කංචන ඒකාබද්ධ විපක්ෂයට සමුදෙයි

  👤  5226 readers have read this article !
2017-05-07

ගෙවී ගිය සතියේ දේශපාලනඥයන්ගේ අවධානය යොමු වී තිබුණේ මැයි රැලිය සම්බන්ධයෙනි. කම්කරුවන්ගේ දිනය දේශපාලකයන් විසින් උදුරා ගෙන ඔවුන්ගේ බලය පෙන්වන දිනයක් බවට පත් කර ගෙන තිබිණි. මේ අතර ශ්‍රී ලනිප, එජාප මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිවලට පැමිණි අය සුරාසොඬුන් සේ කරන විකාර ද මේ මැයි රැලිහි වෙසෙසින් කැපී පෙනුණි. අනෙක් අතට ඉවක් බවක් නැතිව කුණු බැහැර කරමින් ඔවුන් තම කුණුවලින් පරිසරය දූෂණය කොට තිබිණි.
ජනතා විමුක්ති පෙරමුණ මැයි දින රාත්‍රියේම බී.ආර්.සී. පිටිය සුද්ද පවිත්‍ර කරමින් වෙනදා මෙන්ම ආදර්ශයක් දුන්නේය. ශ්‍රී ලනිප ගැටඹේ ක්‍රීඩාංගණය සුද්ද පවිත්‍ර කිරීමට එක්වූයේ පසුදාය. 'පරිසරය පූජනීයයි' වැඩසටහන අරඹමින් ජනපති මෛත්‍රිපාල සිරිසේනද එක්ව සිටියේ ආදර්ශයක් දෙමින්ය. ඒ අතර එජාපයේ හර්ෂණ කැම්බල් පිටිය ආශ්‍රිත මාර්ගයේ කුණු එකතු කිරීමට එක්ව සිටියේය.

මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් කසළ එකතු කරමින් සිටියදී කුණු එකතු කරමින් පැමිණි මහනුවර පුද්ගලයෙක් 'සර් ඔබතුමා හම්බන්තොටින් ඔච්චර පිරිසක් ගෙනනාවෙ කොහොමද?'යි ජනාධිපතිවරයාගෙන් විමසීය. 'ඇයි එහෙම කියෙන්නෙ?' යැයි ඊට ප්‍රශ්නයකින්ම ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය. 'නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දිස්ත්‍රික්කයේ. ටී ෂර්ට් ඇඳපු ගොඩක් දෙනෙක් එතැන හිටියා' ඔහු යළි කියත්ම 'මහින්ද මොකක්ද මේ කතාව?' යැයි ජනාධිපතිවරයා මහින්ද අමරවීරගෙන් විමසා සිටියේය. 'මම හම්බන්තොටින් බස් 128කින් ජනතාව එක්ක ආවා. ඒක දැකලා වෙන්න ඇති ඕක කියන්නෙ' අමරවීර කියත්ම 'නිරුපමා රාජපක්ෂත් එක්ක ආවනෙ' යැයි එතන සිටි අයෙක් කීවේය.

ශ්‍රී ලනිපය, එජාපය, ඒකාබද්ධ විපක්ෂය (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ) සහ ජවිපෙ ප්‍රධාන මැයි රැලි සඳහා කැපී පෙනෙන ජන සහභාගිත්වයක් දැක ගත හැකි විය. ඒත් ඒ අතර වැඩිම පිරිසක් පැමිණියේ හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් ගෝල්ෆේස් හි පැවති මැයි රැලියට බව නීරීක්ෂකයන්ගේ නිගමනය විය.
ශ්‍රී ලනිපය දැන් නව ජවයකින් මැයි රැලි පිළිබඳ කතාබහ කරන්නට පටන් ගෙන ඇත. 2020 මැතිවරණයේදී ශ්‍රී ලනිප සමඟියෙන් යුතුව මැතිවරණයකට ඉදිරිපත් විය යුතු බව එම දෙපාර්ශ්වයේම අදහස වී ඇත. ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මැයි රැලියේ දීත් ඉන් පසුව මහින්ද අමරවීර සහ නාමල් රාජපක්ෂත් එවැනි අදහස් ඉදිරිපත් කළහ. අමරවීර කියන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වය ඒකාබද්ධ විපක්ෂයද පිළිගත යුතු බවයි. නාමල් කියන්නේ සැබෑ ජනමතය තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට නිසා ජනාධිපති ප්‍රමුඛ පිරිස ඊට එකතු විය යුතු බවය. එනම් එජාපය අත්හළ යුතු බවයි. මේ ප්‍රවණතාව ඉදිරියේදී කුමන පරිණාමයකට ලක්වේද යන්න පැවැසීමට තවමත් කල් වැඩිය.

අමාත්‍ය මණ්ඩල රැස්වීම සුපුරුදු ලෙස අඟහරුවාදා රැස් වුවද ඒ වෙනදා මෙන් උදේ වරුවේ නොව සවස් වරුවේය. ඇමැතිවරුන් මැයි රැලිවලට සහභාගි වී වෙහෙස මහන්සි වී සිටීම සවස් කාලයේ කැබිනට් රැස්වීම පැවැත්වීමට හේතු විය.
රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා අමාත්‍යවරුන් එජාප මැයි දින වේදිකාවේදී තමන්ට පහත් අන්දමින් ‍ෙදාස් නඟා ඇතැයි මෙහිදී ජෝන් සෙනවිරත්න ආවේගාත්මක ලෙස අදහස් ප්‍රකාශ කරන්නට විය.
"රාජපක්ෂලා හොරු නම් එදා අමාත්‍ය මණ්ඩලයේ සිටි අපි සියලු දෙනාත් හොරුයි. අනුන්ට චෝදනා කරන කොට තමන්ටත් ඒ චෝදනාව වලංගුයි කියලා හිතන්න ඕන. මම මහින්දගේ, බැසිල්ගේ හෝ ගෝඨාගේ පස්සේ යන්නේ නැහැ. මම අදත් හෙටත් ඉන්නේ ශ්‍රී ලනිප නායකත්වය සමඟයි. අපි ශ්‍රී ලනිප වෙනුවෙන් කතා කරන කොට යූඑන්පීය අපිට පහර දෙනවා" ඔහු දිගින් දිගටම කියන්නට විය. ඒ අතර දයාසිරිද අදහස් දක්වමින් "මටත් ඔය ප්‍රශ්නය තියෙනවා. කැබිනට් එකේ අපි කතා කරන්නේ ජනතාවගේ පැත්ත හිතලයි. එහෙම කළාම මහින්ද එක්ක ඩීල් තියෙනවා කියලා චෝදනා කරනවා. අපි ඉන්නේ ඔබ තුමා එක්ක කියලා ජනාධිපතිතුමනි ඔබතුමා මේ අයට කියන්න. අපි කවදාවත් වෙන අය එක්ක ඩීල් දමන්නේ නැහැ" දයාසිරි කීවේය.
මේ කැබිනට් හමුව සඳහා රාජිත ඇමැතිවරයා සහභාගි වූයේ නැත. ඒ ඔහු විදේශගතව සිටීම නිසාය. එහෙත් ෆොන්සේකා නැඟිට ජෝන්ට උත්තර දෙන්නට විය. "අපටත් අදහස් ප්‍රකාශ කරන්න නිදහස තියෙනවා....." ඔහු පැවැසීමත් සමඟ ගාලගෝට්ටියක් වූ කැබිනට් මණ්ඩලය නිශ්ශබ්ද කිරීමට මැදිහත් වන්නට සිදු වූයේ ජනාධිපතිවරයාටයි." මේ ආකාරයට එකිනෙකා විවේචනය කර ගැනීම ගැන කනගාටු වෙනවා. මෙතැන රාජිත ඇමැතිතුමා නැහැ. ඔහු ආවම අපි ඒ ගැන කතා කරමු" ජනාධිපතිවරයා සඳහන් කළේය.
රටක් හැටියට දියුණු වෙන්න නම් වැඩි බරක් තැබිය යුත්තේ මුහුදෙන් ගන්න පුළුවන් සම්පත්වලටයි. අපට අයත් මුහුදු සීමාව පුළුල් කරගැනීමට රාජතාන්ත්‍රිකව වැඩ කිරීමත් අවශ්‍යයි. මේ සම්බන්ධව එක්සත් ජාතීන්ට අනුබද්ධ කමිටුවක් ඇති අතර ඊට පත් කළ යුත්තේ ඒ විෂය ගැන, ඛනිජ සම්පත් ගැන දැනුම තිබෙන විද්වතුන්. විදේශ ඇමැති මංගල එවැනි තනතුරකට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සාලිය වික්‍රමසූරියගේ නම යෝජනා කළ අතර ඊට ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් එකඟතාව පළවිය. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් වී නොමැත. සාලිය වික්‍රමසූරියට නඩුවක් තිබෙන බව දැනුම් දීම ඊට හේතුවයි. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම සමඟ මෑතකදී ඔහු විදෙස් සංචාර කිහිපයකටම එකතු වෙමින් රටට වාසි ගන්න උනන්දු වූ අයෙක්. එහෙත් ඒ අවස්ථාවලදීත් ඊට නීතිපතිවරයා හරස් විය. එම හරස් වීම තනි පුද්ගලයකුටද එහෙම නැත්නම් රටට ගන්න පුළුවන් වාසියකටද කියලා ප්‍රශ්නයක් ඉතිරි වෙයි.
මුදල් ඇමැති රවි කරුණානායක යෝජනාවක් ගෙන එමින් මාණ්ඩලික ශේ්‍රණියේ රාජ්‍ය සේවකයන්ට තීරු බදු සහන යටතේ ඇමෙරිකන් ඩොලර් 20,000ත් 40,000ත් අතර මුදලකට වාහනයක් ගෙන ඒමට බලපත්‍රයක් ලබාදිය යුතු බව ප්‍රකාශ කළේය. ඊට කැබිනට් අනුමැතිය හිමිවිය.
එමෙන්ම පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමට ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා යෝජනාවක් ගෙන ආවේය. "කමක් නැහැ පාර්ලිමේන්තුවට බැරි නම් පළාත් සභාවෙන් හරි පටන් ගනිමු" යැයි කියමින් ඇමැතිවරු ඊට එකඟතාව පළ කර සිටියහ.
මේ අතර ඉන්දියාව සමඟ පසුගිය සතියේ අස්සන් කළ ගිවිසුම් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊටද එහිදී එකඟතාව පළ විය. එහිදී අදහස් දක්වමින් චන්දිම වීරක්කොඩි "ඉන්දියාව සමඟ ගිවිසුම් අස්සන් කළා කියලා වැරැදි මතයක් සමාජයේ තිබෙනවා. ඒත් කිසිම ගිවිසුමක් අස්සන් කරලා නැහැ. අස්සන් කරන්න පෙර පාර්ලිමේන්තුවත් ජනතාවත් දැනුවත් කරනවා.
මෙහිදී අමාත්‍ය මණ්ඩල සන්දේශ 23කට පමණ අනුමැතිය හිමි විය. ප්‍රතිසන්ධානය හා සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, ජාතිය ගොඩනැඟීමේ බද්ධ සංශෝධනය කිරීම ආදී යෝජනා ඒ අතර විය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීම බදාදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 4දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. වෙනදා ආගම සිහි කිරීමෙන් අනතුරුව පවත්වන එම රැස්වීමට මෙවර මිනිත්තුවක නිශ්ශබ්ද කාලයක්ද එක් කර තිබිණි. ඒ මැයි දින රැලියේදී මිය ගිය ආධාරකරුවන් දෙදෙනාට කෘතගුණ දැක්වීමක් ලෙසින්ය.
'ඉතිහාසයේ වැඩිම ජන සහභාගිත්වයක් පැවැති රැලිය පවත්වන්නට අපට හැකි වුණා. හැම කෙනෙක්ම එකා වගේ කැපවීමෙන් කටයුතු කරපු නිසයි අපට ඒ වගේ සාර්ථක මැයි රැලියක් පවත්වන්න හැකි වුණේ. ප්‍රාදේශීය සභාවල සිට පාර්ලිමේන්තුව දක්වා සියලු මන්ත්‍රිවරුන් අපට විශාල දායකත්වයක් දැක්වූවා. ඒ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා' එහිදී හිටපු ජනපති මහින්ද සාකච්ඡාවට ආරම්භයක් දුන්නේ එලෙසින්ය.
'ආණ්ඩුව දැනටමත් බය වෙලා. දැන් හදන්නේ මර්දනය තුළින් අප පාලනය කරන්න' ඩලස් පෙන්වා දුන්නේය' ඔව් ආණ්ඩුව දැන් මර්දනයට සූදානම්. ඒ හින්දා තමයි අර සාටකයෙන් එල්ලනවා වගේ කතා කියන්නේ' ප්‍රසන්න පෙන්වා දුන්නේය. 'ෆොන්සේකා කියන්නෙ ඡන්ද පන්දහසක්වත් ගන්න බැරි වෙච්ච කෙනෙක්. එයා පාර්ලිමේන්තුවට ගෙනාවෙම මහින්ද මහත්තයාගෙන් පළිගන්න. ඒ වුවමනාව තමයි ෆොන්සේකාගෙ කතාවෙන් එළියට ආවෙ' එහෙම කිව්වේ සිසිර ජයකොඩිය.
'ෆොන්සේකාගේ මේ ප්‍රකාශය සුළුවට තකන්න බැහැ. දෙමළ ඩයස්පෝරාවට සහ යුරෝපයේ රටවල වුවමනාව වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ඉවර කර ගැනීමයි. ඒකට තමයි මේ සැරසෙන්නෙ' ප්‍රසන්න කීවේය.
