නැවතත් අසමත්...

  👤  3645 readers have read this article !
2017-05-07

මහ බැංකු වාර්තාව නිකුත් වී තිබේ. එහි ප්‍රකාශිත දත්ත රටේ ආර්ථිකයෙහි අලුත්ම හැඩය රටට චිත්‍රණය කරයි. මේ දත්ත ගොනු යළිත් අපට කියා දෙමින් ඇත්තේ නිශ්චිත දිශානතියක් වෙත නාභිගත වීමට අපොහොසත් වූ දුබල ආර්ථියක් සහිත රටක යථාර්ථයය.
ගෙවී ගිය වසර තුළ අපට උත්කර්ෂවත් ආර්ථික බලාපොරොත්තු ඉතිරි වී නැත. මහ බැංකු දත්ත ප්‍රකාරව දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය ප්‍රමාණය සියයට 77.6 සිට 79.3 තෙක් වර්ධනය වී තිබේ. ශූද්ධ ණය ගැනීම් ඉහළ ගොස් ඇත. රටේ ආර්ථික වර්ධන වේගය මන්දගාමීය. එය සියයට 4.8 සිට සියයට 4.4 තෙක් අඩු වී තිබේ. රටේ උද්ධමනය සියයට 4කි.

මධ්‍යම රජයේ නොපිය වූ ණය ප්‍රමාණයේ නාමික අගය වර්ෂ 2015 අවසානයේ පැවැතියේ බිලියන 8503.2 ලෙසය. වර්ෂ 2016 අවසාන කර අප මේ අවුරුද්දට පැමිණ ඇත්තේ රුපියල් බිලියන 9,387.3ක ණය බරක් සමඟය.
පසුගිය වසරේ පමණක් ඉහළ ගොස් ඇති ණය ප්‍රමාණය බිලියන 884.1කි. වර්ෂ 2016 අවසානයේ මධ්‍යම රජය නොපිය වූ මුළු ණය ප්‍රමාණය 5,341 දක්වා සියයට 7.7කින් ඉහළ ගොස් ඇත. නොපිය වූ විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 4045.8 දක්වා සියයට 14.2න් ඉහළ වර්ධනය වී තිබේ. අප ණය බරෙහි පත්ලට කෙමෙන් ගමන් කරමින් සිටින ආකාරය මේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
විදේශ ආයෝජන ප්‍රවාහය ආකර්ෂණය කර ගැනීමට රට දිගින් දිගටම අපොහොසත් වීම ගැන මහ බැංකු වාර්තාව කියයි. රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් විදේශ ආයෝජන ඉවත් කර ගැනිණි. ගෙවුම් තුලනය අඛණ්ඩව දෙවන වසරටත් හිඟයක් වාර්තා කර ඇත්තේය. කෙසේ වෙතත් අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස අපේක්ෂිත සියයට 5.4 මට්ටමෙහි රඳවා ගැනීමට රාජ්‍ය මූල්‍ය අංශයට හැකි වී ඇති අයුරු පෙනේ. සමස්තයක් ලෙස රජයට රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය තිරසාර ලෙස පවත්වා ගැනීමට අඛණ්ඩ ප්‍රයත්න දැරීමේ අවශ්‍යතාවක් පැනනැඟී තිබේ.
වර්ෂ 2016දී ශ්‍රී ලංකා ආර්ථික ක්‍රියාකාරිත්වය තුළින් යළි අවධාරණය කරන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය ඉහළ වර්ධන මාවතක් තුළ ස්ථාවරව රඳවා ගැනීමට අවශ්‍ය නම් ආර්ථිකය තුළ දිගු කාලීනව පවත්නා ව්‍යුහාත්මක ගැටලු විසඳිය යුතු බවය.
මෙවැනි නිර්දේශ සහිතව සෑම වසරකදීම මහ බැංකු වාර්තා නිකුත් වේ. ඒවා හුදු වචන මාත්‍ර පමණක් වූ අයුරු ඉතිහාසයෙන් පෙනේ. පසුගිය වසර තුළ පමණක් තිරසාර ආර්ථික සංවර්ධනයක් සඳහා රටේ අගමැතිවරයාත්, මුදල් ඇමැතිවරයාත් රටට හඳුන්වා දුන් බව කියන ආර්ථික සංකල්ප ප්‍රමාණය මහත්ය. එහෙත් ඒ හැම දෙයක්ම දේශපාලනය දැවටූ හුදු වචන මාත්‍ර පමණක් බව මේ දත්ත ගොනු අපට කියන්නේය.

මේ අර්බුදයේ ප්‍රමාණය රටක් ලෙස අප විසින් වටහා ගත යුතුව තිබේ. රටේ ආර්ථික කළමනාකරණය සම්බන්ධව අප මෑතකාලීනව යහපත් හැකියාවන් පෙන්වා නැත. පසුගිය 2017 අය වැයෙන් යෝජිත බදු යෝජනා ගැසට් කර එහි ක්‍රියාත්මක ස්වරූපයට පත්කිරීමට මේ මුදල් වර්ෂය ආරම්භ වී මාසයක් ගතවන තුරුත් මුදල් අමාත්‍යාංශය අපොහොසත් වී ඇතැයි වාර්තා වේ. මෙම බදු යෝජනා මඟින් අපේක්ෂිත බදු ආදායම රුපියල් කෝටි 3,700කි. කුමන ආකාරයේ ආර්ථික සංවර්ධන යෝජනා ඉදිරිපත් වුවද එහි ක්‍රියාත්මක ප්‍රායෝගික ස්වරූපය මෙය නම් ලබන වසරේදීත් අපට රටේ ආර්ථිකය ගැන කතා කරන්නට සිදුවනු ඇත්තේ සංවේගයෙනි.
ඇත්ත නම් මේ ගමන බොහෝ දුරක් මේ ආකාරයෙන් යා නොහැකි බවය. ඒ අවබෝධය සහිතව රටේ ආර්ථිකය නිසි මඟට ප්‍රවේශ කිරීමේ වගකීම රජය සතුව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon