කැබිනට්ටුවේ විහිළු පිට විහිළු

  👤  4960 readers have read this article !
2017-04-30

අලුත් අවුරුද්දෙන් පසුව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්වූයේ අඟහරුවාදාය. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමට අන්තර්ගත වගන්ති මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට පූර්ව ප්‍රචාර සිදුවී තිබුණද එවැන්නක් මෙහිදී සිදුවූයේ නැත.
එහෙත් ආණ්ඩුවට එරෙහිව දිගින් දිගටම එල්ල වන විරෝධතාවලට මුහුණ දිය යුතු බව මෙහිදී ඇමැතිවරුන් බොහෝ දෙනකුගේ අදහස විය. පාඨලී, විජයදාස හා දයාසිරි තදින්ම ප්‍රකාශ කළේ ඒවා මැඬලිය යුතු බවකි. වැඩවර්ජන, උද්ඝෝෂණ ආදිය නිසා රට අරාජික වන බව පෙන්වා දුන් ඔවුන් එමඟින් ජනතාව පීඩාවට පත්වීම වැළැක්වීමට ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කළේ ඒ සඳහා ඒකකයක් පිහිටුවිය යුතු බව කියමින්ය.

"ඔව්, ඒක බොහොම හොඳයි, අපි ඒක සරත් ෆොන්සේකා ඇමැතිතුමාට භාර කරමු" එහිදී ජනාධිපතිවරයා සැහැල්ලු ලෙස පැවැසීය.
"මට භාර දෙනවා නම් මම ඒක කරන්නම්" ෆොන්සේකාද එම අදහස පිළිගත්තේය. එම කතාබහ විහිළුවෙන් තහළුවෙන් ඉදිරියට යද්දී "එහෙනම් අපි ෆොන්සේකා ඇමැතිතුමා හමුදාපති කරමු." යැයි ඇසුවේ ඇමැතිවරු සිනහ ගන්වමින්ය.

කෙසේ වෙතත් මේ කතාබහ පසුවදා වනවිට දුරදිග ගියේය. ආණ්ඩුවේ සිටින අයද පරස්පර කතා කියන්නට වූහ. එස්.බී. එවැන්නක් ප්‍රතික්ෂේප කළ අතර විජයමුණි එවැනි දෙයක් අවශ්‍ය බව එළිපිටම කීය. ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ජවිපෙද මිලිටරි පාලනයක් ඇති කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවට චෝදනා කළේය. එහෙත් මහින්ද අමරවීර ඊට උත්තර දෙමින් "වැඩ වර්ජන අවස්ථාවකදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම කළමනාකරණය කිරීමට සරත් ෆොන්සේකා ඇමැතිවරයාට යෝජනාවක් ගෙනාවා මිස ත්‍රිවිධ හමුදා ප්‍රධානියකු ලෙස රාජකාරියක් භාර දීමට කිසිදු අයුරකින් සාකච්ඡා නොවූ" බව කීවේය.
අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට යෑමට නියමිතව සිටියේ එදින සවසයි. ඉන්දියාව සමඟ ගිවිසුම් අස්සන් කරන විට එය මේ රටට අවාසිදායක නොවන ආකාරයට සිදු කළ යුතු බව දයාසිරි මෙන්ම චන්දිමද පෙන්වා දෙන්නට වූහ. ඉන් අගමැතිවරයාට ටිකක් කේන්ති ගියේය. "ඛනිජ තෙල් වෘත්තීය සමිති ස්ට්‍රයික් කළාම මම තමයි විසඳුවෙ. අපි මේක කරන්නේ මූලික රාමුවක් යටතේ. රටට අහිතකර ඒවා කරන්නේ නැහැ. වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරනවා" අගමැතිවරයා දැඩි ආවේගයකින් කීවේය. මේ කතාබහට එක්වූ ජනාධිපතිවරයා උදහස් ලෙස අදහස් දැක්වීම් නතර කරවන අටියෙන් මෙන් "ඉන්දියාවට ගියාට කමක් නැහැ, වෘත්තීය සමිතිවලට දීපු පොරොන්දු අමතක කරන්න එපා" යැයි විහිළුවක් කළේය.
පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයට අදාළව පැවැත්වීම සඳහා වූ සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ ෆයිසර් මුස්තාපාය. එහෙත් ඊට ඇතැම් ඇමැතිවරු විරුද්ධව කතා කරන්නට වූහ. "මේක ගැටලු සහගතයි. පැරැණි සමානුපාතික ක්‍රමයටම මීළඟ මැතිවරණය පවත්වමු. ඒකට බොහෝ අය එකඟයි" හකීම් කීවේය. "බෑ, බෑ කිසිසේත් පැරැණි ක්‍රමයට ආපසු අපට යන්න බැහැ. මේක ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න" ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
මේ අතර ආචාර්ය විජයදාස රාජපක්ෂද තවත් යෝජනාවක් ගෙන ආවේය. "අමාත්‍යාංශයට වාහන ගෙන්වීමේදී ඇමැතිවරයාගේ නමින් ඒවා ඉදිරිපත්වීම නිසා ඇමැතිවරුන් ලෙස අපට ජනතාව චෝදනා කරනවා. මීට පෙර වාහන ගත්තේ අමාත්‍යාංශයට මිසක් ඇමැතිවරයාට කියලා නොවෙයි. මීට පස්සෙත් එහෙම කරන්න" ඇමැතිවරයාගේ එම අදහසට සෙසු ඇමැතිවරුද එකඟතාව පළ කරන්නට වූහ.

පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලි ඇතුන් විහාරස්ථානලට මෙන්ම එම සතුන් නඩත්තු කළ හැකි පුද්ගලයන්ට ලබාදිය යුතු බවට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් විය. එහෙත් එම අලි ඇතුන්ගේ අයිතිය තව දුරටත් වනජීවී අමාත්‍යාංශය භාරයේ පවතින බවත් එක් අලියකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 100ක් අමාත්‍යාංශයට ගෙවිය යුතු බවටත් එහිදී තීරණය කෙරිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා සවස අසල්වැසි ඉන්දියාවට ගියේ කලින් සැලසුම් කළ නිල චාරිකාවක් සඳහාය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි, කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි, හිටපු අගමැති මන්මෝහන් සිං ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා රැසකට එක්වීමට අගමැති වික්‍රමසිංහට එහිදී හැකිවිය.
මේ නිල චාරිකාව පිළිබඳ දැඩි අවධානයක් මෙරට වැසියන් තුළද දක්නට ලැබිණි. ඒ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි හා වරාය සම්බන්ධයෙන් ගිවිසුම් අස්සන් කරන බවට පූර්ව ප්‍රචාර සිදුවීම නිසාය. එහෙත් මෙහිදී අස්සන් කෙරුණේ වෙනත් ගිවිසුමකටය. ද්‍රව ස්වාභාවික වායු නිෂ්පාදනය, සූර්ය බලාගාර ස්ථාපිත කිරීම ආදී මාතෘකා කිහිපයක් එහිදී ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මිතා ස්වරාජ් අස්සන් කළ ගිවිසුම්වල අඩංගු කරුණු විය. වරාය හා තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධ ගිවිසුමක් අස්සන් කරන විට ඊට ඛනිජ තෙල් වෘත්තීය සමිතිවලින් අදහස් විමසන බව සඳුදා රාත්‍රියේ අගමැතිවරයා එම වෘත්තීය සමිතිවලට පොරොන්දු විය. ඒත් අන්තර්ගත කරුණු අනාවරණය නොකෙරුණද ත්‍රිකුණාමලය නගරය සහ වරාය ආර්ථික සංවර්ධනය කිරීමේ එකඟතාවකටද මෙහිදී අස්සන් තබනු ලැබූහ.
ඉන්දීය නිල සංචාරයේ නිරත අගමැති රනිල් වික්‍රමසිංහ එරට මාර්ග ප්‍රවාහන, මහාමාර්ග හා නාවික අමාත්‍ය නිතින් ගද්කරි හමුවූයේ බ්‍රහස්පතින්දාය. අගමැති කාර්යාලය නිවේදනය කළේ යාපනය, මන්නාරම හරහා ත්‍රිකුණාමලය මාර්ගයත් දඹුල්ල ත්‍රිකුණාමලය මාර්ගයත් ඉදිකිරීමට ඉන්දීය රජය උදවු කිරීමට එකඟ වූ බවයි. ඒත් නිතින් ගද්කාරිගේ ට්විටර් ගිණුම උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණේ එහිදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක් ඉදිකිරීම පිළිබඳ යළි සාකච්ඡා වූ බවයි. එහෙත් අගමැති කාර්යාලයේ නිවේදනයේ එවැනි කතාබහක් ගැන සඳහන් වූයේ නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිටි ජේ‍යෂ්ඨ සාමාජිකයකු, නියෝජ්‍ය ඇමැතිවරයකු මෙන්ම ආණ්ඩුකාරවයකුද වූ අභාවප්‍රාප්ත රෙජී රණතුංගගේ අසූ වැනි ජන්ම දින සැමරුව යෙදී තිබුණේ පසුගිය සෙනසුරාදා (22දා)ය. හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් එම ගුණ සැමරුම පැවැත්වීම සංවිධායක කටයුතු කළේ ප්‍රසන්න රණතුංග විසින්ය. එහෙත් ආණ්ඩුවට සහාය පළ කරන අර්ජුන, රුවන් සහ ධම්මික සහෝදරවරුන් ප්‍රසන්න එම ගුණ සැමරුම මහින්දගේ සහභාගිත්වයෙන් පවත්වනවාට කැමැත්තක් දැක්වූයේ නැත. එම නිසා ගුණ සමරුවට සහභාගි වනවා වෙනුවට සෙනසුරාදා උදෑසනින්ම උඩුගම්පොළ පිහිටි රෙජී රණතුංගගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ප්‍රසන්නගේ සෙසු සහෝදරයෝ තිදෙනා පියවර ගත්හ. එහිදී ජනමාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අර්ජුන කීවේ 'දැන්වත්
මහින්ද මහත්තයට මතක් වෙච්ච එක ගැන සතුටු වෙනවා. අපේ තාත්තා මැරුණෙ මහින්ද එයාට ඇමැතිකමක් නොදීපු නිසා ඇති වුණු කලකිරීමෙන්' යනුවෙන්ය.
කෙසේ වෙතත් මහින්දගේ ප්‍රධානත්වයෙන් උත්කර්ශවත් ලෙස එම ජන්ම දින සැමරුම් උත්සවය උඩුගම්පොළදී පැවැත්විණි. එදින මහින්ද ඇතුළු පිරිසට දේශීය ආහාරවලින් දිවා ආහාරය පිළියෙල කොට තිබුණේ ප්‍රසන්නගේ නිවෙසේය. එම අවස්ථාවට ඒකාබද්ධ විපක්‍ෂ නියෝජනය කරන මන්ත්‍රිවරු පිරිසක්ද එක්ව සිටියහ. 'මම මේ ප්‍රසන්නගෙන් අහන්නමයි හිටියෙ. මොකක්ද අර මහින්ද මහත්තය රෙජීට සැලකුවෙ නැහැ කියල අර්ජුනලා කියන කතාවේ තේරුම?' යැයි විමසුවේ රෝහිත අබේගුණවර්ධන විසින්ය.
'ඕව මේ අර්ජුන අයියල, රුවන් මල්ලිලා එකතු වෙලා කියන බොරු කතානෙ. අපේ තාත්ත තනතුරුවලට කෑදර කෙනෙක් නෙවෙයි. එදා ශ්‍රී ලන්කන් ගුවන් සේවය රජයට පවරා ගැනීමේ උත්සවයේදී මහින්ද මහත්තය තාත්තට කිව්වේ නියෝජ්‍ය කතානායක ධුරය භාර ගන්න කියල. තාත්තා බෑ කිව්වා. බොරු නම් මේ සරත් අයියා සාක්කි' ප්‍රසන්න උත්තර දුන්නේ අසල සිටි සරත් කුමාර ගුණරත්නද පෙන්වමින්ය.
'එතකොට මහින්ද මහත්තය රෙජීගෙ මළ ගෙදරවත් ආවෙ නැහැ කියලනෙ අර්ජුන කිව්වෙ' රෝහිත තවත් ප්‍රශ්නයක් යොමු කළේය. 'මොන බොරුද? මම එක්සත් ජාතීන්ගේ සමුළුවට යන්න ඉද්දී තමයි රෙජී අයියා නැති වුණේ. මම ජයරත්න එකට ගිහින් අවසන් ගෞරව දක්වල තමයි රට ගියේ' ඊට පිළිතුරු දෙමින් හිටපු ජනපති මහින්ද කීය. 'එදා සර් ආපු වෙලාවෙ අර්ජුන අයියමයි සර් පිළිගත්තෙ' ප්‍රසන්න පැවැසීය. ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කරන මැයි දින සැමරුම ගැනද මෙහිදී අදහස් ඉදිරිපත් විය. 'සර් අපි මේ පාර පිට්ටනියට ජනතාව ඇතුළු කරන්නෙ ප්‍රධාන වේදිකාව ඉදිරිපිටින්. එතකොට හැමෝටම සර්ට ආචාර කරගෙනම ඇතුළු වෙන්න පුළුවන්' යැයි රෝහිත ප්‍රකාශ කෙළේය.
'ඒක හොඳයි' කියමින් මහින්දද එය අනුමත කළේය.

ආසියා පැසිපික් කලාපීය තරුණ පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සමුළුව පසුගිය 25, 26 දිනවල කොළඹදී පැවැති අතර එහි ප්‍රධාන වගකීම ඉසිලූයේ කතානායක කරු ජයසූරිය විසින්ය. සමුළුව සමාරම්භක උළෙල සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරු ජයසූරිය එක්ව සිටි අතර රටවල් ගණනාවක තරුණ ව්‍යවස්ථාදායක නියෝජිතයන් සමඟ අත්දැකීම් හුවමාරු කරගත් මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ නියෝජනය කරමින් තරුණ මන්ත්‍රිවරුන් එක්ව සිටීමද විශේෂත්වයක් විය.
දෙවැනි දින අවසානයේ සමුළු නියෝජිතයන් වෙනුවෙන් වෝටර්ස් එජ් පරිශ්‍රයේදී විශේෂ භෝජන සංග්‍රහයක් පිරිනැමුණු අතර එම අවස්ථාව නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමේ විශේෂාංග ගණනාවකින් අලංකාර වී තිබිණි. ඊට පැමිණීමට ප්‍රථම නුදුරෙහි වූ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් සභා ගර්භය දැක බලා ගැනීමේ අවස්ථාවද විදේශ නියෝජිතයන්ට සලසා දීමටද කතානායකවරයා කටයුතු කර තිබිණි. සමුළුවට පැමිණි සෑම විදේශික මන්ත්‍රිවරයකු කෙරෙහිම වෙන වෙනම අවධානය යොමු කරමින් ඉහළම ආගන්තුක සත්කාර දැක්වීම පිළිබඳ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති සේබර් චෞද්රි මෙන්ම විදේශ මන්ත්‍රිවරුද කතානායකවරයාට ස්වකීය කෘතඥතාව පළ කළහ.
ඇෆ්ගනිස්තාන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා සහ චීනයේ කීර්තිමත් ජන නායකයකු වූ චෞ එන් ලායි අගමැතිවරයා ජීවත් වූ ප්‍රදේශයේ වත්මන් නගරාධිපතිවරයා ඇතුළු නියෝජිත පිරිසක්ද ගෙවුණු සතියේ කතානායකවරයා හමුවූහ. මේ අතර චෞ එන් ලායි අනුස්මරණය කරමින් ශ්‍රී ලංකාවේ එක් ගම්මානයක් තෝරා ගෙන සංවර්ධන අත්දැකීම් සහ සංස්කෘතික සම්බන්ධතා හුවමාරු කර ගැනීමට චීන නියෝජිත පිරිස කැමැත්ත පළ කළහ. චීනයේ පළමු අගමැතිවරයා වූ චෞ එන් ලායි අනුස්මරණය කරමින් සබඳතා ගොඩනැංවීමට සුදුසුම ගම් ප්‍රදේශය වන්නේ ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයාගේ ගම වූ මීරිගම ප්‍රදේශය බව පෙන්වා දුන් කතානායකවරයා එම අවස්ථාවේදීම ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය ගොඩනැංවීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ගැටඹේදී පැවැත්වෙන මැයි රැලියට සහයෝගය දක්වන කුඩා දේශපාලන පක්‍ෂවල නායකයන් හා නිලධාරීන්ගේ හමුවක් අඟහරුවාදා රාත්‍රියේ මහගමසේකර මාවතේ පිහිටි මහින්ද අමරවීරගේ නිවෙසේදී පැවැත්විණි. ඒ සඳහා දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, මලික් ජයතිලක ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක්‍ෂ රැසක් නියෝජනය කරමින් ඒවායේ නායකයන් සහ නිලධාරීන් පිරිසක් ඊට සහභාගිවී සිටියහ. නව සිහළ උරුමය, එක්සත් ලංකා පොදු ජන පක්‍ෂය, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් ජාතික පක්‍ෂය, ජාතික පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, අපේ ජන උරුමය, අරුණලු ජනතා සන්ධානය, එක්සත් ශ්‍රී ලංකා පෙරමුණ, ශ්‍රී ලංකා ජනතා ජාතික පක්‍ෂය, ශ්‍රී ටෙලෝ, ශ්‍රී ලංකා උලමා පක්‍ෂය, ජනතාවාදී කම්කරු කොංග්‍රසය ඇතුළු පක්‍ෂ රැසක නියෝජිතයෝ ඊට එක්ව සිටියහ.


ඒ අතර සිටි ඇතැම් දේශපාලන පක්‍ෂවලට ලියාපදිංචිය දීමට මැතිවරණ කොමිසම බාධා කරමින් ඇති බව එහිදී ඇතැමෙක් පෙන්වා දුන් අතර මැතිවරණ කොමිසමේ සභාපති සමඟ ඒ ගැන කතා කරන බව එහිදී අමරවීර ඇමැතිවරයා පොරොන්දු විය. එමෙන්ම ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය පුළුල් කරන බවද එහිදී අමරවීර අමාත්‍යවරයා කීය.
පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරන ආකාරයද මෙහිදී අමාත්‍යවරයා පැවැසූ අතර නව මැතිවරණ ක්‍රමය පිළිබඳ කුඩා දේශපාලන පක්‍ෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක්ද ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. එහි වගකීම ලසන්තට සහ ඩිලාන්ට භාර කෙරිණි.
පළාත් සභා මන්ත්‍රි ගුණසිරි ජයනාත්ගේ ඇරැයුමකට හිටපු ජනාධිපති මහින්ද පසුගිය සති අන්තයේ බියගම ගියේය. පවිත්‍රා, රෝහිත, ප්‍රසන්න ඇතුළු පිරිසක්ද ඊට එක්වී සිටියහ. 'කවුද ගැටඹේ යන්නේ' මහින්ද තම කතාව ආරම්භ කරමින් එතැන සිටි ජනතාවගෙන් විමසීමක් කළේය.
ඒත් ඊට කිසිවකුත් අත එසෙව්වේ නැත.

'කවුද ගෝල්ෆේස් යන්නේ?' මහින්ද පෙරළා තවත් ප්‍රශ්නයක් යොමු කළේය. ඊට එක්වරම සියලු දෙනාම අත ඔසවන්නට වූහ. 'මේ සේරම යනව නම් මම නොගිහින් කොහොමද? එහෙනම් මමත් ගෝල්ෆේස් එනවා' මහින්ද කීවේ ජනතාවගේ ඔල්වරසන් මධ්‍යයේය.
උත්සවයෙන් අනතුරුව මහින්ද මන්ත්‍රිවරුන් කැටුව ගුණසිරි ජයනාත්ගේ නිවෙසට තේ පානය සඳහා ගියේය.
'පවිත්‍රා ඇමැතිතුමිය දැන් ඉස්සරටත් වඩා ලස්සන වෙලානෙ' ප්‍රසන්න රණවීර විහිළුවක් කෙළේය.
'ඔහොම හිටියට මෙයා තමයි දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න ජේ‍යෂ්ඨතම මන්ත්‍රිවරිය. මෙයාට කට්ටිය සලකනව මදි' පවිත්‍රා වෙනුවෙන් ඊට උත්තර දුන්නේ මහින්දයි.

බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කරන ජනාධිපති කොමිසම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් දෙදෙනකුට කොමිසම හමුවේ සාක්ෂි දෙන ලෙස දන්වා තිබිණි. ඒ කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්තිට සහ වසන්ත සමරසිංහ යන දෙදෙනාටය. වසන්ත සමරසිංහට බ්‍රහස්පතින්දා දිනය වනවිටත් සාක්ෂි දීම සඳහා අවස්ථාව ලැබී නොතිබුණේ තවත් පාර්ශ්ව කීපයකගෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා දින ගණනාවක කාලයක් ගතවන බැවිනි. කෝප් කමිටුවේ සභාපතිවරයාටද දින කිහිපයකට පෙර කොමිසමෙන් සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස දැනුම් දුන්නද හඳුන්නෙත්ති කියා සිටියේ කෝප් කමිටු සාමාජිකයන් සඳහා බෙල්ජියමේ පැවැත්වෙන මූල්‍ය කළමනාකරණය පිළිබඳ වැඩමුළුවකට සහභාගි වෙමින් සිටින නිසා සාක්ෂි දීමට පැමිණිය නොහැකි බවයි. කෙසේ වෙතත් ප්‍රචාරක ලේකම් විජිත හේරත් දුරකතනයෙන් සම්බන්ධ වූ අවස්ථාවක හඳුන්නෙත්තිගෙන් මේ බව විමසා සිටියේය. 'කොමිසමේ ලේකම්වරයා මට කතා කළා. මම කිව්වා මැයි පළමුවැනිදායින් පසුව මට දිනයක් දෙන්න පුළුවන් කියලා. නමුත් මෙතැන තියෙන නීතිමය තත්ත්වය ගැන උපදෙස් ගන්න වෙනවා. මොකද මම කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස වගකියන්නෙ පාර්ලිමේන්තුවට පමණයි. කෝප් කමිටුව මේ ගැන විමර්ශනය කරලා වාර්තාවක් පාර්ලිමේන්තුවට භාර දුන්නා. ඒ වාර්තාවේ මේ සියලු කරුණු අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ නිසා නීතිමය පසුබිම ගැන සලකා බලා තමයි සාක්ෂි ලබාදෙන්න යනවද නැද්ද කියලා තීරණය කරන්න වෙන්නෙ' හඳුන්නෙත්ති කරුණු පැහැදිලි කළේය.