මේ කතාබහ අතරතුර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට පැමිණියේය. ඒත් එක්කම සියලු දෙනා ඔහුට සුබපතන්නට වූහ. සියලු දෙනා එකවර සුබපතන්නට වූයෙන් එතැන තරමක් කෑ ගසන තැනක් මෙන් දැනෙන්ට විය. මහින්දද ඒ අවස්ථාවට බාධා නොකර බලා සිටින්නට වූයේය.
'මාව මරං කන්නෙ මොකද යකෝ' යැයි මහින්දානන්ද ඇසුවේ සුබ පැතුම්වලින් බේරෙන්නට සිතාය. එම සුබ පැතුම්වලින් අනතුරුව රෝහිත යළි සාකච්ඡාවට ප්‍රවේශයක් දුන්නේය.' 'සර් මැයි දිනේ සාර්ථකත්වය හින්දා අපට තෑගි තුනක් ලැබිලා තියෙනවා ඔහු කීවේය. 'ඒ මොනවද' යි මහින්ද ඒ පිළිබඳ විමසුවේ වික්ෂිප්ත බවකින්ය.
'පළමුවැනි එක ෆොන්සේකාගේ සාටක කතාව. දෙවැනි එක රාජිත කියපු රාජපක්ෂලා හිරේ දාන කතාව, තුන්වැනි එක සර්ගෙ ආරක්ෂාව ඉවත් කිරීම' රෝහිත විස්තර කළේ සෙසු අය සිනාසෙද්දීය. එහෙත් මහින්දගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් 42 දෙනකු ඉවත් කිරීම පිළිබඳ ඔවුන්ගේ අවධානය දීර්ඝ ලෙස යොමු විය. විපක්ෂයේ මැයි දිනයේ සාර්ථකත්වය නොඉවසන ආණ්ඩුව මහින්දගේ ආරක්ෂාව ඉවත් කර පළිගන්නා බව මන්ත්‍රි කණ්ඩායමේ අදහස වූයේය.
'මේක කුමන්ත්‍රණයක්, කලිනුත් ආරක්ෂාව ඉවත් කළා. මහින්ද මහත්තයා ත්‍රස්තවාදීන්ට නිරාවරණය කිරීම තමයි ඔවුන්ගෙ අරමුණ' ප්‍රසන්න කීවේය. 'බලන්න රාජිත අපේ ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමාට කතා කරන විදිය. අන්තිම කැතයි' ඔහු ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨතම ඇමැති කෙනෙක්. එතුමා මේ විදියට පහත් කරලා කතා කරන කොට පක්ෂයේ අනිත් ඇමැතිවරුන් නිහඬව ඉන්නවා' සී.බී. රත්නායක වෙනත් කතාවක් කතාබහට ගෙනාවේ එලෙසින්ය.
'අපෝ එයාලට ඕවා ගාණක් නැහැ. තනතුරු, වරප්‍රසාද ලැබෙනවා නම් ඕනෙම බැනුමක් අහන් ඉඳියි' ප්‍රසන්න යළිත් කීවේය.
වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීය සමිති දියත් කරන වැඩ වර්ජනවලට සහාය දිය යුතු බව දිනේෂ්, වාසු ඇතුළු අයගේ අදහස විය. ඊට සියලු දෙනා එකඟතාව පළ කළ අතර මහින්ද කීවේ' මගේ කාලයේ ජාතික සම්පත් විකුණලා නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය නෙවෙයි' මහින්ද කීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරීන් 42 දෙනකු ඇමැති ආරක්ෂක මූලස්ථානය වෙත කැඳවා තිබුණේ අඟහරුවාදාය. මේ පිළිබඳ බොහෝ දෙනකුගේ අවධානය යොමුවිය. දිනේෂ්, ඩලස් ඇතුළු පිරිසක් මේ ගැන කියන්නට බදාදා කතානායක කරු ජයසූරිය හමු වූහ. අගමැතිවරයා ඇතුළු බළධාරීන් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කරන බවට එහිදී කතානායකවරයා සඳහන් කර ඇත.
ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ ලබා සිටීම නිසා ඇය ද්විත්ව පුරවැසියකු බව බදාදා අභියාචනාධිකරණය තීන්දු කළේය. ඒ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය දැරිය නොහැකි බව අභියාචනාධිකරණයේ තීන්දුව විය. එම තීන්දුව නිසා මන්ත්‍රි ධුරය අහිමි වූ ගීතා කුමාරසිංහ ශේ‍ර්ෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරමින් තම මන්ත්‍රි ධුරය රැක ගැනීමට කටයුතු කරයි. ඒ පිළිබඳ කියන්නට ඇය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට පැමිණ කතානායක කරු ජයසූරිය මුණගැසුණාය. තමන්ට තවමත් අධිකරණයේ තීන්දු නොලැබුණු බව එහිදී කතානායකවරයා පැවැසු අතර අදාළ නීතිමය රාමුව තුළ ඇය ගන්නා පියවර පිළිබඳ සැලකිලිමත් වෙමින් කටයුතු කරන බවයි.
මේ අතර සේවයෙන් සමුගෙන යන පකිස්තානු මහ කොමසාරිස් මේජර් ජනරාල් ශකීල් හුසේන් පාර්ලිමේන්තුවට පැමිණ කතානායක කරු ජයසූරිය මුණගැසුණේය. ඔහුගේ සේවා කාලය තුළ ඉතා පරිණත රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරක යෙදෙමින් දෙරට අතර අවබෝධය හා අනේ‍යාන්‍ය සබඳතා වඩ වඩාත් තර කිරීම පිළිබඳව සමු ගෙන යන මහ කොමසාරිස්වරයාට කතානායකවරයාගේ ප්‍රශංසාව හිමි විය.

'අද දින සිට ඒකාබද්ධ විපක්ෂයේ කටයුතුවලින් මඳක් ඉවත් වීමට තීරණය කරන ලදී. මෙය කුමන විදියකින් හෝ රජයට එකතු වීමක් හෝ ජාතික ආණ්ඩුව නියෝජනය කරන මෛත්‍රි පිල සමඟ එකතු වීමක් හෝ ආණ්ඩුව කරන කිසිම පාර්ශ්වයක් සමඟ එකතු වීමක් නොවන අතර මා දරන ස්ථාවරය වඩාත් නිවැරැදිව කිරීමට කරන කාර්යයක් පමණි. ඉදිරියටත් මාතර දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් කළ හැකි දේ උපරිම ලෙස කිරීමටත් මට ලබා දුන් මනාපයේ ගෞරවය ආරක්ෂා කිරීමටත් කටයුතු කරමි.'
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර එම සටහන ඔහුගේ මුහුණු පොතේ සටහන් කොට තිබුණේ සිකුරාදා පෙරවරුවේය. එහෙත් ඔහු ඒ පිළිබඳ හේතුවක් නොදැක්වීමට පරෙස්සම් වී තිබිණි. සිකුරාදා ඔහු නියෝජනය කරන දෙවිනුවර ආසන්නයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක් සම්බන්ධ හේතුවක් ඊට මුල් වී ඇති බව ඔහුට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව වැලිකන්ද, 'සුන්දරමහාදේවිගම' විවෘත කිරීමට නියමිතව තිබුණේ ඉකුත් සතියේය. එම දිනයේදීම අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුවට සහභාගි විය යුතුව තිබූ නිසා ගම්මානය විවෘත කිරීමේ උත්සවයට පැමිණීමේ ප්‍රායෝගික ගැටලුවකට මුහුණ පා සිටි ජනාධිපතිවරයා මේ බව දුරකතනයෙන් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට දැනුම් දෙමින් කීවේ 'ජාතික මට්ටමේ කටයුත්තක් නිසා මට එදාට පොළොන්නරුවට එන්න වෙන්නෙ නෑ. ඔයා ගිහින් ගම්මානය විවෘත කරන්න' කියාය. අනතුරුව සිදුවුණු කෙටි පිළිසඳරේදී සජිත් කීවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලික්නද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුෂ්කරම කලාපය ප්‍රාදේශීය ගම්උදා ප්‍රදේශයක් බවට පත් කර සංවර්ධනය කරන බවයි. 'බොහොම හොඳයි සජිත්' ජනාධිපතිවරයාගේ ක්‍ෂණික පිළිතුර විය. නිවාස 29කින් සමන්විත 'සුන්දරමහාදේවිගම' ගම්මානය ජනතා අයිතියට පැවැරීමෙන් පසුව පවුල් 100කට 'විසිරි නිවාස ණය', වකුගඩු රෝගී පවුල් 300කට නිවාස ආධාර, තරුණ තරුණියන් 250කට 'ශිල්ප සවිය' නොමිලේ ඇස් කණ්ණාඩි, පෙර පාසල්වලට ජල පෙරන යනාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වූ අතර ඒවායින් ප්‍රදේශයේ පවුල් 800කට පමණ ප්‍රතිලාභ අත්විය.

මෙවර ජවිපෙ මැයි රැලියට සහභාගිවීමට කියුබාව, ඉන්දියාව, ග්‍රීසිය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක විදෙස් නියෝජිතයෝ පිරිසක් පැමිණ සිටියහ. විදෙස් නියෝජිතයන් කිහිප දෙනෙක් යාපනය මැයි රැලියටද එක් විය. ඉන්දියාව නියෝජනය 'ඕල් ඉන්දියා පෝවර්ඩ් බොලොක්' පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් සහ අන්තර්ජාතික කටයුතු පිළිබඳ ලේකම් ජී. දෙවරාජන් විජිත හේරත් මන්ත්‍රිවරයා සමඟ කියා සිටියේ 'යාපනය මැයි රැලිය හැමෝටම හොඳ පණිවුඩයක් දුන්නා. ඉන්දියාවේ වුණත් ඇතැම් කොටස් ජවිපෙ ගැන වැරැදි මතයකයි ඉන්නෙ' ඒ නිසා යාපනය මැයි රැලිය හැමෝටම හොඳ සංඥාවක් කියලයි මම හිතන්නෙ' යනුවෙන්ය.
මැයි රැලියෙන් අනතුරුව ජවිපෙ විසින් විදෙස් නියෝජිතයන් සඳහා විශේෂ වැඩසටහන් හා හමුවීම් කිහිපයක් සංවිධානය කොට තිබිණි. ප්‍රධාන කාර්යාලයේ පැවැති එක් හමුවක් අවසන් වී බිමල් රත්නායක මන්ත්‍රිවරයා සමඟ ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රි කොන්ස්තන්තිනෝ පපා කිංස්බරි හෝටලය වෙත යෑමට සූදානම් විය. ඒ මොහොතේ ඒ අසල සිටි හිටපු මන්ත්‍රි ජිනදාස කිතුලේගොඩ පෙන්වමින් බිමල් රත්නායක මන්ත්‍රිවරයා ඔහු හඳුන්වා දුන්නේය. 'මේ ඉන්නෙ අපේ පක්ෂයේ පළමු පරම්පරාවේ සාමාජිකයෙක්. මේ සහෝදරයා 71 අරගලයටත් සම්බන්ධ වූ කෙනෙක්' ඔහු කීවේය. ඒ අසා සිටි විදෙස් නියෝජතයා කිතුලේගොඩ අසලට ගොස් ඔහුගේ දෑත පපුවේ තබාගෙන 'මේ වගේ සහෝදරයන් විප්ලවාදී ව්‍යාපාරවලට ජීවයක් සපයනවා. මට හරි ආඩම්බරයි මේ හමුවීම' ඔහු කීවේය.
මේ අතර ජවිපෙ මැයි රැලියට පැමිණි කියුබා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික අබෙලාර්ඩෝ රෆායල් කුලුටෝ සොසා සමඟ ජවිපෙ නායකයන් අත්දැකීම් බෙදා ගැනීම් වැඩසටහනක් සංවිධානය කළේය. එහිදී කියුබාවේ වත්මන් තත්ත්වය ඇමෙරිකාවේ මැදිහත්වීම, ආර්ථික සම්බාධක සහ කියුබාවේ සිදු කිරීමට යන සමාජවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය. කියුබා නියෝජිතයා ෆිදෙල් කස්තේ‍රා් පිළිබඳ මෙසේ කීවේය. 'මම ෆිදෙල් මුණගැහිලා තියෙනවා. තාමත් මට ෆිදෙල් දැනෙනවා.
ඔහු කවදාවත් මැරෙන්නෙ නැහැ. මම ආමි එකෙන් ඉඳලා තියෙනවා. මට සම්මාන 7ක් ලැබුණා. ඒත් මට ශ්‍රී ලංකාවට එන්න ලැබුණු එකයි ඔයාලගෙ සහෝදරත්වයයි ඒ සම්මානවලට වඩා වටිනවා' ඔහු කීවේය.

මේ රටේ උපාධිධාරීන්ට රැකියා නොදීම නිසා දහස් ගණනාවකගේ අපේක්ෂා බොඳ වෙමින් ඇත. ඒ සම්බන්ධව දිවයින පුරා උපාධිධාරීන්ගේ මැසිවිලි, උද්ඝෝෂණ, විරෝධතා නිරන්තරව ඇසෙයි. මේ අතර නැඟෙනහිර පළාතේ උපාධිධාරීන් මඩකළපුවේ මාස දෙකක් තිස්සේ රැකියා ඉල්ලා උපවාසය කළ ස්ථානයට අඟහරුවාදා විපක්ෂ නායක සම්බන්දන් ගියේය. රජය සමඟ කතා කොට දෙසතියක් තුළ ඔවුන්ට විසඳුමක් ලබා දෙන බව එහිදී සම්බන්දන් ඔවුන්ට පොරොන්දු වීම නිසා එම උපවාසය අවසන් කෙරිණි. මේ අතර එජාපයේ මන්ත්‍රි පිරිසක්ද ඔවුන්ගේ රැකියා ගැටලුව විසඳීමට මැදිහත් වී සිටිති.
ද්‍රවිඩ ජාතික සන්ධානය සකස් කෙරෙමින් තිබෙන නව ව්‍යවස්ථාවේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් සිටින්නේ තෘප්තිමත් බවකින් නොවේ. මේ අතර ද්‍රවිඩ ජාතික සන්ධානය ත්‍රස්ත විරෝධී නව පනත ගැන කනස්සල්ල ප්‍රසිද්ධියේ පළ කරයි. මහජන නිදහස සීමාවීම, අධිකරණ ස්වාධීනත්වයට බාධා ඇති වීම ආදී කරුණු රැසක් ගැන සුමන්දිරන් මන්ත්‍රිවරයා ප්‍රසිද්ධියේ විවේචනයක නිරත වී සිටියි. ඒ පිළිබඳ නිවේදනද නිකුත් කරයි.
මේ අතර ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානයට අවනත නොවන උතුරු මහ ඇමැති විග්නේශ්වරන් වෙනුවට වෙනත් පුද්ගලයකු මහ ඇමැති තනතුරට ගෙන ඒම සඳහා එම පක්ෂය උත්සාහ කරමින් සිටින බවද කියැවේ.

ජාතික නිදහස් පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමට එම පක්ෂය මේ දිනවල සූදානම් වෙයි. ඉදිරි පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ ඉලක්ක කරගනිමින් පක්ෂය ශක්තිමත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත.
පසු ගිය අප්‍රේල් මාසයේ පැවැති එම පක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් පක්ෂ ප්‍රතිසංවිධානය නොකිරීම ආදී කරුණු සම්බන්ධව ඉතා ප්‍රබල ලෙස විවේචන එල්ල වී තිබිණි.
මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කොට සිටියදී විමල් වීරවංශ රචනා කළ 'රටට වුවමනා වම' කෘතිය ඉරිදා සවස ජනගත කිරීමට කටයුතු කර ඇත. ඒ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදීය. ආචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර එහි මූලික දෙසුම් සඳහා ඇරැයුම් ලැබ සිටිති.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් මෙවර මැයි දිනයට පැමිණියේය. ඒ ඔහුට වීසා නොමැතිව මෙරට රැඳී සිටීමට කෙටි කාලයකට ලබාදී ඇති අවසරය මතයි. ඔහු පසුගිය කාලයේ සිටියේ ඕස්ට්‍රේලියාවේය. ඒ, ඒ රටේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ගොසින්ය. ඒ සඳහා වූ ලිපි ලේඛන සියල්ල ඔස්ට්‍රේලියා රජයට භාර දී ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. ඕස්ට්‍රේලියාවෙන් යහපත් ප්‍රතිචාරයක් මාස දෙකක් තුළ ලැබෙතැයි ඔහු මෙන්ම පෙරටුගාමී පක්ෂයද අපේක්ෂාවෙන් සිටියි. ඒ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ගෙන පූර්ණකාලීනව මෙරට දේශපාලනය කිරීම සඳහාය.

එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක දේශපාලන වගකීමක් නොදරන නිසා පැරැණි හිතවතුන් මුණගැසී සතුටු සාමිචියේ යෙදීමට වැඩි කාලයක් යොදවයි. මේ අතර ඔහු යළිත් එජාපයට එක්වන බවටද ආරංචි පැතිර යයි.
තිස්ස පසුගියදා එජාපයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකාවක (2006-2014) වූ ගෞරි තවරාසා හමුවන්නට ගියේය. ඇය එජාපයට ආණ්ඩු බලයක් නොමැති කාලයේ සිරිකොත නඩත්තුවට විශාල වශයෙන් මුදල් වැය කළ තැනැත්තියකි. තිස්සට ඒ පිළිබඳ මතක තිබිණි. එසේම 1976 සිට එජාපයේ සමස්ත ලංකා කාන්තා පෙරමුණේ ප්‍රධාන ලේකම් වූ කරුණා කටුගම්පොළ ද හමු වූයේය. ඇය මේ දිනවල සිටින්නේ අසනීප තත්ත්වයෙන්ය. ඒ කතාබහ අතරතුර 'පැරැන්නන් එදා පක්ෂයට කළ සේවය හා කැපවීම මතක තියෙන්නෙ ස්වල්ප දෙනකුට පමණයි' යනුවෙන් පැවැසුවේ ඒ අතීතය පිළිබඳ සංවේදී වෙමින්ය.

මැයි දිනයෙන් පසුවදා අඟහරුවාදා විජේරාම මාවතේ පිහිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නිල නිවෙසට දේශපාලනඥයන් ඇතුළු හිතවත්තු බොහෝ පිරිසක් පැමිණියහ. ඔවුන් සියලු දෙනාගේ අදහස වූයේ ගෝල්ෆේස්හි පැවැති මැයි රැලිය ඉතා සාර්ථක බවයි.
'අපේ ගෝල්ෆේස් මැයි රැලිය සාර්ථකම මැයි රැලියක් ලෙස ලෝක ඉතිහාසයටත් එකතු වෙනවා. දැන් ආණ්ඩුව පිළිගන්නව ජනතාව ඉන්නෙ සර් එක්ක කියලා. දැන් අපට තියෙන්නෙ නොදෙන මැතිවරණය අරගෙන ජය ගන්න එකයි' ප්‍රසන්න රණතුංග කීවේය. 'ආණ්ඩුව අපට කරපු අභියෝගය අපට වඩා භාර ගත්තෙ මේ රටේ ජනතාව. මිනිසුන්ට ඕන වුණා සැබෑ බලවේගය ඉන්නෙ ආණ්ඩුව එක්ක නොවේ කියල පෙන්වන්න. ' මහින්ද රාජපක්ෂ කීවේය. 'දැන් ආණ්ඩුවට තියෙන්නෙ නීති පොතේ බලය විතරයි. ජනතාව නැති තැන දේශපාලනඥයන්ට පැවැත්මක් නැහැ. සිරිකොතේ අලියට වෙඩි තැබීමත් ඒ තරම් සුබ නැහැ' කුමාරසිරි හෙට්ටිගේ එම කතාව කිව්වේය. ඊට එක්වූ පවිත්‍රා 'රාජිතයි, ෆොන්සේකයි මැයි දිනයේදී නරක විධියට කතා කරල තියෙනවා' කීවාය. 'ඒවා ගණන් ගන්න එපා. ඉවසන්න පුරුදු වෙන්න. අපට හිරිහැර අපහාස කරන්න කරන්න මිනිස්සු අපි ළඟටම එන බව දැන් ඔප්පු වෙලා ඉවරයිනෙ. බයක් දැනුණාම මිනිස්සු අපට බනිනවා. ඒකයි සමහර ඇමැතිවරු අපට කෑගහන්නෙ' මහින්ද කීවේය.

කුඩා දේශපාලන පක්ෂවල සහාය මැයි දින සැමරුම් සඳහා ලබා ගැනීමට ශ්‍රී ලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, ඒකාබද්ධ විපක්ෂයත් උත්සාහ කෙළේ සති කිහිපයක පටන්ය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ඒ සඳහා පෞද්ගලිකව මැදිහත් වෙමින් ආරාධනා කොට තිබිණි. හිටපු ජනාධිපතිවරයා තම අස්සනින්ම කුඩා දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කොට ලිපි යවා තිබිණි.
මේ අතර පසුගිය 28 වැනිදා පාර්ලිමේන්තුවේදී ජනාධිපති මෛත්‍රිට ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා හමු විය. ' ඩගී ඔයා ගැටඹේ එනවාදැයි මෛත්‍රි විමසත්ම 'බලමු සර්' යැයි දේවානන්දා උත්තර දුන්නේය.
මේ අතර 30 වැනිදා සවස ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායක ප්‍රභා ගනේෂන්ගේ නිවෙසේදී කුඩා දේශපාලන පක්ෂ රැසක නායකයෝ හමු වී මැයි දිනයට යෑම - නොයෑම ගැන තීන්දු ගැනීමට කතිකා කළහ. සන්ධානයේ සිටියත් තමන්ට කිසිදු වරප්‍රසාදයක් නොලැබීම ගැන ඔවුන් සිටියේ කනස්සල්ලෙනි. එම නිසාම මැයි දිනයට ප්‍රධාන දේශපාලන පක්ෂයකට සහාය පළ කරන්නේද යන දෙගිඩියාවෙන්ය. එම දෙගිඩියාව නිසා නව සිහළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ රැසක් මැයි දින රැස්වීම් සඳහා නොයෑමට තීරණය කළේය. ඊ.පී.ඩී.පී. පක්ෂය, යාපනයේ උදයරාසාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ටෙලෝ පක්ෂය ඇතුළු පක්ෂ ගැටඹේ මැයි රැලියට යෑමට අවසන් මොහොතේ තීරණය කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon