නිදහස් මාධ්‍යද මාධ්‍ය නිදහසද?

  👤  4716 readers have read this article !
2017-05-04

මාධ්‍ය සැලකෙන්නේ නිදහස් රාජ්‍යයක සිවුවැනි ආණ්ඩුව ලෙසය. ඒ බලය නිසාම පාලකයෝ බොහෝ විට මාධ්‍යට බිය වෙති. විශේෂයෙන් ජනතාවට එරෙහිව ආණ්ඩු කරන්නන් මාධ්‍ය මර්දනයට පෙලඹේ. මාධ්‍ය නිදහස නමැති සංකල්පය බිහිවී ඇත්තේ ඒ නිසාය. තහංචි වැටෙන තරමට 'නිදහස' පිළිබඳ ඇති අවධානය වැඩි වේ.
පැරිසිය කේන්ද්‍ර කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන 'දේශසීමා රහිත මාධ්‍යවේදියෝ' ලෝකයේ රටවල 'මාධ්‍ය නිදහස' පිළිබඳ සමීක්ෂණයක් වාර්ෂිකව සිදුකරනු ලබයි. මෙවර ඔවුන්ගේ සමීක්ෂණයට රටවල් 180ක් යොදාගෙන තිබේ. 'මාධ්‍ය නිදහස'ට අදාළ දත්ත අනුව නෝර්වේ ලෝකයෙන්ම පළමුවැනි ස්ථානය හිමි කරගෙන ඇත. ස්වීඩනය දෙවැනි ස්ථානයටද, තෙවැනි ස්ථානය පින්ලන්තයටද හිමි වී තිබේ. පිළිවෙළින් සිවුවැනි හා පස්වැනි ස්ථානවල සිටින්නේ ඩෙන්මාර්කය හා නෙදර්ලන්තයයි.

මේ සමීක්ෂණය අනුව ලෝකයේ මාධ්‍ය නිදහස අඩුම රට ලෙස 180 වැනි ස්ථානයේ සිටින්නේ උතුරු කොරියාවය. එරිටි්‍රයාව, ටක්මෙනිස්ටාන්, සිරියාව හා චීනය පිළිවෙළින් 179, 178, 177, 176 ස්ථානවල පසුවේ. වඩා වැදගත් කාරණය ශ්‍රී ලංකාවට මේ සම්බන්ධයෙන් හිමිව ඇති ස්ථානයය.
'මාධ්‍ය නිදහස' අනුව ශ්‍රී ලංකාවට ලෝකයේ රටවල් 180 අතරින් හිමිව ඇත්තේ 141 වැනි ස්ථානයයි. ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 44.34කි. 180 වැනි රට ලෙස උතුරු කොරියාව ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 84.98කි. ඊට සාපේක්ෂව ලංකාව සාධනීය ස්ථානයක සිටියද එය කිසිසේත් සතුටු විය හැකි ස්ථානයක් නොවේ. ගෙවී ගිය දශකයට සාපේක්ෂව නම් 'මාධ්‍ය නිදහස' වඩා පුළුල් වී තිබේ.

මාධ්‍යකරුවන්ව ඝාතනය, ඔවුන්ට පහරදීම, මාධ්‍ය ආයතන ගිනි තැබීම, මාධ්‍යකරුවන් හා හිමිකරුවන් බිය වැද්දීම ගෙවුණු දශකයේ බහුලව සිදුවිය. එහෙත් වර්තමානයේ එවැනි තත්ත්වයක් දක්නට නැත. සූක්ෂමව 'මාධ්‍ය' පාලනය කිරීමට පාලකයෝ කවදත් උත්සාහ කරති. ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින උෟන සංවර්ධිත රටවල ප්‍රජාතන්ත්‍රවාදය හැකිළීම අනිවාර්යය. 'මාධ්‍ය' නිදහසද ඊට හසුවීම නොවැළැක්විය හැකිය. ලංකාව වැනි රටක 'මාධ්‍ය නිදහස' ඇහිරීම ඒ අනුව සිදුවන්නකි.

එහෙත් මාධ්‍ය නිදහස උදෙසා පෙනී නොසිටිය යුතු බව ඉන් නොකියැවේ. 'නිදහස' වල්බූරු ලෙස පාවිච්චි කිරීමද මෙවැනි රටවල සුලබය. ඒ පිළිබඳ මාධ්‍යකරුවන් අවධානය යොමු කළ යුත්තේ නිදහසට වැට බැඳීමට පාලකයන්ට එය ආයුධයක් වන නිසාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon