මැයි දින පණිවිඩය

  👤  1816 readers have read this article !
2017-05-01

ජගත් කම්කරු දිනය අදයි. ලෝකයේ සියලු රටවල පාහේ මැයි දිනය පුරුද්දට මෙන් සැමරේ. පුරුද්දට මෙන් කීවේ නිර්ධන පන්ති රාජ්‍ය මෙන්ම මාක්ස්ගේ අර්ථයෙන් 'කම්කරු' ව්‍යාපාරයද බිඳ වැටී ඇති නිසාය. එහෙත් බොහෝ රටවල වාමාංශික පක්ෂ හා සංවිධාන විසින් අභිමානවත් ලෙස මැයි දිනය සමරද්දී විසුළුසහගත මැයි දින සමරු පවත්වන රටවල්ද ලෝකයේ නැත්තේ නොවේ. ලංකාව එවැනි රටකි.

වැඩ කරන ජනතාවගේ අයිතීන් කප්පාදු කරන, ඔවුන්ගේ ශ්‍රමයෙන් උපයන මුදලින් සුරසැප විඳින දේශපාලනඥයෝ පිට්ටනිවලට එකතු වී මැයි දිනය සමරති. ඒ රතු ධජය අතැතිව නොව පාට පාට ධජ ඔසවාගෙනය. කොළඹ හා වෙනත් නගරවල අද මැයි රැලි හා පෙළපාළි රැසකි. වාමාංශික පක්ෂ පවා රතු ධජය සෙවණේ වෙන වෙනම රැස්වෙති. ලෝක කම්කරුවනි එක්වව්! යැයි පැවැසුණද කම්කරුවන්ට පෙර කම්කරු නායකයන්ට එක්වීමට සිදුව තිබේ. මත්පැන්, බත් පැකට්, මුදල් හා යෑමට ඒමට නොමිලේ බස් රථ ලබාදීම නිසා බොහෝ මැයි රැලිවලට හා පෙළපාළිවලට දහස් ගණනින් සෙනඟ එක්රොක් වෙති. මේ ඊනියා වැඩ කරන ජනතාව සමඟ ජගත් කම්කරු දිනය සැමරීම විසුළු සහගතය.

කාල් මාක්ස්ගේ 'කම්කරුවා' අද දක්නට නැත. කම්කරුවන් ලෙස තමන් හඳුන්වනවාට වැඩ කරන ජනතාව අකැමැතිය. හේතුව තමන් කම්කරුවන් බව ඔවුන්ට අමතක වී යෑමයි. මාක්ස්ගේ අර්ථයෙන් කම්කරුවන් ලෙස හැඳින්විය හැක්කේ වතු ජනතාවටය. නගරවල සිටින බර උසුලන්නන් හෙවත් නාට්ටාමිවරුන්ද කම්කරුවන් ලෙස හඳුනාගත හැකිය. ජගත් කම්කරු දිනයට එවැන්නන්ගේ ඡායාරූපවලින් මාධ්‍ය හැඩ වන්නේ එනිසාය. ප්‍රධාන පක්ෂවල මැයි පෙළපාළිවල ගමන් කරන්නේ පහළම සමාජ ස්තරයන්ට අයත් පිරිස් හා පහළ මධ්‍ය පාන්තික සුළුතරයක් පමණි. ඒ වැඩ කරන ජනතාව ලෙස සවිඥානිකව නොව සිය පක්ෂයේ සාමාජිකයන්, ආධාරකරුවන් හා හිතවතුන් ලෙසය. නොඑසේ නම් ලබාදෙන වරදානවලට ලොල්ව සහභාගි වන්නන්ය.
මෑතක සිට මැයි රැළියට කලින් එම රැළිවලට සහභාගි වන ගණන ගැන පුරසාරම් දෙඩීම විලාසිතාවක් බවට පත්ව තිබේ.
ඔළුගෙඩි ගණනින් සිය දේශපාලන බලය පෙන්වීමට ඊනියා දේශපාලන පක්ෂ උත්සාහ දරයි. ඊට ඇතැම් මාධ්‍යයන්ද දායක වී සිටී. මැයි දිනයෙන් පසු වැඩියෙන්ම සෙනඟ රැස්ව සිටි රැලිය ගැන වාද විවාද කර ගනිති. ප්‍රශ්නය වන්නේ රැලිවලට පැමිණි සෙනඟට ජගත් කම්කරු දිනය වෙනුවෙන් ලැබුණු පණිවිඩය කුමක්ද යන්නය. කුණු හා හිස් දේශපාලන කතාවලින් පිරුණු හිසින් ඔවුහු පෙරළා නිවෙස් බලා යති.

සමස්ත වැඩ කරන ජනතාවගේ බහුතරයක් වෘත්තීය සමිතිවලට බැඳෙන්නේ නැත. නමට සාමාජිකත්වය දැරුවද ක්‍රියාකාරී වන්නේ සුළුතරයක් පමණි. අයිතිවාසිකම් ලබාගැනීම මිස යුතුකම් ඉටු කිරීම ගැන මේ ඊනියා වෘත්තීය සමිති සිය සාමාජිකත්වයට කියා දෙන්නේ නැත. ඇතැමි වෘත්තීය සමිති නායකයන් සිටින්නේ පාලකයන්ගේ හා හාම්පුතුන්ගේ ඔඩොක්කුවේය. අනෙක් කාරණය වන්නේ ආගම්වාදී, ජාතිවාදී හා පක්ෂග්‍රාහී අදහස් මිස කම්කරු පාන්තික අදහස්වලින් වැඩ කරන ජනතාව පෝෂණය වී නැති වීමය.

මෙවර කම්කරු දින සැමරුමද තවත් එක් සැමරුමක් ලෙස ඉතිහාසයට එක් වනු ඇත. වඩා වැදගත් වන්නේ කම්කරුවන් හෙවත් වැඩ කරන ජනතාවගේ බුද්ධිය පුබුදු කරවන සවිඥානික වැඩපිළිවෙළක් සඳහා යොමු කිරීමය. සබුද්ධිකව වැඩ කරන කම්කරු පන්ති ජනතාවක් නිර්මාණය කර ගැනීමෙන් තොරව රට පෙරට රැගෙන යා නොහැකිය. මැයි දින පණිවිඩය විය යුත්තේ එයය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon