිසාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon