මැයි දිනයේ අසුබ ආරංචිය

  👤  3147 readers have read this article !
2017-05-03

ජගත් කම්කරු දිනය වෙනුවෙන් සුපුරුදු පරිදි මෙවරද දිවයිනේ තැන තැන සමරු පෙළපාළි හා රැලි පැවැත්විණි. මේ දිනවල පවතින දැඩි රස්නය ද නොතකා දහස් සංඛ්‍යාත පාක්ෂිකයන්, ආධාරකරුවන් හා හිතවත්තු කොළඹ, මහනුවර පැවැති ප්‍රධාන පක්ෂවල මැයි රැලි හා පෙළපාළිවලට එක්ව සිටියහ.
ගාලුමුව‍ෙදාර පිටියේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පෙළපාළියට හා රැලියට සහභාගි වූ වියපත් දෙදෙනකු මරුමුවට පත්වූයේ අධික රස්නය දරාගත නොහැකිව බව කියැවිණි. ඔවුන්ගේ මරණ පරීක්ෂණවලදී නිගමනය වී ඇත්තේ මරණයට හේතුව හෘදයාබාධ වැලඳීම බවය.

මැයි රැලිවලට පූර්වයෙන් ඒ ඒ දේශපාලන පක්ෂ පවා සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා තිබුණේ පානීය ජලය රැගෙන එන ලෙසය. මෙහි බැරෑරුම්කම ඔවුන්ද තේරුම්ගෙන තිබුණු බව ඉන් පැහැදිලිය. ඇතැම් පෙළපාළි ගමන්ගත් මාර්ග ජල නළ (හෝස්) උපයෝගී කරගෙන තෙමා දැමීමට ඒ ඒ මාර්ග දෙපස පදිංචිකරුවන් ගෙන් ඇතැමකු කටයුතු කර තිබුණේද පෙළපාළිකරුවන් මුහුණ දෙන දුෂ්කරතාව පිළිබඳ අවබෝධයක් තිබුණු නිසා විය යුතුය.

අවාසනාවට පෙළපාළිවලට හා රැලිවලට සහභාගි වූ ඇතැමකුට ඒ අවබෝධය තිබී නැත. නොඑසේනම් වියපත් පුද්ගලයන් මෙවැනි ඉතා දුෂ්කර කාලගුණික තත්ත්වයන් මත මෙලෙස නොපැමිණෙන අතර ඥාතීන් හෝ හිතවතුන් එලෙස පැමිණීමට ඉඩ නොදෙන බව සහතිකය.

අඩ සියවසකට අධික මෙරට මැයි දින සමරු ඉතිහාසයේ මැයි රැලියක සිදුවූ ප්‍රථම මියයෑමේ සිද්ධිය ලෙස මෙය සැලකේ. මීට පෙර 1987 මැයි දින රැලියකදී මරණ දෙකක් සිදුවිය. ඒ පොලිසිය විසින් වෙවි තැබීමෙනි. එහිදී ජීවිත පූජා කළේ තරුණයන් දෙදෙනෙකි. අධික උෂ්ණත්වය හා අධික වෙහෙස දරාගත නොහැකි වීමෙන් හෘදයාබාධ වැලඳී මියගොස් ඇති මේ දෙදෙනාම වියපත් වැඩිහිටියෝ වෙති. මියගියේ දෙදෙනකු පමණි. තවත් සැලකිය යුතු පිරිසක් දැඩි ලෙස ශාරීරික සෞඛ්‍ය පිරීහීමකට ලක්වන්නට ඇත.
ඉතා අයහපත් කාරණය නම් මැයි රැලිවලට හා පෙළපාළිවලට සහභාගිවූ ඇතැමුන් මත්පැන් පානය කිරීමය. මත්පැන් පානය කර ජලය අවශ්‍ය තරමට ලබා නොගෙන අධික උෂ්ණත්වය යටතේ කය වෙහෙසීම කිසිසේත් අනුමත කළ නොහැකිය. එහෙත් පොලිසියේ ගණන් බැලීමට අනුව මැයි දිනයේ රට පුරා සැමරුම් රැලිවලට හා පෙළපාළිවලට එක් වූ ලක්ෂ දෙකකට අධික පිරිසෙන් සැලකිය යුතු පිරිසක් මේ අනුමත කළ නොහැකි තත්ත්වයට ගොදුරු වන්නට ඇත්ද?

ලක්ෂ ගණනින් නගරයට එන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි පක්ෂ හෝ සංවිධාන මේ 'අනතුර' නියමාකාරයෙන් අවබෝධ කර ගත්තාද යන්න ප්‍රශ්නයකි. එසේ වූවා නම් අවාසනාවන්ත ලෙස වැඩිහිටියන් දෙදෙනකු මැයි දිනය දා මරු වැලඳගන්නේ නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon