ආණ්ඩුව, ආණ්ඩු කළ යුතුය

  👤  3112 readers have read this article !
2017-05-23

ජන ජීවිතයේ සාමකාමී යහපැවැත්ම රටක පුරවැසියන්ගේ ප්‍රාර්ථනාව වන්නේය. තිස් වසරක් පැවැති යුද්ධයෙන් අනේකවිධ පීඩාවන්ට ගොදුරු වී අත්දැකීම් ඇති මෙරට ජනයා සමාජයේ සාමකාමී පැවැත්ම බිඳ වැටීම පිළිබඳව නිරන්තරව සැකයෙන්, බියෙන් හා අවධානයෙන් පසුවීම පුදුමයක් නොවේ. ඉකුත් දින කීපය තුළ ප්‍රදේශ ගණනාවකින් වාර්තා වූ ඇතැම් සිදුවීම් ජන ජීවිතයේ යහපැවැත්මට හානිදායක, සංහිඳියාව බරපතළ අයුරින් පලුදු කරවන අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙකී සිදුවීම්වලින් ගම්‍ය වන්නේ පටු පරමාර්ථ මත ක්‍රියා කරන ජාතිවාදී, ආගම්වාදී, අන්තවාදී කොටස් නැවතත් තැටිය රත් කරන්නට අර අඳින බවය. දැන් යුද්ධය නිමාවී වසර 8ක් ගතව තිබේ. එහෙත් මෙරට ප්‍රධාන ජාතීන් තුන අතර සංහිඳියාව නිර්මාණය කර ගැනීමට අපි තවමත් අපොහොසත්වී සිටිමු.
ජාතීන් සිය ගණනක් සිටින අසල්වැසි ඉන්දියාව මහත්මා ගාන්ධිතුමාගේ අහිංසාවාදී දර්ශනය මත පිහිටා ඉන්දියානුවන් වශයෙන් එක මිටට බැඳී සිටීම පිළිබඳව ගෞරවයෙන් උදාහරණ දක්වන ශ්‍රී ලාංකිකයන්් ප්‍රධාන ජාතීන් තුන අතර නිරන්තරයෙන් ගහ මරා ගැනීමට බලා සිටීම අද රට මුහුණ දෙන ලොකුම අවාසනාවය.
පටු දේශපාලන වුවමනාවන් මත තම වාසිය බලා ජනතාව උසිගන්වන දේශපාලන නායකයෝ ජාතීන් තුන අතරම සිටිති. ඔවුන් නැවතත් අරඅඳින්නේ කළු ජූලිය වැනි අවාසනාවන්ත තත්ත්වයකට මඟ පාදා ගැනීමටය.

කලකට පෙර අලුත්ගම ප්‍රදේශය ගිනිබත් කරන්නට අන්තවාදීන් ක්‍රියා කළ ආකාරයත් එයින් සිදු වූ විනාශයත් ජනතාව හොඳින් දනී. ඒ නිසා මේ වෑයම පරාජය කළ යුතුය. නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරොවෙන් කපන තත්ත්වයට පත් කරගත යුතු නැත. අංක එක විය යුත්තේ රටේ නීතියේ පැවැත්ම තහවුරු කර පවත්වා ගැනීමය. අන්තවාදීන්ට ඊට අභියෝග කරන්නට ඉඩ නොදිය යුතුය.

නිදහසින් වසර 60ක් ගෙවී ඇතත් ජාතික සංහිඳියාව තහවුරු කොට ලංකාව ආසියාවේ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන්නට මෙරට පාලනය භාරගත් දේශපාලන පක්ෂවලට හැකි වූයේ නැත.

එක් එක් පාලනයෙන් පාලනයට රටේ දූෂණය, වංචාව කෝටි ගණනින් ඉහළ ගියා මිස යහපාලනය තහවුරු වූයේ නැත. රටට ආර්ථික වශයෙන් සිදු කර තිබෙන විනාශය මෙන්ම සොබාදහමට සහ පෞරාණික උරුමයට සිදුකළ විනාශය මැනිය නොහැකි තරම්ය. විල්පත්තු වනයේ මෙන්ම පොළොන්නරුවේ සෝමාවතී රක්ෂිතයේද අක්කර 15,000කට අධික වන විනාශයක් සිදු කර තිබෙන අයුරු අපි වාර්තා කළෙමු. එම වන විනාශය සිදු කළේ සිංහල, දෙමළ හෝ මුස්ලිම් සාමාන්‍ය ජනතාව නොව මවුබිමට හතුරු නොමිනිසුන්ය. ඔවුන්ට උඩගෙඩි දෙන්නේ දේශපාලනඥයන්ය.

තවත් ආකාරයකින් කියනවා නම් නිධන් සොයා ඓතිහාසික යුගයේ ඉදි වූ දාගැබ් වෙහෙර විහාර සියල්ල බිඳ දමා විනාශ කළේ කාලිංග මාඝලා නොව යට කී නොමිනිසුන්ය. ඔවුහු ඇතැම් විට පිරිසුදු සිංහල බෞද්ධයෝය.

මේ තත්ත්වය තුළ මේ ආකාරයෙන් රටට තවත් ඉදිරියට යා නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. ආණ්ඩුව ආණ්ඩු කළ යුතුය. සාමාන්‍ය ජන ජීවිතයේ පැවැත්ම සහතික කළ යුතුය. හනුමා වල්ගය අවුළුවා ගත්තා සේ රට ගිනි තියන්නට කිසිදු අන්තවාදී බලවේගයකට ඉඩ නොදිය යුතුය. ආණ්ඩුව කොන්දේසි විරහිතව ජනතාවගේ පැත්තේ සිටගත යුතුය. අල්ලස, දූෂණය, වංචාව, රටේ සොබා සම්පත් විනාශය ඇතුළු සියලු දුරාචාරයන් සම්බන්ධයෙන් පවතින නීතිය යටතේ දඬුවම් කළ යුතුය. ජනතා විශ්වාසය දිනා ගනිමින් සංවර්ධන මාවතකට රට මෙහෙය විය හැකි වන්නේ ඒ තුළින් පමණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon