වැසිකිළි සහ කැසිකිළි

  👤  3260 readers have read this article !
2017-05-02

හම්බන්තොට සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ භූමියට ඉකුත් 30 වැනිදා කඩා වැදුණු වන අලි රංචුවක් පොල්ගස් 25ක් පමණ විනාශ කර ප්‍රේක්ෂකාගාරයේ ආරක්ෂක වැටද කඩා දමා යකා නැටූ පුවතක් මාධ්‍ය වාර්තා කර තිබිණි. හාවා හඳ දකින්නා වගේ ක්‍රිකට් තරග පැවැත්වෙන මේ ක්‍රීඩාංගණ භූමියට අලි කඩා වැදීම පුදුමයක් නොවේ. මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළටද ගුවන් යානා එන්නේ යලට මහටය. හම්බන්තොට වරායට නැව් එන්නේද අතේ ඇඟිලි ගාණටය. හම්බන්තොට ඉදිකර ඇති අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ මැස්සෝ ඇහිරෙති.

හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසා තිබුණේ ඔහු බලයේ සිටියා නම් මේ සම්පත් මෙලෙස අතහැර නොදමන බවය. ඇත්ත වශයෙන්ම පාලකයන් කළ යුත්තේ ලෝකයට ණය වී ඉදිකළ මේ සියලු දේ ප්‍රයෝජනවත් ලෙස පරිහරණය කිරීමට පියවර ගැනීමය. එය වර්තමාන ආණ්ඩුවේ වගකීමය.
කාරණය අනෙකකි.

හම්බන්තොට ඇතුළු දකුණු පළාතේ තිස් දෙදාහකට වැසිකිළි කැසිකිළි පහසුකම් නැති බව දකුණු පළාත් සභා ඇමැතිවරයකු වන වීරසුමන වීරසිංහ හෙළි කර තිබුණේ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. මාතර දිස්ත්‍රික්කයේ පමණක් 8,000කට සනීපාරක්ෂක වැසිකිළි නැති බවත් ඉන් 2,000කට පමණ කිසිදු වැසිකිළි කැසිකිළි පහසුකමක් නැති බවත් ඇමැතිවරයා එහිදී අවධාරණය කර තිබිණි. ඔවුන්ගේ අපද්‍රව්‍ය ජල මූලාශ්‍රවලට එකතු වීම නිසා පානීය ජල ප්‍රශ්නයකටද මුහුණදීමට සිදුවනු ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේද තත්ත්වය ඊට වෙනස් නැත. මාතර තරම් ජනගහනයක් නොසිටියද එහි වැසිකිළි කැසිකිළි ප්‍රශ්නය උග්‍ර බව අනාවරණය වී ඇත. ඉකුත් දශකයක කාලයේදී දකුණු පළාත විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය ශීඝ්‍ර භෞතික දියුණුවක් අත්පත් කර ගත්තේය. අලුත් ගොඩනැඟිලි හා කාපට් ඇතිරූ මාර්ග ඉදිකෙරිණි. එහෙත් ප්‍රාථමික අවශ්‍යතාවක් වන වැසිකිළි කැසිකිළි පහසුකම් සපුරාලීමට පාලකයෝ අසමත්ව සිටිති. 'බැද්දේගම' වැනි නවකතාවක සමාජ පසුබිමට වඩා සිය ගුණයකින් හම්බන්තොට පෙරට පැමිණ තිබුණද 'වැසිකිළි' ප්‍රශ්නයෙන් තවමත් 'බැද්දේගම' යුගයේ සිටීම තේරුම්ගත යුත්තේ කුමනාකාරයටද යන්න ප්‍රශ්නයකි.
හම්බන්තොට ජනතාවගේ දැවෙන ප්‍රශ්නය වූයේ ජලයයි. යම් ප්‍රමාණයකට ජල ප්‍රශ්නයට විසඳුම් ලැබී තිබේ. හම්බන්තොට යෝධ සංවර්ධනයක් කළ බව පැවැසුණද ජල ප්‍රශ්නය මුළුමනින්ම විසඳීමට නොහැකි වීම ප්‍රශ්නයකි. අනාවරණය වී ඇති ආකාරයට නම් ප්‍රාථමික ප්‍රශ්නයක් වන වැසිකිළි කැසිකිළි පහසුකම් ලබාදීමටද පාලකයන් අසමත් වී තිබේ.

නිදහසේ 70 වැනි සංවත්සරය පැවැත්වෙන්නේ ලබන වසරේය. එහෙත් දකුණු පළාත ඇතුළු මුළු රටේම ජනතාවගේ වැසිකිළි කැසිකිළි පහසුකම් ප්‍රශ්නයවත් සම්පූර්ණයෙන් විසඳීමට පාලකයන්ට හැකි වී නැත. එය ඉතා කනගාටුදායකය. අශිෂ්ටය. ආශ්චර්යවත් රටක් හදන බව කියමින්, රට සිංගප්පූරුවක් කරන බව කියමින්, 69 වසරක් තිස්සේ කටින් බතල කොළ සිටුවූ පාලකයන් සමුද්ධික ජනතාව හඳට ඇඟිල්ල දිගු කළ විට ඇඟිල්ල දෙස බලන පිරිසක් බවට පත්ව සිටියහ.
හම්බන්තොට, මාතර ඇතුළු මුළු රටේම ජීවත් වන දෙකෝටියකට ආසන්න ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකගේ වැසිකිළි කැසිකිළි ප්‍රශ්නයවත් විසඳීමට ඔවුන්ට නොහැකි වී ඇත්තේ ඒ නිසාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon