මුස්ලිම් මැති ඇමැතිවරු දැඩි තීන්දුවකට සූදානම්

  👤  3596 readers have read this article !
2017-05-21

මෛත්‍රිපාල සිරිසේන මහතා කෘත්‍රිමව මෙන් ගොඩනැඟුණු ජන රැල්ලකින් බලයට පැමිණි නිසා ඔහුගේ ආණ්ඩුවට දේශපාලන ස්ථාවරයක් ඇතිකර ගැනීමට තවමත් නොහැකි වී තිබීම රහසක් නොවේ.

කැබිනට් සංශෝධන කතා මෙන්ම පළාත් සභාවල ගැටුම්ද ඊට මෑතකාලීන උදාහරණයි. කැබිනට් සංශෝධනය ගැන වෙසෙසින්ම කතා වූයේ සිංහල අවුරුද්දට පෙරයි. ඉන්පසුව සිංහල අවුරුද්දට පසුවත් මැයි දිනයට පෙර හා පසුවත් වෙසක් දිනයට පෙර හා පසුවත් වශයෙන් කැබිනට් සංශෝධන ගැන ඉඟි පළ විය.
එජාපයට දී ඇති අමාත්‍ය ධුර ශ්‍රී ලනිපයට ගැනීමට නොහැකි බව එජාපයේ ස්ථාවරයයි. එමෙන්ම ඇමැති මණ්ඩල සංශෝධනයට එජාපයේ ඇතැමෙක් දැඩි ලෙස විරෝධතාවක් දක්වති. තවත් අය වැඩක් කිරීමට බැරි ඇමැති තනතුරු දී ඇතැයි මැසිවිලි නඟති.

මේ අතර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇමැති සංශෝධනය ගැන අවස්ථා කිහිපයකදීම අදහස් හුවමාරු වී ඇත. එහි අවසන් සාකච්ඡාව බ්‍රහස්පතින්දා සිදුවී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. වඩාත් කතාබහට ලක්ව ඇති මුදල් ඇමැති ධුරය අගමැති රනිල් වික්‍රමසිංහට භාර දීමට යෝජනා වී ඇතැයිද කියැවේ. එහෙත් මේ සම්බන්ධව අවසන් එකඟතාවකට පැමිණීමට පාර්ශ්ව දෙකම අසමත් වී ඇති බවද දැනගන්නට ඇත.

ඇමැති සංශෝධනය ගැන සඳුදා එක්තරා ප්‍රබල එජාප ඇමැතිවරයකු කැඳවූ ජනාධිපතිවරයා ඔහුගේ කැබිනට් ඇමැති ධුරය වෙනස් කරන නමුත් වැඩ කළ හැකි වෙනත් අමාත්‍යාංශයක් ඒ වෙනුවට දෙන බවත් පොරොන්දු වී තිබේ. මේ අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනය ස්ථිර ලෙසම සඳුදා සිදු කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

කැබිනට් මණ්ඩල රැස්වීමක් අවසානයේදී ඊළඟ කැබිනට් රැස්වීම සඳහා දිනය නියම කෙරුණද පසුගිය 9 වැනිදා එලෙස දිනයක් නියම කෙරුණේ නැත. අමාත්‍ය මණ්ඩල සංශෝධනයකට සූදානම් වීම ඊට හේතුවයි. ඒත් සඳුදා සවස ඇමැතිවරුන්ට දුරකතනය මඟින් අඟහරුවාදා කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වෙන බව දැනුම් දී තිබිණි. ඒ අනුව කැබිනට් මණ්ඩල රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා රැස් වුවද එය සීමා වූයේ විනාඩි 45කට පමණි. චීන නිල චාරිකාවක යෙදී සිටි නිසා අගමැති රනිල් වික්‍රමසිංහ හට ඊට සහභභාගි වීමට හැකි වූයේ නැත. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම කැබිනට් හමුවේදී පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කිරීම ඇතුළු කැබිනට් පත්‍රිකා 15කට පමණ අනුමැතිය පළ විය.

වෙසක් උත්සවය සාර්ථක කර ගැනීමට විවිධ අන්දමින් සහාය පළ කළ සියලු දෙනාටම මෙහිදී ජනාධිපති සිරිසේන ස්තූතිය පළ කළේය. "අපේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ආණ්ඩුවක් විදියට ඇතැම් අය චෝදනා කරනවා. ජාත්‍යන්තර වෙසක් උත්සවය පැවැත්වීමෙන් අපි එසේ නොවන බව ඔප්පු කළා" එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා කීවේය. මෙහිදී සරත් ෆොන්සේකා බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රියට චෝදනා කොට අදහස් දැක්වීය. ඒ ඩෙංගු මර්දන කාර්ය සාධක බළකායේ රැස්වීමට යෑමට ජනාධිපතිවරයා සූදානම් වෙද්දීය. "මම කැලණියේ ඩෙංගු මර්දන වැඩ කරන කොට බස්නාහිර මහ ඇමැතිවරයා ඊට නිලධාරින් දෙන්නෙ නැහැ. ඒකට බාධා කරනවා." ෆොන්සේකා කීවේය. ඕක ඔච්චර ගණන් ගන්න එපා. ආණ්ඩුකාරවරයා මාර්ගයෙන් ඒ නිලධාරීන් ලබා ගන්න" ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රංජිත් සොයිසා මන්ත්‍රිවරයාගේ පියාගේ අවමංගල්‍ය කටයුතු සිදු වූයේ රත්නපුරයේදීය. හිටපු ජනපති මහින්ද අඟහරුවාදා ඊට සහභාගි විය. මහින්ද සමඟ ජොන්ස්ටන්, කෙහෙලිය, කංචන යන අයද වූහ. මළ ගෙදරදී ඩබ්ලිව්. ඩී. ජේ. ද එක් විය. ඔවුන් සියලු දෙනාගේම කතාබහට ලක්වූයේ සිදුවන බව කියන කැබිනට් සංශෝධනය සහ උතුරු මැද ඇතුළු පළාත් සභාවල බල පෙරළි සම්බන්ධයෙන්ය.
මේ අතර ඩබ්ලිව්. ඩී.ජේ., ප්‍රසන්න, නාමල්, පවිත්‍රා, ඉන්දික, ප්‍රේමලාල් ඇතුළු පිරිසක්ද මළ ගෙදරදී එකට මුණගැසුණි. 'ප්‍රසන්න අයියා ඔයාගෙ අර නඩුව දැන් ළඟ එනව නේද?යි නාමල් එහිදී විමසීය.
'හැමෝටම දැන් නඩු දාලා නේද'යි ඩබ්ලිව්. ඩී.ජේ. තවත් ප්‍රශ්නයක් යොමු කළේය.'ඕව ඉතිං යහපාලනයේ හැටි තමයි. ඕව කරල අපි බය කරන්න බැහැ' ප්‍රසන්න උත්තර දුන්නේය.

'දැන් ඔය ආණ්ඩුවත් එක්ක හිටිය මදෑ ඇමැතිතුමා' පවිත්‍රා ඩබ්ලිව්.ඩී.ජේ.ට කියද්දි ඔහු පිළිතුරක් දුන්නේ නැත. ඊට සිනාවකින් පමණක් ප්‍රතිචාර දැක්වීය.
මේ අතර ප්‍රේමලාල් ජයසේකර පවිත්‍රා ලස්සන වී ඇති බව කීවේ සියලු දෙනාගේ අවධානය ඒ වෙත යොමු කරමින්ය.
'ඇමැතිතුමිය පාට වැටිලා. ආණ්ඩුවක් ළඟ ළඟම එනව වගේ." ප්‍රේමලාල් විහිළු කළේය. 'කාන්තාවෝ කොහොමත් එහෙමනෙ මල්ලි' කියමින් ඇය ඊට පිළිතුරු දෙද්දී 'අපට ඉතිං පවුඩර් ගාන්න බෑනෙ' ප්‍රේමලාල් ඊට ප්‍රතිඋත්තර දුන්නේ පවිත්‍රාගේ නළල රැලි වෙද්දීය.

බදාදා රාත්‍රියේ මහගමසේකර මාවතේ පිහිටි මහින්ද අමරවීරගේ නිවෙසේ සාදයක් පැවැත්විණි. ඊට ආරාධනා ලැබ සිටියේ මැයි රැලිය සඳහා ශ්‍රී ලනිපයට උදවු කළ වෘත්තීය සමිති නියෝජිතයන්ය. වෘත්තීය සමිති 140කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ ඊට සහභාගි වී සිටියහ. එමෙන්ම ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිප මැති ඇමැතිවරුද එක්ව සිටියහ.

කැබිනට් සංශෝධනයක් සිදුවිය යුතු බව ශ්‍රී ලනිප අපේක්ෂාව ගැන එහිදී වෘත්තීය සමිති නියෝජිතයන්ට ඇමැතිවරු ප්‍රකාශ කළහ. එජාපයේ ඇමැති ධුර ශ්‍රී ලනිපයට ගැනීමට නොහැකි බවට ගිවිසුමක් ඇත්දැයි වෘත්තීය සමිති නියෝජිතයන් විමසද්දී ඇමැතිවරු පිළිතුරු දුන්නේ එවැනි ගිවිසුමක් නොමැති බව අවධාරණය කරමින්ය. ජනාධිපති සහ අගමැති එකඟ වන ආකාරයට ඇමැති මණ්ඩලය සංශෝධනය කළ හැකි බවද ඇමැතිවරු සඳහන් කළහ. එමෙන්ම ඇමැතිවරුන් කිහිප දෙනකුගේ අදහස වූයේ කැබිනට් සංශෝධනය නොවන්නේ නම් ආණ්ඩුවේ සිටීම ප්‍රයෝජනවත් නොවන බවටයි.

එක්සත් ජාතීන්ගේ 14 වැනි වෙසක් දින සැමරුම් අවසන් උත්සවය පසුගිය ඉරිදා දළදා මාලිගය සමීපයේ පැවතියේය. ප්‍රධාන ආරාධිතාව වූ නේපාල ජනාධිපතිනි බිද්‍යාදේවි බන්ධාරිගේ ප්‍රධානත්වයෙන් පැවැති ඊට රටවල් හැත්තෑ හයක් නියෝජනය කරමින් දෙදහසකට අධික පිරිසක් එක්වූහ.

එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවේ සභාපති ආචාර්ය පූජ්‍ය බ්‍රහ්ම පණ්ඩිත් නාහිමියන් ඇතුළු පිරිස කොළඹ සිට ඊට සහභාගි වීමට ගියේ දුම්රියෙන්ය. ඔවුන් වෙනුවෙන් ආගන්තුක සත්කාර නිසි පරිදි ඉටුවීම සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාවෙන් සිදුවිය යුතු සුවිශේෂී වගකීමක් කොට සැලකූ කතානායක කරු ජයසූරියද දුම්රියෙන්ම මහනුවරට ගියේය. බ්‍රහ්ම පණ්ඩිත් නාහිමියන් වැඩම කළේ කතානායකවරයා සමීපයෙන්ය. මඟ දෙපස විසිතුරු බලමින් යන උන්වහන්සේට මෙරට ශිෂ්ටාචාරය පිළිබඳ පාඩමක් කියා දෙන්නට මෙහිදී කතානායකවරයා සමත් විය. සියවස් ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරය ගොඩනැංවීමට බුදු දහම ඉවහල් වූ අයුරුද බුද්ධ චීවරය දරන සංඝරත්නය සතු බලයද එහිදී කතානායකවරයා පෙන්වා දුන්නේය.

යාල වනෝද්‍යානයේ ප්‍රථම භාරකරු වූයේ එංගල් බේ‍රක්ය. අප්‍රිකා ජාතිකයකු වුවද මෙරට ජන සුවඳ ස්පර්ශ කරමින් නියම ශ්‍රී ලාංකිකයකු ලෙස කටයුතු කිරීමට ඔහුට හැකිවිය. අවසන් හුස්ම පොද මෙරටදී පිට කළද එංගල් බේ‍රක්ගේ පරපුර තවමත් ජීවතුන් අතර සිටිති. ඒ අතර බේ‍රක් දුටු අවසන් මිනිපිරිය වන්නේ සෝමාවතීය. ඇය ඉතා අසරණ තත්ත්වයේ සිටින බව දැනගත් කතානායක කරු ජයසූරිය හම්බන්තොට දිසාපතිවරයා අමතා ඇයට සහන සලසන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පල දැරීමක් ලෙස එහි ගිය නිලධාරීහු දින කිහිපයකින්ම ඇයට ජේ‍යෂ්ඨ පුරවැසි දීමනාවක් මාසිකව ලබාදීමට පියවර ගත්හ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් විශේෂ සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් උතුරු පළාත් ප්‍රධාන ඇමැති විග්නේශ්වරන් ඉල්ලා සිටියේ අප්‍රේල් දෙවැනිදාය. ඒ ඉල්ලීම ඉටු කරමින් බදාදා විග්නේශ්වරන් ඇතුළු පිරිසකට ඒ අවස්ථාව ලැබිණි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ පළාත් සභා මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. අතුරුදන්වූවන් පිළිබඳ ප්‍රශ්න ඇති බව විග්නේශ්වරන්ගේ අදහස විය. අත්අඩංගුවට ගත් අයත් අතුරුදන් වී ඇති බව ඔහු පැවැසීය. ඒත් ජනාධිපතිවරයාගේ අදහස වූයේ නව ආණ්ඩුව ඒ සියලුදෙනා නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවයි. නැවත පදිංචි කිරීම්වල ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ඇතුළු නිලධාරීන් විසින් ඔවුත් දැනුවත් කරනු ලැබිණි. උතුරේ හමුදා කඳවුරු ඉවත් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් නොවන ආකාරයට එම කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය. උතුරේ රැකියා විරහිතභාවය පිළිබඳ විග්නේශ්වරන් විසින් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කළේය.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ජාතික සංහිඳියාව වැඩි කාලයක් ගත කරයි. කොටුවේ පිහිටි සංහිඳියා කාර්යාලයට මෙරට පිහිටි විශ්වවිද්‍යාල රැසක පීඨාධිපතිවරුන් කැඳවා තිබිණි. කොළඹ හා කැලණියේ පීඨාධිපතිවරුන් ඊට සහභාගි කර ගැනුණේ නැත. එහි දේශන කළේ චන්ද්‍රිකා කුමාරතුංගත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වාත්ය. විශ්වවිද්‍යාල තුළ සිසු සිසුවියන්ට සංහිඳියාව ගොඩනැඟීමට අවශ්‍ය උපදෙස් හා පහසුකම් දීමේ අවශ්‍යතාව ඇය අවධාරණය කළාය.

අඟහරුවාදා යුරෝපා සංගමයේ නිලධාරීන් පිරිසක් මුණගැසුණු හිටපු ජනපතිනි මෙරට සංවර්ධන කටයුතුත් සංහිඳියා ක්‍රියාමාර්ගත් ඔවුන්ට පැහැදිලි කළාය. එදින උදේ නේපාල ජනාධිපතිනිය හමු වූ ඇය දෙරට දේශපාලන තත්ත්වයන් පිළිබඳ අදහස් හුවමාරු කරගත්තාය. ප්‍රධාන පක්ෂ දෙක ඒකාබද්ධව මෙරට ආණ්ඩු කිරීමේ නව අත්දැකීම් ගැනද එහිදී චන්ද්‍රිකා සිහිපත් කළාය.

දෙබරවැව ජාතික පාසලේ 80 වැනි සංවත්සර උත්සවයේදී සජිත් පොරොන්දු වූ පරිදි එහි ළමයින්ගේ ප්‍රයෝජනය පිණිස ආසන 42කින් සමන්විත වායු සමනය කළ අලුත්ම බස් රථයක් පිරිනැමීමේ උත්සවය යෙදී තිබුණේ ඉකුත් සඳුදාටය. ඉතා අලංකාර ලෙස පින්තාරු කර තිබුණු කහ පාට බස්රිය පාසලට රැගෙන ආවේ ළමයින්ගේම පෙරහරකිනි. සංඝරත්නයේ පිරිත් සජ්ඡායනයෙන් පසුව පීත්ත පටිය කපා සජිත් ඇතුළු පිරිස ඉදිරි ‍ෙදාරටුවෙන් බස් රථයට ඇතුළු විය.
කුඩා දරු දැරියන් සමඟ සුහද කතාබහක යෙදී සිටියදී එක් දරුවකු කීවේ "සජිත් මාමේ, මේ බස් එක අපිට ලැබෙනතුරු අපි හරි ආසාවෙන් හිටියේ. පාර්ලිමේන්තු අන්කල්ලට කිව්වට ඒ කවුරුත් උදවු කළේ නෑ. දැන් ඉතින් අපිට පිහිනුම් තටාකෙ විතරයි අඩු" කියාය. "ඉස්කෝලෙ ඉන්න ළමයි 3,200 වෙනුවෙන් මේ චූටි පුතාගේ ඉල්ලීමත් අනිවාර්යයෙන්ම ඉටු කරනවා"යි සජිත් කියද්දී ළමෝ නැවතත් ප්‍රීතියෙන් ඔල්වරසන් දුන්හ.

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය බ්‍රහස්පතින්දා රැස්විය. ඒ පිටකෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේදීය. එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

'මේ වන විට අගමැතිවරයා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට අතුරු වාර්තාවක් ලබා දීලා අනෙකුත් පක්ෂවල අදහස් ලබා ගන්න හදනවා. ඒ අනුව ෆෙඩරල් ව්‍යවස්ථාවකට අදාළ කටයුතු වේගයෙන් ඉදිරියට යන බවයි පෙනෙන්නේ. ඒ වගේම ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම අස්සන් තැබීමට අදාළ කටයුතුද වේගයෙන් සිදු වන බව පෙනෙනවා. මෝඩි අගමැතිවරයා මේ රටට ඇවිත් හැසිරුණු විදිය බලන්න. ඒ අනුව පෙනෙන්නේ. ඉන්දියාව අද අපේ රට ඔවුන්ගේ ප්‍රාන්ත පාලනයක් ඇති තැනක් විදියට සලකන බවයි. අපි මේ මූලික මාතෘකා පිළිබඳව ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙළකට වහාම යා යුතුයි' විමල් වීරවංශ පෙන්වා දුන්නේය.

'නව බෙදුම්වාදී ව්‍යවස්ථාවට, එට්කා ගිවිසුමට වගේම ජාතික සම්පත් විකිණීමට. මැතිවරණ කල් දැමීමට එරෙහිව අපි මේ සටන ඇරැඹිය යුතුයි.' වීරකුමාර දිසානායක පෙන්වා දුන් අතර එවැනි සටන් ක්‍රියාමාර්ගයක් ජුනි මාසයේ සිට රට පුරා දියත් කිරීමට ඒ අනුව ජානිපෙ දේශපාලන මණ්ඩලය තීරණය කළේය.
ඒ සටන් ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයන අතරේ අපි ජනතාව දැනුවත් කිරීමට සම්මන්ත්‍රණ මාලාවකුත් පටන් ගනිමු. දිස්ත්‍රික්ක 16ක ප්‍රධාන පෙළේ නගරවල එවැනි සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට හැකි බව දිස්ත්‍රික් නායකයන් දැනටමත් දැනුම් දී තිබෙනවා. එහෙම නම් අපි ජුනි මාසය මුල සිට ඒ වැඩේටත් අත ගහමු' එසේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ කළ යෝජනාවටද දේශපාලන මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. මෙම සම්මන්ත්‍රණ මාලාවට ජානිපෙ නායක විමල් නමක් යෝජනා කර තිබිණි. ඒ 'සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව' යන්නයි.

රට තුළ උද්ගත වී තිබෙන දේශපාලන ප්‍රවණතා පිළිබඳ ජවිපෙ නායකයන්ගේ අවධානය නිරන්තර යොමු වෙයි. එවැනි කරුණු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා පැලවත්තේ පිහිටි කාර්යාලයේදී පැවැත්විණි. කැබිනට් සංශෝධනය ජවිපෙ දකින්නේ නිරර්ථක දෙයක් ලෙසින්ය.' ඔළු ගෙඩි මාරු කළා කියල රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. එක අමාත්‍යාංශයකවත් අලුත් ව්‍යාපෘතියක් ගැන සංවාදයක් නැහැ. අතීසාරයට අමුඩය ගහල වැඩක් නැහැ' බිමල් රත්නායක කීවේය. 'මිනිසුන්ගෙ අවධානය වෙනස් කරන සෙල්ලමක් තමයි මේ කරන්නෙ' විජිත හේරත් කීවේ එවැනි කතාවකි. 'ඇමැතිකම් මාරු කළොත් ආණ්ඩුව ඇතුළෙ කචල් ඇති වෙනව. ඒක ආණ්ඩුව දන්නවා' යැයි කීවේ අනුර කුමාරයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර හමුව ද ඔවුන්ගේ කතා බහේ මාතෘකාවක් වී තිබිණි. 'කළු කොඩි දාන්න කතා කරපු අය මෝඩි හමු වුණා.' මේ ගැන ජී.එල්. පීරිස් කිව්වෙ නම් සාකච්ඡා කරපු දේවල් මාධ්‍යයට කියන්න බැහැ රහසිගතයි කියල. කොහොමත් මේ අය ආණ්ඩුව තියෙනකොටත් කළේ රහසිගත දේවල් තමයි. බලයේ ඉන්නකම් ඉන්දියාවට ඕන විදියට වැඩ කළා. දැන් බලය නැතිවත් මෝඩි එක්ක ඩීල් දමනවා' හඳුන්නෙත්ති පැවැසුවේය.

ජවිපෙ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටු වැඩසටහන ඇරැඹුයේ මීට මාස කිහිපයකට ඉහතදීය. දැන් දිස්ත්‍රික්ක කිහිපයක එම වැඩකටයුතු අවසන් කොට තිබේ. මීළඟ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටු වැඩසටහන ලබන 27 සිට 30දා දක්වා හම්බන්තොටදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. අනුර, ලාල්කාන්ත, හඳුන්නෙත්ති, ගලප්පත්ති සහ සමරසිංහ ඒ සඳහා සහභාගි වීමට නියමිතය. ඔවුන් දින හතරක් රැඳී සිටිමින් ජනහමු, විද්වත් සාකච්ඡා, සුහද හමු, දිරිය පුරවැසි සමිති, ආසන බල මණ්ඩල රැස්වීම්, සංස්කෘතික වැඩසටහන් පැවැත්වීමට සැලසුම් යොදා තිබේ.

ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ සහ ඇමැතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් සිකුරාදා පෙරවරුවේ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින් ජාතිවාදී ගැටුමක් ඇතිකරලීමේ උත්සාහයක් පවතින බව ඔවුන්ගේ ප්‍රබල චෝදනාව විය. මේ පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුණගැසී සාකච්ඡා කිරීමටද ඔවුහු එකඟතාවක් ඇතිකර ගත්හ. ජාතිවාදී ප්‍රශ්න සම්බන්ධව ජනාධිපතිවරයා තීන්දුවක් නොගන්නේ නම් ඉදිරියේදී මුස්ලිම් මැති ඇමැතිවරුන් විධියට දැඩි තීරණයක් ගත යුතු බවද එහිදී ඔවුහු අවධාරණය කළහ.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා රැස් වූයේ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනපති මහින්දගේ නිල නිවෙසේදීය. උතුරු මැද සහ මධ්‍යම පළාත් සභාවන්හි බල පෙරළිය සම්බන්ධයෙන් මෙහිදී මුලින්ම සාකච්ඡාවට ගැනිණි.
'උතුරු මැද ආණ්ඩුකාරවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කර තිබෙනවා. ඔහු බහුතර මතය පිළිගෙන නැහැ' මහාචාර්ය ජී.එල්. කීවේය.
විදේශිකයන්ට ඉඩම් හා සම්පත් මිලදී ගැනීමට ඉඩ ලබා දීමට ආණ්ඩුව නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බවටද මෙහිදී ඒකාබද්ධ විපක්ෂ නායකයෝ චෝදනා කරන්නට වූහ. 'රටේ ආරක්ෂාව විනාශ කරමින් යන මේ ගමන නම් එච්චර හොඳ එකක් නෙවෙයි' මහින්ද කීවේ එවැනි කතාවකි. 'අපි මේවට නිකං ඉඳල බැහැ. අපේ දැඩි විරෝධය පළ කරලා මේවා පරාජය කරන්න ඕන' බව දිනේෂ් අවධාරණය කළේය. ඒ අනුව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත එම පනතට විරෝධය පළ කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළේය.

ගීතා කුමාරසිංහගේ මන්ත්‍රි ධුරය අහිමි කිරීමේ සූක්ෂ්ම උත්සාහය ශේ‍ර්ෂ්ඨාධිකරණය පරාජය කළ නමුත් ඇයගේ ප්‍රශ්නයේදී කතානායකවරයා කටයුතු කළ ආකාරය වැරැදි බව ඔවුන්ගේ අදහස විය. 'මේ ආකාරයට කටයුතු කළ කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඕන. එහිදී දිනේෂ් කීවේය. එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කරන ආකාරයද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ විවේචයට භාජන විය.

දේශපාලන කරළිය උණුසුම් කළ උතුරු මැද ඇමැති මාරුවත් සමඟ බොහෝ පළාත් සභා මහ ඇමැතිවරුන් දෙස අවධානය යොමු විය. මේ හේතුව නිසාම දකුණේ මහ ඇමැති ෂාන් විශේෂ ප්‍රකාශයක් කරමින් දිවුරුම් පෙත්සම් අස්සන් කර පළාත් සභාවල බලය වෙනස් කළ නොහැකි බව කල්තියාම ප්‍රකාශ කළේය. එයින් නොනැවතුණු ෂාන් තම හිතවත් මහ ඇමැතිවරුන්ගේ තත්ත්වයද විමසා බලන්නට අමතක නොකළේය. ඒ අනුව ඔහු උතුරු මැද පළාත් සභාවේ මහ ඇමැති පේෂල ජයරත්නට දුරකතනයෙන් කතා කරමින් තත්ත්වය විමසමින් කියා සිටියේ "පේෂල මල්ලී මොකද මේ වෙන්න යන්නේ, බය වෙන්න එපා, ඔයාට ජයසිරිමහ බෝ සමිඳුගේ පිහිට තියෙනවා. කිසි දෙයක් වෙන්නෑ. ඔයාට විතරක් නෙවෙයි. අපේ සරත් අයියාටත් කිසි ගැටලුවක් නෑ. එයාට දළදා හාමුදුරුවෝ ඉන්නවා. උෟව චාමරටත් ගැටලුවක් නෑ, මිනිහට කතරගම දෙවියෝ ඉන්නවා. අපේ ඉසුරුටත් ගැටලුවක් නෑ. බෙල්ලන්විලයි, කැලණියෙයි ආශීර්වාදය එයාට තියෙනවා. මහීපාල අයියටත් සමන් දෙවි හාමුදුරුවෝ ඉන්නවා. දකුණේ මටත් ඉදිරියේදී ගැටලුවක් ඇති වුණොත් සීනිගම දෙවොල් දෙවියන්ටයි, විෂ්ණු දෙවියන්ටයි කියන්න වෙනවා. හැබැයි පළාත් සභාවේ සහෝදර මන්ත්‍රිවරුන්ගේ ක්‍රියාකලාපය නිසා එවැනි ගැටලුවක් ඇති වේයැයි මම කිසිසේත් හිතන්නේ නෑ" යි ෂාන් පේෂලට කියූ කරුණට ඔහුට උත්තර දෙන්න නොහැකි වූයේ ඒ තරමට හිනාව නතර කර ගන්නට බැරිවූ නිසාය. කොහොම නමුත් දුරකතනයෙන් හෝ දුක සැප සෙවීම ගැන ෂාන්ට ස්තූති කරන්නට පේෂල අමතක නොකළේය.

අඟහරුවාදා සවස රන්ජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා උපන් දින සාදයකට සහභාගි විය. උපන් දිනය යෙදී තිබුණේ පුද්ගලයකුට නොව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය හෙවත් ස්ලීඩා ආයතනයටයි. එය ආරම්භ කොට වසර තිස් පහක් සපිරෙයි. ස්ලීඩා ආයතනයේ නිලධාරීන් හා හිටපු ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගි වූ උපන් දින සාදයේ උපන් දින කේක් ගෙඩිය තබා තිබුණේ එළිමහනේය. කේක් ගෙඩිය කැපීමෙන් අනතුරුව එහි කෑල්ලක රස වින්ද ඇමැතිවරයා ඇතැම් අවස්ථාවලදී අවදානම් තීරණ ගන්නට සිදුවන බව මෙහිදී සඳහන් කළ අතර අද රාජ්‍ය සේවකයන් එවැනි තීරණ ගැනීමට බය වී ඇති බව කීවේ නිවැරැදි තීරණ ගන්නා රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ඕනෑම මොහොතක පෙනී සිටින බව අවධාරණය කරමින්ය.

ආචාර්ය විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාගේ දියණියගේ විවාහ උත්සවයේ දෙවැනි දිනය යෙදී තිබුණේ සඳුදාය. එම උත්සවයට නේපාල ජනාධිපතිනි බිද්‍යාදේවි බන්ධාරි, ජනපති මෛත්‍රිපාල, හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා සහ මහින්ද ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

මෛත්‍රි, විජයදාස, රන්ජන් මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂ නවීන් ගුණරත්න ඉඳගෙන සිටියේ එක් ස්ථානයකයි. එහිදී නවීන් අතීත මතකයන් ගෙන හැර පෑවේය. ඒ ඔහු නිෂ්පාදනය කළ චිත්‍රපටයක සුද්ධෝදන රජුගේ චරිතය රඟපෑවේ රන්ජන් බවද පැවැසීය. ඒ අවස්ථාවේ "සුද්ධෝදන රජතුමා දන්නවා නම්..." කියමින් ජනපති මෛත්‍රි කතාව අතරමඟ නතර කරන්නට සැරසෙත්ම එය සම්පූර්ණ කරමින් ඇමැති විජයදාස පැවැසුවේ "සුද්ධෝදන රජු දන්නවා නම් සියදිවි නසාගන්නවා" යනුවෙන්ය. මේ මංගල උත්සවයේ හිටපු ජනපති මහින්දට වෙන්කොට තිබුණේ මෛත්‍රි, චන්ද්‍රිකා ඇතුළු පිරිසෙන් මඳක් දුරින් පිහිටි මේසයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්