මහා සඟරුවණ රටට දුන් ආදර්ශයට නමස්කාර වේවා

  👤  3251 readers have read this article !
2017-05-22

මහනුවර මහ රෝහල් පරිශ්‍රය තුළ රෝගීන් ඔබ මොබ ගෙනයෑම පිණිස විදුලි මොටර්රියක් මිල දී ගැනීම සඳහා අවශ්‍ය ලක්‍ෂ 20ක මුදල උපයා ගැනීමට මහා සංඝරත්නය ඓතිහාසික මහනුවර නගරයේ පිණ්ඩපාතයේ වැඩම කළ පුවත අද අප පත්‍රය වාර්තා කර තිබේ. සමාජයත්, රටත්, අවරට යන යුගයක එය කලකින් අසන්නට ලැබුණු සිත් පහන් කරවන ප්‍රවෘත්තියකි. කන්ද උඩරට මහනුවර රෝහල මධ්‍යම පළාතේ තිබෙන ප්‍රධාන ආරෝග්‍යශාලාව වන්නේය. නුවරඑළිය, මහියංගණය, අම්පාර, වියලුව ආදී ඉතා දුෂ්කර පළාත්වල අසාධ්‍ය රෝගීන් යොමු කරවන්නේ මහනුවර මහ රෝහලටය. උස් බිමක පිහිටා ඇති රෝහල් පරිශ්‍රයේ රෝගීන් එහා මෙහා ගෙනයෑම අතිදුෂ්කර කාර්යයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එම කටයුත්ත සඳහා අධික ශබ්ද දූෂණයෙන් හා වායු දූෂණයෙන් තොර විදුලි මෝටර් රථයක් යොදා ගැනීම ඉතා නැණවත් ක්‍රියාවකි. වෛද්‍යවරුන්ගේ මඟ පෙන්වීම මත ප්‍රදේශයේ දිසාපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේද සහාය ඇතිව මෙම උතුම් කටයුත්ත සඳහා ලක්‍ෂ 20ක් සොයා දීමට ගෞරවනීය මහා සංඝරත්නය පාරට බැසීමෙන් සිදුකර තිබෙන්නේ ඉතා ආදර්ශවත් පුණ්‍යකර්මයකි. එකී උදාර කටයුත්තේ නියැළුණු මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරලයේ ශාසනාරක්‍ෂක බල මණ්ඩලවල මහා සංඝයා වහන්සේ 200 නමක් දෙනාට අපේ නමස්කාරය බැති සිතින් පුද කරමු.

වර්තමානයේ පිරිහීමට ලක්ව තිබෙන්නේ ගිහි සමාජය පමණක් නොවේ. ගිහි සමාජය පවින් ගලවා ගැනීම පිණිස අවවාද, අනුශාසනා කිරීම, මඟපෙන්වීම ලබා දිය යුතු මහා සංඝයා වහන්සේද නොයෙකුත් විෂමාචාරයන්හි නියැළුණු අවස්ථා නිතිපතා අසන්නට ලැබේ. එය බෞද්ධ ජනයාගේ සිත් කම්පාවට පත්වීමට හේතුවන්නේය. මෝහයෙන් දුරු වන්නට යැයි ද, රැස් කරන්නට නොව අත්හරින්නට හුරු වන්න යැයි ද අපට බුදු දහමින් මඟ පෙන්වා තිබේ. එහෙත් ඇතැම් පළාත්වල සමහර භික්‍ෂුන් වහන්සේ භෞතික සම්පත් රැස් කිරීමේදී ගිහියන්ටත් වඩා ඉදිරියෙන් සිටිති.

දිවයිනේ අෑත පිටිසර දායක කාරකාදීන් ඉතා දුෂ්කර අල්පේච්ඡ ජීවිත ගත කරද්දී ඒ ජනතාව සමඟම ඉඩම් නඩු හබවලට මැදිහත් වෙමින්, දිළිඳු දායකයන්ගෙන්ම රැස් කරගන්නා ධනයෙන් අක්කර ගණන් වට කොට වලාකුළු බැමි බැඳ සාංචි තොරණ හදන, එහෙත් අවම වශයෙන් දහම් පාසලක්වත් නොපවත්වන විහාරස්ථාන ඇති බව අපි දනිමු.

එසේම හරියට වැසිකිළි කැසිකිළි තබා ආවාස ගෙයක්වත් නැතිව දුෂ්කරක්‍රියා කරමින් ප්‍රදේශයේ ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් පින්කම්, වත් පිළිවෙත්වල යෙදෙන භික්‍ෂුන් වහන්සේද සිටින බව අප අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. එවැනි සමාජයක බුදුන් වහන්සේගේ තෙමඟුල සටහන් වූ මාසයේ පොදු කටයුත්තක් උදෙසා පිණ්ඩපාතයේ යෙදුණු භික්‍ෂුන් වහන්සේ සිදු කළේ ලෝවාසී දනන් වෙත බුදු සිරිත නැවත සිහිපත් කරවීමකි. මේ සත් ක්‍රියාව තුළින් මහා සංඝරත්නය යටතේ බෞද්ධ ජනතාවටත් රටටත් දෙනු ලැබූ ආදර්ශය මෙතෙකැයි කිව නොහැකිය. උන්වහන්සේට නමස්කාරය හිමිවේවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon