ඩෙංගු සංග්‍රාමය යන අත හරිද?

  👤  3044 readers have read this article !
2017-05-24

ඩෙංගු වසංගත තත්ත්වයක් කරා වර්ධනය වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් කරනු ලැබූ පුරෝකථන සැබෑවක් වෙමින් තිබේ. මේ වනවිට ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක ඩෙංගු අධි වසංගත තත්ත්වයක් කරා ළඟා වෙමින් ඇත. සතිය ආරම්භයේදීම අසන්නට ලැබුණේ බිහිකළ බිලිඳා තනිකර ඩෙංගු වැලඳුණු මව මෙලොව හැරගිය දුක්මුසු පුවතකි.

මේ මස 15දා වනවිට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 44,623ක් ලෙස වාර්තා වූ අතර ඩෙංගු මරණ සංඛ්‍යාව 115 ක් විය. පසුගිය 2016 වසරේ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 55,150ක්වූ අතර මරණයට පත් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 90කි.
ඩෙංගු උවදුර විසින් බිලි ගනු ලැබු මානව සම්පත රටට ඔරොත්තු නොදෙන තරම් බරපතළ බව අමුතුවෙන් කිවයුතු නොවේ. වෛද්‍යවරුන්ද, හෙද හෙදියන්ද පාසල් ගුරුවර, ගුරුවරියන්ද ඇතුළු සමාජයේ විවිධ තරාතිරම්වල ජනයා ඩෙංගු වසංගතය විසින් රටට අහිමි කර තිබේ.

ඉකුත් වසරේ අවසානය වනවිට වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ හා මරණ සංඛ්‍යාව මේ වසර මැද වනවිට වාර්තා වීම තුළින් රජයේ ඩෙංගු මර්දන ව්‍යාපාරය ඩෙංගු මදුරුවා හමුවේ පරාජයට පත් වී ඇති බව පිළිගැනීමට සිදුවේ. ජනාධිපති ඩෙංගු මර්දන කාර්ය සාධක බළකාය විසින් ජූනි 1දා සිට මාස තුනක කාලයක් ඩෙංගු මර්දනය සඳහා ප්‍රකාශයට පත්කර තිබේ. දේශපාලනඥයන් ඇතුළු සමාජයේ සෑම අංශයකම පුද්ගලයන් ඩෙංගු මර්දනය උදෙසා දායක විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

මේ වනවිටත් ප්‍රධාන රෝහල් ඩෙංගු සහ ඩ්1 - ව්1 උණ රෝගීන්ගෙන් පිරී ඇති අතර එක ඇඳේ රෝගීන් දෙතුන් දෙනා සිටින තදබදයක් රෝහල්වලින් වාර්තා වේ. එළැඹෙන අන්තර් මෝසම් සමයේ වැසි ඩෙංගු මදුරුවන්ට තවදුරටත් හිතකර වාතාවරණයක් උදා කරනු ඇත.
ඩෙංගු උවදුර මැඬලීම සඳහා රජය යොදා ඇති වැඩසටහන් දෙස ආපසු හැරී බැලීමට කාලය එළැඹ තිබේ. ඩෙංගුවලට එරෙහි සටනට ජනාධිපති කාර්ය සාධක බළකාය ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන කිහිපයක් යොදවා සිටින බව පෙනේ. බොහෝ විට ඒ සඳහා වගකීම් පවරා තිබෙන්නේ වෛද්‍යවරුන්ටය. රෝගියා සුවපත් කර ගැනීම පැත්තෙන් එය වැදගත්ය.

ඩෙංගු බෝ කරන පරපෝෂිත කීටයා විනාශ කිරීම සඳහා වගකීම පැවරිය යුත්තේ කීට විද්‍යාඥයන්ටය. අද එම වගකීමද වෛද්‍යවරුන් භාරගෙන ඇත. මේ සම්බන්ධ පර්යේෂණ හා තාක්ෂණික දැනුම පවතින්නේ විශ්වවිද්‍යාල රසායනාගාර සහ පර්යේෂණ අංශ සතුවය. මැලේරියාව මෙරටින් තුරන් කළ මැලේරියා මර්දන ව්‍යාපාරයේ සංයුතිය සකස්ව තිබුණේ ඒ සම්බන්ධ දැනුමෙන් යුතු විද්‍යාඥයන්ගෙන් සහ ඒ සඳහා පුහුණුව ලත් මැලේරියා මර්දනය සඳහාම සකස් කළ හමුදා ඒකකය මතය. ඩෙංගු මර්දන ව්‍යාපාරයේ නායකත්වය දිය යුත්තේ කීට විද්‍යාඥයන් ඇතුළු අදාළ සියලු අංශ ඒකාබද්ධ වූ ඩෙංගු මර්දන හමුදාවකටය. එසේ නොවන තාක් ඩෙංගු මර්දනය සඳහා දරන ප්‍රයත්නයන් ප්‍රතිඵලදායක නොවනු ඇත.

ඩෙංගු මර්දනය සඳහා ජාතික ධනයෙන් විශාල කොටසක් වැය වන බවද නොරහසකි. ඒ අතරට ඉහළ නිලධාරීන්ගේ විදේශ ගමන්, තරුපහේ හෝටල්වල පැවැත්වෙන සාකච්ඡා, සමුළු, සම්මන්ත්‍රණ පමණක් නොව කොක්ටේල් පාටිද ඇතුළත්වේ. ඒ මෙකී ප්‍රශ්නයේ ජනතාව නොදකින පැත්තය.

දුන්න දුනු ගමුවේ
ඊතල කිතල ගමුවේ
රාල මී ගමුවේ
මුවෙක් හැඬුවා සබරගමුවේ
යන ප්‍රකට ජන කවිය පෙන්වා දෙන්නේ ප්‍රතිඵලදායක අවසානයක් දකින්නට නම් අදාළ සියලු අංශ ඒකාබද්ධ කොට ඉදිරි මාස තුන තුළ ඩෙංගු සංග්‍රාමයට රජය නායකත්වය දිය යුතු බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon