ජයෝන්මාදයෙන් සතුටු විය හැකිද?

  👤  2355 readers have read this article !
2017-05-21

2009 යුද ජයග්‍රහණයේ 8 වැනි ජාතික රණවිරු සැමරුම ඉකුත් සතියේ යෙදී තිබිණි. රජය බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අබියස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උළෙල පැවැත්වීය. යුද ජයග්‍රහණයේ සැමරුම් උත්සව තවත් නොයෙක් තැන්වලදීද පැවැත්විණි. එකී උත්සව වැඩි ප්‍රමාණයක් පැවැත්වෙන්නේ ආරක්ෂක අංශවල හා සන්නද්ධ සේවාවන්හි මැදිහත් වීමෙනි.

රට බෙදුම්වාදයෙන් නිදහස් වූ තීරණාත්මක යුද්ධයේදී දිවි පිදූවන් අනුස්මරණය කිරීම සිදු කළ යුතුය. එහි කිසිදු ගැටලුවක් නැත. එහෙත් වසර තිහක යුද ගැටුම් හේතුවෙන් එම සිවිල් යුද්ධයේදී අපේම රටේ පුරවැසියන්ට සිදු වූ හානි, කඩතොලු මකාගන්නට තවමත් අපට හැකි වී නැත. ප්‍රධාන ගැටලුව වී තිබෙන්නේ සංහිඳියාව තහවුරු කරගන්නට වසර 8ක් ගතව තිබියදීත් අප අසමත් වීමය.

යුද සැමරුම් පිළිබඳව නව මානයකින් සිතන්නට කාලය එළැඹ තිබේ. වත්මන් රජය බලයට පැමිණීමත් සමඟ යුද මානසිකත්වය කුළුගන්වන යුද පෙළපාළි පැවැත්වීම නතර කිරීම සංහිඳියාව උදෙසා ගත් සාධනීය පියවරකි. සැමරුම් උත්සව කවර ආකාරයකින් පැවැත්වුවත් ඊට වැය වන්නේ මෙරට මහජන මුදල්ය. වඩා ඥානාන්විත පියවර වන්නේ උත්සවවලට වැය කරන මුදල් ආබාධිතව ප්‍රශ්න මැද ජීවත් වන රණවිරුවන්ගේ දරුවන්ගේ සුබසාධනය උදෙසා වැය කිරීමය.

රජයට එරෙහිව ආයුධ ගත්තේ කොටි සංවිධානය මිස උතුරේ ජනතාව නොවේ. කොටි සංවිධානය උතුරුකරය අතහැර පසුබැස යෑම නිසා උතුරේ ජනතාව තවත් අසාධාරණයට ලක්විය. ගැටුම් නිමා වුවද තවමත් නොවිසඳුණු දහසක් ප්‍රශ්න දෙමළ කතා කරන ජනයා හමුවේ තිබේ. රජය මුදල් වැය කළ යුත්තේ ගැටුම් හේතුවෙන් ඇති වූ තුවාල සුවපත් කොට විනාශ වූ ගම්බිම් යළි ගොඩනඟා සැබෑ සාමය හා සංහිඳියාව තහවුරු කිරීමටය. යුද ජයග්‍රහණයේ සතුට සැබෑ ලෙසම භුක්ති විඳිය හැක්කේ උතුරේත් දකුණේත් අම්මලාගේ ඇස්වලින් ගලන කඳුළු වියැකී ගිය දිනය.

අවතැන් ජනයා තවමත් ක¼දවුරුවල සිටියදී පවත්වන සැමරුම් උත්සවවලින් සිදු වන්නේ එම සිත් තව තවත් පෑරීමය. යුද්ධයෙන් අප දිනාගත් කිසිවක් නැති බව කිව යුතුය. තිබෙන්නේ ළබැඳියන්ගේ ජීවිත ඇතුළු අහිමි කරගත් දේය. යුද වැදීමෙන් කිසිවකු ජයග්‍රහණයක් නොලබන බව බුදුන් වහන්සේ දේශනා කර තිබේ. වෙසක් සඳ බැස යන්නටත් පෙර එය අමතක කරන්නට අපට නොහැකිය.

යුද්ධය තව තවත් පුනරුච්චාරණය කරමින් මතකයෙන් ගිලිහෙන්නට නොදී රඳවා ගැනීම අවශ්‍ය වන්නේ උතුරේ හෝ දකුණේ ජනතාවට නොව සිය පැවැත්ම සඳහා යුද්ධය යොදා ගන්නා අතළොස්සක් දේශපාලනඥයන්ටය. සියල්ලන්ට පෙර රණවිරුවන් එය වටහා ගැනීම අවශ්‍යය. වෙඩි හඬ නොඇසෙනවා මෙන්ම කඳුළු නොසලන වෛරය වෙනුවට ප්‍රේමයෙන් පිරුණු සංහිඳියාව තහවුරු වූ සමාජයක් උතුරේත් දකුණේත් පුරවැසි ප්‍රාර්ථනය විය යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්