ජාත්‍යන්තර වෙසක් සැමරුම් වැඩසටහනේ සංවිධාන කටයුතු නිසා බුද්ධශාසන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මේ දිනවල කාර්යබහුල වී ඇත. ලෝකයේ රටවල් අසූවකට අධික සංඛ්‍යාවක රාජ්‍ය නායකයන් බෞද්ධ ආගමික නායකයන් ඇතුළු පිරිසකට ආරාධනා කිරීමේ වගකීම භාරගෙන සිටින්නේ ඔහුය. ඔහු පසුගියදා ජපානයට ගියේද එවැනි ඇරැයුමක් කිරීම සඳහාය. ජපානයේ සංඝරාජ හිමියන්ට නිල වශයෙන් ඇරැයුම් කළ හෙතෙම උන්වහන්සේගේ වැඩම කරවීම නිල වශයෙන් තහවුරු කර ගත්තේය.
එක්සත් ජාතීන්ගේ 13 වැනි වෙසක් දින සැමරුම් උත්සවය පිළිබඳ මල්වතු - අස්ගිරි මහ නායක හිමිවරුන් දැනුවත් කිරීමටද ආචාර්ය රාජපක්ෂ බ්‍රහස්පතින්දා කටයුතු කළේ උන්වහන්සේගේ ආශීර්වාදය යළිත් ලබා ගනිමින්ය.

උදා ගම්මාන වැඩපිළිවෙළ යටතේ ජනතා අයිතියට පත්වුණු 25 වැනි ආදර්ශ ගම්මානය මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවණගල "දිනුජයගම"යි. මේ ගම්මානය විවෘත කිරීමට ගිය සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා එහිදී පිළිගනු ලැබුවේ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද කුමාරසිරි ඇතුළු දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාකාරීන් විසිනි. මෙහිදී ආනන්ද කුමාරසිරි කීවේ අපූරු කතාවකි. "මමයි රංජිතුයි ඔයාගෙ තාත්තත් එක්ක එකතු වෙලා මෙහේ ගෙවල් හැදුවේ මීට අවුරුදු 25කටත් ඉස්සරින්. කතරගමයි, බුත්තලයි "ගම් උදා" වැඩසටහන් දෙකක්ම කළා. අද ඒ තාත්තාගේ පුතත් එක්ක වැඩ කරන්න ලැබීමත් දෛවෝපගත සිද්ධියක්" ඔහු කියද්දී සජිත් කීවේ ඊටත් රසවත් කතාවකි. "මට මතකයි, 87 "ගම් උදාව" වෙලාවේ තිරික්කලේ යන්න නම් කසාද බැඳලා තියෙන්න ඕනේ කියලා නීතියක් දැම්මම තමයි, මෙයා කසාද බැන්දේ. දැන් සාර්ථක විවාහ දිවියක් ගත කරනවා" කියාය.

අඟහරුවාදා පෞද්ගලික රක්ෂණ සමාගමක ඉහළම පෙළේ විධායක නිලධාරීන් තිදෙනකු සජිත්ගේ අමාත්‍යාංශයට පැමිණ සිටියේ "උදා ගම්මාන" වැඩපිළිවෙළට සහාය පළ කරමින් ඊට සත්කාරයක් ලෙස නව උදා ගම්මාන ඉදිකිරීමට දායක වීම සඳහාය. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 60ක මුදලක් අමාත්‍යවරයා වෙත භාර දෙමින් එහි විධායක අධ්‍යක්ෂ අජිත් ගුණවර්ධන කියා සිටියේ තම ආයතනය වත්මන් උදා ගම්මාන වැඩපිළිවෙළ පිළිබඳව අවදියෙන් සිටි බවත් ඒ පිළිබඳව පවතින විශ්වාසය නිසා ඊට උපකාර කිරීමට තීරණය කළ බවත්ය. ඉදිරියේදී ඊට තව තවත් උපකාර කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවැසීය. මෙහිදී සජිත් පැවසුවේ ජනතාව වෙනුවෙන් නිවාස තැනීමේ වැඩපිළිවෙළට රජයේ අරමුදල් පමණක් ප්‍රමාණවත් නොවන හෙයින් පෞද්ගලික ධන පරිත්‍යාගද ඊට අවශ්‍ය වන බවයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේට සිකුරාදා පෙරවරුවේ මංගල සීනු හැඬවිණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ හිටපු අගමැති දි.මු. ජයරත්නගේ ජේ‍යෂ්ඨ දියණිය වන සේනානි ජයරත්නයි. එය ඉතා චාම් ලෙස පැවැතියේ රාජගිරියේ පිහිටි එම පවුලට අයත් නිවෙසකදීය. ඊට දේශපාලනඥයන් කිසිවකුටත් ඇරැයුම් කොට තිබුණේ නැත. සහභාගි වූයේ පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් පමණි.

ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ ඇතුළු වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, උදයශාන්ත ගුණසේකර, නිරෝෂන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමද පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, ජාතික සංවිධායක පියසිරි විජේනායක ඇතුළු සෙසු නායකයෝද පසුගිය සතිය පුරා රට පුරා යමින් පක්ෂ ක්‍රියාකාරීන් දිරි ගන්වමින් මෙවර ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට උපරිම පිරිසක් සහභාගි කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කළහ.
එම කටයුතුවල ප්‍රගතිය සාකච්ඡා කිරීමටත් වෙසක් සමයේ ආණ්ඩුව ඉන්දියාව සමඟ එළැඹීමට සූදානම් වන ගිවිසුම්, එකඟතා පිළිබඳ සාකච්ඡා කිරීමටත් ජානිපෙ දේශපාලන මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා රැස්විය.
'මේ ආණ්ඩුව වැඩ කරන ජනතාවට මරු කැඳවන ආණ්ඩුවක් බව අද ඔප්පු වෙලා ඉවරයි. එක පැත්තකින් ජාතිවාදී, බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනයකට සැරසෙනවා. තවත් පැත්තකින් රට රකින රණවිරුවන් දඩයම් කරනවා. ඒ වගේම ජාතික සම්පත් විකුණා දමනවා. සංහිඳියාවේ නාමයෙන් ජාතිවාදය වපුරනවා. ඔවුන් එතැනින් නතර වෙලා නැහැ. මේ විනාශකාරී මෙහෙයුමට එරෙහි වන පිරිස මර්දනයටත් ආණ්ඩුව දැන් අත තියලා තිබෙනවා. ඒකටයි 'ඉජ් හමුදාවක්' හදන්නේ. මේ තත්ත්වය පිළිබඳව දැනුවත් කළාම අපේ ක්‍රියාකාරීන් පැවැසුවේ, 'ගාලු මුව‍ෙදාරට ලක්ෂ ගණනින් රැස්වෙලා ආණ්ඩුවට ගෙදර යන්න කියමු' කියලයි. මේ ආණ්ඩුවේ ජනතාද්‍රෝහී වැඩකටයුතු නිසා ජනතාව පුදුම කලකිරීමක ඉන්නේ. ඒ කලකිරීම පිට කරන දිනය බවට මැයි දිනය පත්වේවි' විමල් පෙන්වා දුන්නේය.

'තමන් බලයට ගේන්න කැප වුණු නරේන්ද්‍ර මෝඩිලාට හොඳ හැටියට සලකන්න තවම මේ ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. ඉන්දියාවට සලකන්න ඔවුන් ගෙනෙන හැම සැලසුමකටම දැඩි ජනතා විරෝධයක් එනවා. 2001-2004 කාලයේ වගේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ඉන්දියාවට සලකන්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා ජනතාවගේ ඇස්වලට වැලි ගහලා යමක් කරගන්නයි මේ අය හදන්නේ' වීරකුමාර පෙන්වා දුන්නේය.

අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය සඳුදා බත්තරමුල්ල නෙලුම් මාවත කාර්යාලයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පිළිගනිමින් සුහද හමුවක් පැවැත්විණි. ඊට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරු ඇතුළු පිරිසක්ද එක්වී සිටියහ. ආගමික වතාවත්වලින් පසුව පැවැති සුහද සාකච්ඡාවේදී එම පිරිසේ අවධානය යොමු වූයේ රටේ උද්ගත වී ඇති ප්‍රශ්න සම්බන්ධයෙනි. එමෙන්ම මැයි දින සැමරීමේ සූදානම ගැනය.

'අපට හිතාගන්න බැරි තරමේ ජනතාවක් ගෝල්ෆේස් එනවා මැයි දිනය සමරන්න' පවිත්‍රා, රෝහිත, එස්.එම්. ඇතුළු පිරිසක් කීවේ සංඛ්‍යා ලේඛනද ඉදිරිපත් කරමින්ය. 'අපේ අලුත් පක්ෂයේ සියලු සංවිධාන කටයුතු දැන් අවසන්. ඒ සංවිධාන ජාලය දැක්කම එජාපයටයි ශ්‍රී ලනිපටයි උණ හැදෙනවා' බැසිල් කීවේය. 'අපේ මැයි දින සැමරුම සාර්ථක වෙන එක ඇත්ත. ආණ්ඩුවත් බය වෙලා තමයි. ඕක නෙවෙයි මට තියෙන ප්‍රශ්නය. අපි රැකගත්ත ජාතික දේපළ විකුණනවා. ඒකට කාලසටහනකුත් හදාගෙන' මහින්ද රාජපක්ෂ එහිදී හැඟීම්බරව කීවේය. 'සර්, මේ ජාතික දේපළ විකුණනව කියන්නේ විශාල පාපකර්මයක්. ආණ්ඩුව ඒව කරන නිසා තමයි විසාලා මහනුවරටත් වඩා තුන්බියක් ඇති වීගෙන එන්නේ. තවත් ඛේදවාචක ගණනාවක් එනවා කියලා මට පියසේන රතුවිතානත් කිව්වා' කුමාරසිරි හෙට්ටිගේ කීවේ එවැනි කතාවකි. 'ලොකුව පක්ෂ දෙක එකතු වෙලා රටට කරපු හරිය දැන් පේනවනේ. හත්පොළේම ගාගෙනයි තියෙන්නේ. ඔය පක්ෂ දෙකෙන්ම මිනිස්සු ළඟදීම අෑත් වෙලා අපි එක්ක එකතු වෙන එක නවත්තන්න බැහැ' මහින්ද යළිත් අවධාරණය කළේය.

මාතලේ ශ්‍රී ලනිප ආසන සංවිධායක හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායකගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනපති මහින්ද බදාදා මාතලේ පිහිටි එම නිවෙසට ගියේය. ඒ වනවිටත් ජනක බණ්ඩාර, ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසකගේ ආසන සංවිධායක ධුර ඉවත් කොට තිබිණි. ඒ උණුසුමත් සමඟ තම නිවෙසට පැමිණි හිටපු ජනපතිට රෝහණ දිසානායක පැවැසුවේ තමන්ද මාතලේ

ශ්‍රී ලනිප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කරන බවයි.
මේ අවමංගල්‍ය අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරාද සහභාගි වී සිටියේය. ලක්ෂ්මන් දුටු හිටපු ජනාධිපතිවරයා 'ආ... ලක්ෂ්මන් කොහොමදැයි විමසීය. 'ඔහේ ඉන්නව සර්' යැයි ඊට ලක්ෂ්මන් පිළිතුරු දුන්නේය. 'දැන් ඉතිං ඔහොම ඉඳලා බැහැ. ඔයත් අපේ පැත්තට ඇවිත් වැඩ කරන්න' මහින්ද ඔහුගෙන් ඉල්ලීය. 'මම හැමදාම සර් එක්ක ඉන්නවා' යැයි ලක්ෂ්මන් පිළිතුරු දෙද්දී මහින්ද යළි අවධාරණය කළේ' 'ඔහොම කියල හරියන්නෙ නැහැ. අයින් වෙලා එන්න. ඒ ගැන තීන්දුවක් ගන්න' යනුවෙන්ය. මහින්ද එහෙම කියද්දී ලක්ෂ්මන් හීන් සීරුවේ එතැනින් මාරු වී ගියේ එතැන සිටි පාක්ෂිකයන් විරෝධතා දක්වද්දීය. අනතුරුව මහින්ද පිටවී යද්දී ඔහුට 'ජය වේවා' යි කියන්නටද එම පාක්ෂිකයෝ පියවර ගත්හ.

ආණ්ඩුව ගෙවී ගිය සතියේ මුහුණ දුන් ප්‍රබලතම අභියෝගය ඛනිජ තෙල් ප්‍රවාහන වෘත්තීය සමිතිවල වැඩ වර්ජනයයි. ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීය සමාගමකට පැවැරීමට විරුද්ධව එම වැඩ වර්ජනය දියත් කෙරිණි. වෘත්තීය සමිති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලුවද එය ඉටු වූයේ නැත. ඒ වෙනුවට අගමැතිවරයා සමඟ සාකච්ඡාවකට යොමු කළේය. සඳුදා රාත්‍රි පැවැති එම සාකච්ඡාවට රජය නියෝජනය කරමින් අගමැති වික්‍රමසිංහ සමඟ කිරිඇල්ල, කබීර් සහ මලික් යන ඇමැතිවරු එක්වී සිටියහ.

මෙහිදී ඇතැම් ඇමැතිවරු වෘත්තීය සමිති හෙළා දකිමින් අදහස් පළ කරන්නට වූ නිසා එම සාකච්ඡා බිඳ වැටෙන්නට ගියේ වෘත්තීය සමිති නැඟිට යන්නට උත්සාහ කළ නිසාය. එහෙත් මලික්ගේ මැදිහත්වීමෙන් යළි සාකච්ඡා සිදු කෙරිණි. එහිදී අගමැතිවරයා ලිඛිත පොරොන්දුවක් දුන්නේය. ත්‍රිකුණාමලය තෙල් ටැංකි බදු දීම පිළිබඳව තීරණයක් ගැනීමේදී වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරන බව සඳහන් කරමින්ය. ඒ අනුව වර්ජනය තාවකාලිකව නතර කෙරිණි.
'පසුගිය කාලයේ කිසි සද්දයක් නැතිව ඉඳලා දැන් මෙතැන නරි වගේ කෑගහනවා' කිරිඇල්ල මෙහිදී චෝදනාවක් වෘත්තීය සමිතිවලට සිදු කළේය. ඊට පිළිතුරු දුන්නේ වෘත්තීය සමිති නියෝජිත ජවිපෙ පළාත් සභා මන්ත්‍රි අශෝක රංවලයි. 'ඇමැතිතුමා අපට නරි කිව්වට ඇත්තටම නරි ඇමැතිවරු තමයි' ඔහු කීවේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon