බහුරූ කෝලම් සහ තෙමඟුල

  👤  3894 readers have read this article !
2017-05-05

බුද්ධ වර්ෂ 2561 වෙසක් උළෙල ලංකාවාසී බෞද්ධ ජනතාවට සුවිශේෂී වන්නේ ජගත් වෙසක් උත්සවය මෙවර පැවැත්වෙන්නේ ලංකාවේ නිසාය.
හිටපු විදේශ ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් කළ යෝජනාවකට අනුව වෙසක් පෝය ජගත් වෙසක් දිනය ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරනු ලැබීය. ඒ අනුව ජගත් වෙසක් දින සමරු උළෙල ලෝකයේ බෞද්ධයන් සිටින රටවල සෑම වසරකම පැවැත්වේ. මෙවර ඒ වරම ලංකාවට හිමිවී ඇත.
ජගත් වෙසක් උත්සවය ඉහළින් පැවැත්වීමට රජය ලකලෑස්ති වෙමින් සිටී. ඉන්දීය අගමැතිවරයා ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික ආරාධිතයන් රැසක් වෙසක් උත්සවයට සහභාගි වීමට මෙරටට පැමිණීමට නියමිතය. එහෙත් ඇතැම් පිරිස් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ පැමිණීමට එරෙහිව විරෝධය පළති. කළු කොඩි ඔසවා ඔහුට විරෝධය පළ කළ යුතු බවටද යෝජනා වී ඇත. දේශපාලනික කාරණා මේ වෙසක් මාසයේ ආගමික උත්සවයත් සමඟ පටලවාගත යුතුද යන්න ප්‍රශ්නයකි.
කාරණය අනෙකකි.

බෞද්ධාගමිකයෝ ආමිස හා ප්‍රතිපත්ති පූජාවල යෙදෙමින් කවදත් තෙමඟුල සමරති. එහෙත් වැඩි නැඹුරුවක් ඇත්තේ ආමිස පූජාවටය. දාන, ශීල, භාවනා ආදී ප්‍රතිපත්ති පූජාවලට මුල්තැනක් ලැබිය යුතු වුවද දන්සල්, පෙරහර, තොරණ, වෙසක් සැරසිලි, ආලෝක පූජා, භක්ති ගීත හා සුබපැතුම් පත් ආදී ආමිස පූජා වඩාත් ජනප්‍රියය.
ප්‍රශ්නය වන්නේ වාණිජකරණය වූ සමාජයේ කාලයක සිට ආමිස පූජා මුවාවෙන් බුදුදහමට එකඟ නැති බෞද්ධ සංස්කෘතියට නිගාදෙන දේ සිදුවීමය. බෞද්ධාගමිකයන්ගේ සිත්සතන් නිවාලන ඔවුන්ව බුද්ධි ප්‍රබෝධයට පමුණුවන ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජා සිදුකළ යුතු වුවද එය එසේ වන්නේ නැත. බෞද්ධාගමිකයන් නොවන්නන්ගේද සිත් පහන් වන ආකාරයෙන් වෙසක් උත්සවය පැවැත්විය යුතුය.
විකාර රූපී වෙස් මුහුණු, හොල්මන් මන්දිර, ඔළුබක්කන් නැටවීම වෙසක් උත්සව සමයේ දක්නට ලැබෙන බුදුදහමට කිසිදු සම්බන්ධයක් නැති විප්‍රකාරය. බොහෝ විට සිදුවන්නේ වෙස්මුහුණු පැලඳ ජනතාව හිරිහැරයට පීඩාවට ලක්කිරීමය. හොල්මන් මන්දිරවලද එවැනි හිංසා පීඩා සිදුවන අවස්ථා තිබේ. බෞද්ධ කොඩිය, බුද්ධ රූපය අවභාවිත කිරීමද, පොලිතින් සැරසිලි සඳහා භාවිත කිරීමද සිදුවේ. පහන්කූඩු ප්‍රදර්ශනයට මුදල් අයකිරීම සුදුසු නැතත් ඇතැම් තැනක මුදල් අය කෙරේ. තොරණ සඳහා පුවක් ගස් කැපීම අඩුවී ඇතත් සම්පූර්ණයෙන් නතර වී නැත.
බුදු දහමට නොගැළපෙන වෙසක් පත් කාලයක් වෙළෙඳපොළ ආක්‍රමණය කර තිබුණද රජයේ මැදිහත් වීම නිසා එහි ගුණාත්මක වෙනසක් සිදුවී ඇත. තවමත් එවැනි වෙසක්පත් දක්නට නැත්තේ නොවේ. මුදල් එකතු කර දන්සල් දීම හා දන්සල්වලට බලහත්කාරයෙන් සෙනඟ කැඳවීම, වෙසක් උත්සවයට නොගැළපෙන ගීත දන්සල්වල අධික ශබ්දයෙන් ප්‍රචාරය කිරීම, නළා හඬවමින් ශබ්ද දූෂණය කිරීම ආදී විවිධ 'වැරැදි' වෙසක් සමයේ දක්නට ඇත.
මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ආනයනික කිසිදු වෙසක් සැරැසිල්ලක් වෙළෙඳපොළේ අලෙවියට නොතබන ලෙස රජය අවධාරණය කර තිබේ. විශේෂයෙන් බෞද්ධ සංකල්පවලට පටහැනි සැරැසිලි අලෙවි කිරීමෙන් වළකින ලෙස දන්වා ඇත. පොලිසිය හා පාරිභෝගික අධිකාරිය හරහා රජයේ කොන්දේසි කඩ කරන්නන් කොටු කර නොගන්නේ නම් බොහෝ වෙළෙන්දන් අකුරට වෙළෙ¼දාම කරනු ඇතැයි සිතිය නොහැකිය.

වෙසක් සැරසිලි ආනයනය කිරීම අවශ්‍ය නැත. අපේ සංස්කෘතියට ගැළපෙන ආකාරයේ සැරැසිලි ඕනෑ තරම් දේශීයව නිෂ්පාදනය වේ. අනෙක පිටරට සැරැසිලි බොහෝවිට මෙරට සංස්කෘතියට ගැළපෙන්නේද නැත. මෙවර වෙසක් උත්සවයේදී කළ නොහැකි වුවද ඉදිරියේදී ඒ පිළිබඳ රජය දැඩි අවධානය යොමුකිරීම අවශ්‍යය.
සියල්ල වාණිජකරණය වූ ලෝකයක අපේ රටටද ඉන් ගැලවුමක් නැත. එහෙත් පටිසෝතගාමීව ක්‍රියාකළ ගෞතම බුදුන් වහන්සේගේ දහම් මඟ තෝරාගත්තවුන් පිළිවෙත් උදෙසා වෙහෙසය යුතුව ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon